නිකෝල් , නේතන් සහ ලංකාවේ සරසවි සිසුන්

0
73

යෝක් විශ්ව විද්‍යාලයේ ආපන ශාලාවේදී මට නිකෝල් කැප්‍රියෝටි හමු විය. කැපචීනෝ කෝප්පයක් ගත් ඇය මගේ මේසයට ආවාය.

“කොහොමද මැප් ගේ පරියේෂණ වැඩ ? මම ඇසුවෙමි.

ඇල්ස්ටෙයාර් මැප් පරියේෂණ මනෝ විද්‍යා මහාචාර්‍යවරයාය.  නිකෝල් ඔහු යටතේ මනෝ විද්‍යා පරියේෂන විශයක් කරන්නීය. ඇල්ස්ටෙයාර් මැප් අමුතු අන්දමේ චරිතයකි. ඔහු බොහෝ සෙයින් විහිළු කරයි. එහෙත් ඔහු සිටින්නේ දුකෙන් බව මගේ සිත කියයි.

” මහාචාර්‍ය මැප් ගේ හැටි දන්නවානේ ?  නිකොල් සිනාවක් පාමින් කියන්නීය.

ඔහු සමග වැඩ කිරීම විනෝද ජනකය. නමුත් විභාග ප්‍රතිඑල දෙන විට ඔහු ඉතා තදය. මේ නිසා සිසු සිසුවියන් විභාග කාලයට ආතතියෙන් යුතුව මුහුණ දෙති.

“මම විභාගයට නියමිත පොත් සල්ලි දීලා ගත්තේ නෑ . ඔන් ලයින් පොත් අඩු මිලට ගත්තා ඒවා වලින් තමයි ඉගෙන ගන්නේ ” නිකොල් කීවාය.

නිකොල් වැනි සිසුවියන් ඉගෙන ගන්නේ අතිරේක රැකියා කරමිනි. උදේ දේශන වලට එන ඇය සවස් වරුවේ බේ විව් හි ටිම් හෝර්ට්න්ස් කෝපි අවන්හලක සේවය සඳහා යන්නීය.

උසස් අධ්‍යාපනය සඳහා නිකොල් කැප්‍රියෝටි වැනි සිසුවියන් මෙන්ම  පිත්සා බෙදා හරිමින් නේතන් වැනි සිසුන් කරන අරගල  මම දුටුවෙමි.  නේතන් උස සිසුවෙකි. ඔහු දෙමාපියන්ට බරක් නොවී තම අධ්‍යාපනය කරගෙන යයි.  මෙවැනි සිසු සිසුවියන් දකින විට හරකුන් මෙන් දක්කාගෙන ගොස් පාරවල් බ්ලොක් කර ගෙන උද්ඝෝෂණයේ යෙදෙන ලංකාවේ සරසවි සිසුන්  කෙතරම් ලාමකද කියා සිතේ.

ලංකාවේ සරසවි සිසුන්ට විශ්ව විද්‍යාල අධ්‍යාපනය නොමිලේ ලැබේ.

” ඔබ දන්නවාද ලංකාවේ සරසවි සිසුන්ට විශ්ව විද්‍යාල අධ්‍යාපනය නොමිලේ ලැබෙන බව ?  මම නිකොල්ට කීවෙමි.

” විශ්ව විද්‍යාල අධ්‍යාපනය නොමිලේ … ඇය ප්‍රතිරාව කලාය.

” අපට නොමිලේ අධ්‍යාපනය ලැබුනේ හයිස්කූල් දක්වා පමණයි. ලංකාවේ  විශ්ව විද්‍යාල සිසුන් වාසනාවන්තයි ” නිකෝල් කීවාය.

