ආ නංගී ඩේට්ද?? – සචිනි වනිගසේකර

0
220

මිනිසුන් මා ස්ත්‍රීවාදියකැයි නම් කර හමාර ය.. ගැටලුවක් නැත..නමුත් මා ඇගිල්ල දිගුකොට සද පෙන්වන විට සද දෙස බැල්මකුදු නොහෙලා මිනිසුන් මගේ ඇගිල්ල අරඹයා අනිමිසලෝචනයන් පැවැත්වීම නම් නැවැත්විය යුතුය..

⁣ ලොව බොහෝ රචකයන් තම ලියමන් උදෙසා විවිධ දෘෂ්ටිකෝණ භාවිත කරනු ලබයි..උදාහරණ ලෙස උත්තම පුරුෂ දෘෂ්ටිකෝණය ගත හැකිය..එහි තමා විසින් කතාව කියනා පරිද්දෙන් රචකයා කතාව ඉදිරිපත් කරනු ලබයි.. මට ද එසේම ය.. මට ද කතාවක් ගලාගෙන යාමට පදනමක් අවැසි ය..එය ස්ත්‍රීමූලික එකක් ලෙස ඉදිරිපත් කිරීම විනා ස්ත්‍රීවාදය පිලිබදව යමක් ලිවීම හෝ එවැනි මතවාදයන් සමාජ ගත කිරීමට මට අවැසි නැත..නමුදු බොහෝ ස්ත්‍රීන්ගේ නිහඩ වදන් මාගේ අකුරු තුළින් පණ ගසනු ඇත..බොහෝ ගැහැනුන් පමණක් දැනගත් කතාවන් ගැහැනුන්ගෙන් පිටට විසිරී යනු ඇත..

හුදු සමාජයම ආවරණය කිරීමකට වඩා ස්ත්‍රීන් ආවරණය කරමින් ඒ ආශ්‍රිත ලියමනක යෙදීම මට වඩාත් ප්‍රියජනක වන්නේ බොහෝ පිරිමින් අරඹයා ලියන්නන් ඕනෑ තරම් වන විට ස්ත්‍රී සිතිවිලි ලියා තැබීමට ඉදිරිපත් වන ස්ත්‍රීන් අල්ප වන නිසාම නොව මාගේ ලියවිලි වලින් ස්ත්‍රීන් ලබා ගන්නා ඇතැම් ධනාත්මක අදහස් තුළින් ස්ත්‍රීන් ධෛර්යවත්වන බැව් මට නිතර පවසන නිසාවෙනි..ඒ බවට මාගේ පෞද්ගලික පණිවිඩ ගොනුව සාක්ෂි දරනු ලබයි..
බොහෝකොට දක්වන ලද පෙරවදනකින් පසුව මා එළඹෙන්නේ අද ලියමනට ය..

“ආ නංගී අද ඩේට් ද?”

මිනිසුන් අපහාසයත් උපහාසයත් අවස්ථානෝචිතව පරිහරණය කළ යුතු වනවා සේම පෙරළා අපහාසයත් උපහාසයත් අවස්ථානෝචිතව භාර ගත යුතු ආකාරයන් ද පවතී..

පරිණත නොවූ කුඩා කෙල්ලන්ව සිටි සමයක මිතුරියක මල්වර වීම ඇග කිති කවන, මහපට ඇගිලෙන් බිං කුඩ්ඩන් හාරන ලැජ්ජාශීලී යමක් වූවා ද ක්‍රමයෙන් එය හුදු ස්වභාවධර්මය විනා අනෙකක් නොවන බව අප ක්‍රම ක්‍රමයෙන් උගෙන ඇත.. එහෙත් තවමත් පරිණත නොවූ කුඩා කොල්ලන් ⁣කෙල්ලන්ගෙන් “අද ඩේට් ද” අසන්නේ ඔවුන් ලැජ්ජාවෙන් ඇඹරී පොළව පලාගෙන යනවා බලන්නට විය යුතුය .. ඒවා සුන්දර ළමා නොදැනුවත්කම් ය. අප ඒවාට කිසිසේත්ම කලබල විය යුතු නැත..එහෙත් පුත්තලම් බූරුවන් කිහිප දෙනෙකුගේ වයසත් පසුකර ඇති ගතින් පරිණත හිතින් ළාමක පුරුෂ ළපැටියන් ද ඇතැම් විටක පරපීඩක කාමයෙන් ආසක්තව ඔබෙන් මෙලෙස අසයි නම්.. එතැන අප කතා කළ යුතුව පවතී..

