මහින්දගෙ කාලෙ කොළඹ පර්යන්තයකින් 85% ක් චීනෙට දුන්නා

0
178

වරාය සහ නාවුක කටයුතු අමාත්‍ය අර්ජුන රණතුංග

මැති හමුව
හම්බන්තොට වරායේ වැඩවර්ජනය, එහි අනාගතය, එම වරාය චීනයට විකුණන්නේද? ඒ ගනුදෙනුවෙන් කොළඹ වරායට අත්වන ඉරණම කුමක් ද? යන කරුණු සම්බන්ධව වරාය හා නාවුක කටයුතු ඇමැති අර්ජුන රණතුංග සමඟ කළ සාකච්ඡාවකි.

ශ්‍රී ලංකා රජය හා චීන රජයට අනුබද්ධ මර්චන්ට්ස් පෝර්ට් සමාගම අතර ඇති කරගත් ගිවිසුම නිසා ශ්‍රී ලංකාවේ වරාය කටයුතුවලට බලපෑමක් සිදුවන බව කියනවා. වරාය ඇමැතිවරයා වශයෙන් ඔබ මේ ගැන මොකද කියන්නෙ?

අපි බලන්නෙ අපේ අයිතිවාසිකම් පුළුවන් තරම් වැඩි ප්‍රමාණයක් ලබා ගන්න. මේ ගිවිසුම නිසා අපට ලැබෙන මුදලින් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ විශාල ණය ප්‍රමාණයක් නිදහස් කරගන්න පුළුවන්. ගිවිසුමේ තියෙන කොන්දේසි ගොඩකට අපි එකඟවෙලා නැහැ. ඒ කොන්දේසි හරිගස්සමින් අපිට වාසිවන වැඩ පිළිවෙළකට අපි යමින් ඉන්නවා.

මේ ගිවිසුම හරහා ශ්‍රී ලංකාවට ඇතිවන වාසි මොනවාද?

වාසි කීපයක් තියෙනවා. වරාය පැත්තෙන් බැලුවොත්, ආයතන හුඟක් ලංකාවට ඒම හරහා වරාය කටයුතු වැඩි කරගන්න අපට පුළුවන්. ආර්ථික කලාපයත් එක්ක ව්‍යාපාර සියල්ල ලංකාවට එනවා. මේ නිසා අපට ලෝකයේ වැඩිපුර නැව් සමාගම් එක්ක ගනුදෙනු කරන්න ලැබෙනවා. භාණ්ඩ ගෙන ඒම හා ගෙන යාම හුඟක්ම සිද්ධ වෙන්නෙ වරාය හරහා එය අපට ලොකු වාසියක්.

ඔබගේත් අනුමැතිය ඇතිව වරාය නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම 2016 – 11 – 03 දින කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ සටහනේ වරායට හානිදායක කාරණා තිබෙන බවට චෝදනාවක් තියෙනවා.

චීන සමාගම් දෙකක් අපිට යෝජනා දෙකක් දුන්නා. අපි තීරණය කළා චයිනා මර්චන්ට්ස් පෝර්ට් සමාගම සමඟ කටයුතු කරන්න. මේ සමාගම ඉල්ලන කොන්දේසිවල අපට අවාසිදායක දේවල් හුඟක් තියෙන බව තමයි අපි දැනුම් දුන්නෙ. ඒ කොන්දේසි හුඟක් වෙනස් කරගන්න අපට පුළුවන් වුණා. අවසන් ගිවිසුමට පෙර තවත් කාරණා වෙනස් කරගන්න අපි උත්සාහ කරනවා.

වරාය මෙහෙයුම් මේ සමාගමට පැවරෙන බවට මත පළවෙමින් තිබෙනවා.

වරාය නියාමනය ඔවුන් ඉල්ලල තියෙනවා. ඒත් තාම තියෙන්නෙ මූලික ගිවිසුම පමණයි. ඒක අවසන් ගිවිසුම නෙවෙයි. අපි ඒ තත්ත්වය වෙනස් කරගන්න උත්සාහ කරනවා. විශේෂයෙන්ම වරාය ආරක්ෂක කටයුතු අපි ඉල්ලල තියෙනවා.