අහෝ ඔවුන් ඉගෙන ගැනීමට තිබෙන කාලය නාස්ති කරමින් පාරවල් වල උද්ඝෝෂණ කරන බව ඇය දන්නවා නම්. ඔවුනට මහපොල නොමිලේ ලැබුනද නිකෝල් සහ නේතන් වැනි සිසු සිසුවියන් අධ්‍යාපනය ලැබීමට ශිෂ්‍ය නය ආධාර ලබා ගනිති. එය යළි ගෙවිය යුතුය.

පිටස්තර ලෝකය ගැන කිසිවක් නොදන්නා ලිං මැඩියන් වන් ලාංකික සරසවි සිසුන් නවක වධය කරති , ඉංග්‍රීසි ටිකක්, පරිගණක විශය ටිකක් ඉගෙන නොගෙන පාරවල් පුරා රස්තියාදු වෙති. අරගල කරනවා කියා මහ පාරවල් හරස් කරගෙන වැඩ කරන ජනයා පෙළති. මොවුන් හරකුන් මෙන් දක්වන්නෝ අණ්ඩපාලලා  වෙති. ඔවුන් තම දරුවන් පිටරටවල පුද්ගලික විශ්ව විද්‍යාල වලට යවා ලාංකික සරසවි සිසුන් පාරවල් පුරා යවති.

එදා රාගම පුද්ගලික වෛද්‍ය විද්‍යාලය වැසීම සඳහා ත්‍රීමා විතාණ , කොල්ලූරේලා, වෙනුරලා වැනි බිලි බෝයිස්ලා දං ගෙඩියට යවපු සිසු නායකයන් ගේ දේශපාලකයන් ගේ දරුවන් අද ඉගෙන ගන්නේ විදෙස් රටවල පුද්ගලික විශ්ව විද්‍යාල වලය.  ඔවුන් පිටරට ඩිග්‍රි ගසා ජීවිතය විඳිමින් සිටින විට බිලි බෝයිස්ලාගේ දෙමාපියන් පවුලේ සොහොයුරු සොහොයුරියන් තවමත් කඳුළු බොති.

මේ අතර ලාංකික සරසවි සිසුන්  රැකියාවක් ඉල්ලමින්  උපාවාසයේ යෙදෙති. ඒ අතරවාරයේ ඉංග්‍රීසි හැකියාව ඇති පිටරට උපාධි ගත්තෝ එති. පුද්ගලික අංශය ඔවුන් පාවඩ එළා පිලිගනිති. ඉංග්‍රීසිය , පරිගණක දැණුම නොමැතිව පුද්ගලික අංශයට ගියහොත්   තමන් නියත වශයෙන්ම ඇණ ගන්නා බව දන්නා දේශීය විශ්ව විද්‍යාල සිසුන් පතන්නේ රජයේ පින් රැකියාවකි. කළමනාකරණ සහකාර ලෙස රජයේ පත්වීම් ලබා ගන්නා මොවුන් ෆොටෝ කොපියක් ගැනීමට , ෆැක්ස් එකක් යැවීමටවත් දන්නේ නැත. නිකන්ම ආයතන වල පුටු රත්කරන මොවුන් රජයට මෙන්ම ජනතාවටද බරකි.

රජයටවත් , දෙමාපියන්ටවත් , තමන්ටවත් බරක් නොවී නිකෝල් ලා නේතන් ලා උසස් අධ්‍යාපනය ලබති. විශය කරුණු හොඳින් හැදෑරීමෙන් උසස් ලෙස සමත් වී ජීවිත ජය ගනිති. අවසානයේදී එකී රටවල් දියුණු වන අතර අපේ රටවල් එක තැන පල් වෙති. අපගේ දේශපාලුවන් මේ කාලකන්නි තත්වයට හේතුව බටහිර කුමන්ත්‍රණ කියා ජනතාවට කියති. ජනතාව අත්පොලොසන් දෙති.  බටහිරට බනිති.

මේ විශම චක්‍රය නවතින්නේ කවදාද?

 

උපුටාගැනීම – https://transyl2014.blogspot.ca/

LEAVE A REPLY