ගැහැණියක මවක වන්නේ දස මසක් දරුවකු කුසෙහි හොවාගෙන සිට දරුණු ප්‍රසූතවේදනාවකින් පසුව බව යන්න සමාජ ගත වී ඇත..බොහෝ මිනිසුන් අම්මා ගැන ආදරයෙන් සිහිපත් කරන්නේ ඇය එකී දස මාසය මුලුල්ලේ විදි දුක ආදරණීයව සිහිපත් කරමිනි.. එහෙත් අම්මා “අම්මා” කෙනෙකු වන්නේ දසමාසයට හුගාක් එහායින් අැති තැනක ය.. ඇගේ ප්‍රථම මප්වරවීමේ සිට ඇය අම්මා කෙනෙකු වීමට නොවිදිනා දුකක් විද ඇත.. ඔව් ඇයට “ඩේට්” සෑදී ඇත..

සෑදුනු විට උදරය වේදනාවෙන් ඇදුම් කන
“ඩේට්” සෑදී ඇත..
හික කරකැවිල්ලෙන් බමන ,ක්ලාන්ත වන
“ඩේට්” සෑදී ඇත..
වමනයට ,ආහාර අරුචියට හේතූ වන
“ඩේට්” සෑදී ඇත..
කෙලින් සිටගෙන සිටීමටවත් නොහැකි
කොන්දේ වේදනාවට හේතු වන
“ඩේට්” සෑදී ඇත..

එහෙත් ඒ කිසිවකට ඇයට අතිරේක අවස්ථාවන් ,සමාවන් ලැබීද ඇය ඉල්ලා නැත..

“ඩේට්” සෑදුනු ඇය නුඹ නිදා සිටින විට අවදිව උදෑසන ආහාරය පිළියෙල කොට ඇත..
පොදු ප්‍රවාහන සේවා වල හරි හරියට සිටගෙන සිනාමුසුව ගමන් කර ඇත..
ක්‍රීඩා පිටි වල හරි හරියට තරග කොට ඇත..
බොහෝ තරගකාරී විභාග වලට ඉදිරිපත්ව සමත් වී ඇත..
බොහෝ කරදරකාරී සිසුන්ට සංයමයෙන් නියමිත පාඩම උගන්වා ඇත..
ගල්කුරියේ ගල් පතුරු සීරුවට කුඩු කර ඇත..
පැය අටේ වැඩමුරය පුරාවටම නොපැකිලිව සිටගෙන සිට අත්තිකාලය ද වැඩ කර ඇත..

ඇගේ දිවියේ වැදගත්ම තරග විභාගය , දිනය, මොහොත තුළ ඇයට “ඩේට්” සෑදී තිබී ඇත..එහෙත් ඒ වෙනුවෙන් ඇයට අතිරේක කාලයක් හෝ අවස්ථාවක් ලැබී නැත..ඔබ දන්නා ඇය ඔබ නොදන්නා බොහෝ වේදනාවන් උහුලමින් ඔබ හා සිනාසෙන්නට ඇත.. ඒ ඇයය… “ඩේට්” සෑදෙන ඇයය …

ඉදින් නුඹ දන්නා අම්මා “අම්මෙකු” වන්නේ ඇයට ⁣”ඩේට් ” සෑදෙන දිනයේ සිටම ය.
ඉදින් ⁣”ඩේට්” යනු බොහෝ දරාගැනීම් ය. බොහෝ ධෛර්යයය..බොහෝ නිහඩ විද ගැනීම්ය..බොහෝ දෑ සගවා ගැනීම් ය.. ඉදින් “මොකද අද ඩේට්” දැයි අසන්නන් හමුවේ නුඹ සිනාසිය යුතුම ය .. බොහෝ අාඩම්බරයත් බොහෝ අභිමානයත් ගැහැනුන් සතු බව ඒත්තු ගන්වන සිනහවකින් ඔබ ඔවුනට යතාර්ථය පහදා දිය යුතුය … “ඩේට්” යනු ලැජ්ජාවක් නොව අභිමානයක් බව නුඹ ඔවුනට පහදා දිය යුතුය.. !

උපුටාගැනීම – සචිනි වනිගසේකරගේ ෆේස්බුක් ගිණුමෙනි.

LEAVE A REPLY