ඉඩම් බලතල සියල්ල චීන සමාගම සතුවෙලා නේද?

නැහැ ඉඩම් බලතල අප සතුයි.

චීන සමාගමට වරායෙ බහුතර අයිතිය ලැබිල නේද?

මේ ආයතනය හැදුවම ඒ තත්ත්වය ඇති වෙනවා. සමාගම හම්බන්තොට වරායෙ මුදලින් 80%ක අයිතිය ඉල්ලල තියෙනවා. 20% යි අපිට දෙන්නෙ. මේ තත්ත්වය වැඩි කරගන්න අපි උත්සාහ කරනවා. මහින්දගෙ කාලෙ කොළඹ වරායෙ පර්යන්තයක් චීන සමාගමකට දුන්නේ 85% ඒ සමාගමට යන විධිහට, අපිට තාමත් ලැබෙන්නෙ 15% යි.

වරාය අධිකාරියට මේ ගිවිසුම අනුව ලැබෙන්නෙ ප්‍රදීපාගාරයට ලැබෙන ගාස්තු විතරක් කියල ජනතා විමුක්ති පෙරමුණ කියනවා.

නැහැ. එහෙම වෙන්නෙ නැහැ. ගිවිසුම අත්සන් කළාම අපිට ලැබෙන ගාන කියන්නම්. චීන සමාගම අපිට දීපු යෝජනා අනුව ඔය කතාව හරි. ඒත් අපි දැන් ඒ තත්ත්වය වෙනස් කරගෙන තියෙනවා.

අවසන් ගිවිසුම කොයි කාලෙද අත්සන් කරන්නෙ.

ජනවාරි 08 වෙනිදාට ඉස්සෙල්ල සියලු ගිවිසුම් අත්සන් කරනවා.

මේ ගිවිසුම නිසා කොළඹ වරායට බලපෑම් ඇතිවිය හැකියි නේද?

අද හෙට බලපෑමක් වෙන්න විදියක් නැහැ. හම්බන්තොට වරාය තියෙන්නෙ ප්‍රධාන නැව් මාර්ගයක. අවුරුදු කීපයක් යනකොට කොළඹට එන නැව් හම්බන්තොටට යන්න පුළුවන්. ඒත් වරායක් හැටියට ප්‍රති අපනයනවලට ලේසිම කොළඹ වරාය. මේ නිසා ලොකු ගැටලුවක් වෙන්නෙ නැහැ.

මේ ගිවිසුම හරහා කොළඹ වරායට එන නැව් හම්බන්තොටට හරවා යැවීමේ එකඟතාවක් තියෙනවා නේද?

චීනයෙන් එන නැව් චීන සමාගම හරහා හම්බන්තොටට යයි. ඒත් ප්‍රති අපනයනවලට ලේසිම තැන කොළඹ වරාය කියලා ඒ අය දන්නවා. මේ නිසා චීන සමාගමට 100%ක් ඒ දේ කරන්න බැහැ.

මම ඇහුවෙ මේ ගිවිසුම හරහා එහෙම එකඟතාවක් තියෙනවද කියල

නැහැ. එහෙම කිසිම එකඟතාවක් නැහැ.

වරාය අධිකාරී පනතට අනුව මෙවැනි ගිවිසුමකට එළඹෙන්න බැහැ නේද?

චීන සමාගම කරල තියෙන සමහර ඉල්ලීම්වලට වරාය අධිකාරී පනතට අනුව අත්සන් කරන්න බැහැ. සමහර කාරණාවලට වරාය අධිකාරිය හැටියට අත්සන් කරන්න බැහැ කියල නීතිපති කියල තියෙනවා.

මේ ගිවිසුම අනුව, අවුරුදු 199 කටයි චීන සමාගමට හම්බන්තොට වරාය පවරන්නෙ.

ඒ අය ඉල්ලල තිබුණෙ අවුරුදු 199කට තමයි. අපි ඒක අවුරුදු 99දක්වා අඩුකර ගත්තා. තවත් අඩුකර ගන්න අපි උත්සාහ කරනවා.

ඔබේ එකඟත්වය මේ ගිවිසුමට නැහැ කියල කියනවා. ගිවිසුම අත්සන් කරන්නෙ ආණ්ඩුවෙ ආර්ථික කළමනාකරණ කමිටුවට අවශ්‍ය නිසාද?

සමාගම ගෙනාපු සමහර යෝජනාවලට මම අදත් එකඟ නැහැ. මම තාමත් බලන්නෙ රටට, රජයට වරාය අධිකාරියට වැඩි වාසි අත්වෙන විදියට මේක කරන්න. අනෙක් පැත්තෙන් පෞද්ගලික සමාගම ඒ අයට වාසි දේ කරන්න බලයි.

ආණ්ඩුවෙ ආර්ථික පිළිවෙතට හොඳම උදාහරණය මේ ගිවිසුම බවයි කියන්නෙ.

අපිට තියෙන ණය ප්‍රමාණය, පොළී ප්‍රමාණය දරා ගන්න බැහැ. කොළඹ වරායෙ තියෙන ආදායමෙන් තමයි දැන් ණය ගෙවන්නෙ. මෙහෙම ගියොත් රටක් හැටියට අපිට කවදාවත් දියුණුවෙන්න බැහැ. මේක විකිණීමක් නෙවෙයි. පෞද්ගලීකරණයකුත් නෙමෙයි. රජය හා පෞද්ගලික අංශය එකතුවෙලා කරන ව්‍යාපාරයක්. මගේ පෞද්ගලික මතය නම්, 51%ක් රජයට තියාගෙනයි අපි ව්‍යාපාර කරන්න ඕන. හැබැයි එතකොට ආයෝජකයො එන ප්‍රමාණය අඩුවෙනවා.

හම්බන්තොට වරාය පෞද්ගලීකරණය කළත්, ඒ අයගෙ පාලනයක් යටතේ ආණ්ඩුවට පවර ගන්නව කියල මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රිතුමා කියනවා.

මේක කිසිසේත්ම පෞද්ගලීකරණයක් නෙමෙයි. මම දන්න නීතිය යටතේ තමයි අපි ගිවිසුම් අත්සන් කරන්නෙ. ඒ අයගෙ කාලෙ ගහපු ගිවිසුම් නිසා තමයි රටට මේකල ගිහිල්ල තියෙන්නෙ. මහින්ද රාජපක්ෂ මහත්තය ඔය කියන චීන කොම්පැණියට ගියා. අද වෙනකන් මහින්ද මහත්තය කොහෙවත් කියල නැහැ මේ කොම්පැනියෙන් ගිවිසුම අයින් කරන්න කියල.

වැඩ වර්ජනය නිසා බරපතළ ගැටලුවකට හම්බන්තොට වරාය පත්වෙලා; ඒ ගැන මොකද කියන්නෙ.

මේ වෙනකොට වරායට ආපු නැව් කීපයක් පිටට යවල තියෙනවා. රටට එන ආදායම එක එක දේශපාලන උවමනාවන් මත නැති කරගන්න ආණ්ඩුව සූදානම් නැහැ. කොළඹින් හරි ගිහිල්ල නැව්වල ආදායම ලබා ගන්න ක්‍රමවේදයක් අපි හදනවා. හම්බන්තොටින් තව ඕන තරම් සේවකයො ගන්න පුළුවන්.

මේ නිසා වරායට යම් පාඩුවක් සිදුවෙලා තියෙනවද?

නැව් නැතිවීමේ පාඩුව ගණනය කළ නොහැකියි. නැව් දෙකක් රඳවා ගැනීම නිසා වරාය අවදානම් ලැයිස්තුවට දාලා. වර්ජකයින් CCTV කැමරා පද්ධතියට හානිකරලා ජලය සම්පූර්ණයෙන් යවල, කොම්පියුටර් පද්ධතියට හානිවීම වගේ දේවල් සිදුවෙලා. තවම අපි ඒ පාඩුව ගණනය කළේ නැහැ. වැරදි දේවල් කරපු අයට නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා. එහෙම නැතුව රටක් හදන්න බැහැ. මේ හම්බන්තොට කට්ටියනෙ. ඒ අය පහුගිය කාලෙ හිටියෙ කොහෙද කියල අපි දන්නවා. මේ අයවත් කොළඹ වරායෙ සේවකයනුත් එක්ක 580ක් පහුගිය කාලෙ මහින්ද මහත්තයගෙ දේශපාලන වැඩවලට පැය 24 ම නිදහස් කරලයි හිටියෙ.

මේ අයගෙ රැකියා සුරක්ෂිත කරන්න මොනවගේ වැඩ පිළිවෙළක්ද තියෙන්නෙ.

මේ අයව බඳවාගත් ආකාරයම වැරදියි. සමාගම හරහා දීපු පත්වීම් ලිපිවල කිසිම කෙනෙක්ව වරායට බඳවා ගන්න බවක් නැහැ. මේ අයට පරිවාස කාලයක් දීල තියෙනව. පරිවාස කාලෙ මෙහෙම හැසිරෙන්නත් බැහැ. මම මේ අයට කතා කළේ දරුවො කියල ඒ අයගෙ එහෙම හැසිරීමක් තිබුණෙ නැහැ.

මේ සේවකයින් ස්ථීර සේවයට ගන්න ක්‍රමවේදයකට ආණ්ඩුවට යා නොහැකිද?

අපි කළමනාකරණ සමාගම සමඟ කථා කළේ සමාගමේ ස්ථීර සේවකයො හැටියට මේ අය බඳව ගන්න. දැන් ඒව කොහොම වෙයිද දන්නෙ නැහැ. වරාය අධිකාරියට මේ අය බඳවාගන්න බැහැ. චීන සමාගම වරාය අධිකාරියෙ වැටුප් හා දීමනා දෙන්න එකඟ නැහැ.

චමල් රාජපක්ෂ මන්ත්‍රිතුමා කියනව මේ සේවකයින් ක්‍රමානුකූලව වරායෙ සේවකයන් බවට පත් කරන්න ඔවුන්ට වැඩපිළිවෙළක් තිබුණ කියල.

නෑ… එහෙම එකක් තිබ්බ නං ඒ අයව මූලික වශයෙන්ම වරායට ගන්න තිබුණනෙ. කළමනාකරණ සමාගමෙ වැඩට මේ අයව ගත්තෙ අපි නෙවෙයි ගිය ආණ්ඩුවයි. චමල් රාජපක්ෂ මහත්තය මට කිව්වෙ මේ අයගෙ රැකියාවල් කොහෙ හරි සුරක්ෂිත කරල දෙන්න කියල. එතුමට මේ තත්ත්වය තේරෙනවා. එතුමා කිව්වෙ නැහැ වරාය අධිකාරියට ගන්න කියල.

සේවක වැඩ වර්ජනයක් වාර්තා කරන්න ගිය මාධ්‍යවේදියෙකුට වරාය ඇතුළෙදි නාවික හමුදාපතිවරයා පහර දුන්නා. මේ ගැන මොකද කියන්නෙ.

මාධ්‍යයට අත තියන්න මාධ්‍යවේදීන්ට පහර දෙන්න අපි ඉඩ තියන්නෙ නැහැ. අපි ඒකට එදත් විරුද්ධයි. අදත් විරුද්ධයි. මේ ප්‍රශ්නෙදි අනෙක් මාධ්‍යවේදීන් හැමෝම එක තැනක හිටිය. මේ මාධ්‍යවේදියා වෙනත් තැනක හිටිය. ඔහු හැමතැනම සැරි සරල තියෙනව. නැව් කොල්ල කෑමක් නවත්වන්නයි එතන කටයුතු සිදු වු‍‍ණේ. මේ මාධ්‍යවේදියා හිටියෙ විරෝධතාකරුවන් අතර.

LEAVE A REPLY