හිසරද අතර ප්‍රමුඛයා – ඉරුවාරදය (Migraine)

0
154

මදක් ප්‍රමාද වී අවදි වූ කුමුදු ඇස් විවර කල සැණින් ඇස ගැටුණ හිරු එළිය ඇයට ඇති කලේ ප්‍රසන්න හැඟීමක් නොවේ. ඇඟට දැනුන අම්‍රාණික බව හා හිසේ බර ගතිය ඇය සිතුවේ ප්‍රමාද වී නිදා ගැනීම නිසා ඇති වූවක් ලෙසය. ඇය යලි දෙනෙත් පියා ගත්තාය.

ඇසේ වම් පසින් ආලෝක ලපයක් ඇයට යාන්තමට පෙනෙන්නට විය. ඇය සිතුවේ එය එකවරම හිරු එළිය දැකීම නිසා ඇති වූවක් කියාය. නමුත් දෙනෙත් පියාගෙන සිටියද අලෝක ලපය වඩාත් තීව්‍ර වෙමින් ඇසේ වම් පස පැලමදියම් වී සිටී. දඟරාකාරව ස්පන්දනය වෙමින් තිබෙන එම ආලෝකය කුමුදුට අප්‍රසන්න විය.

එම අප්‍රසන්න කම නිසාම හිසේ වම්පස රිඳුම් දීමට පටන් ගත්තේය. ඇය යලිත් තදින් දෙනෙත් පියා ගෙන නිදා ගැනීමට උත්සාහ කලමුත් දඟරාකාර ආලෝක ස්ප්න්දය ඇයව නින්දට වැටීම වලක්වයි.

දැන් එන්න එන්නම හිසරදය වැඩි වේ. ඊට අමතරව උදරයද ඇයට නොදැනෙන අප්‍රසන්න බවක් ඇති කර ඔක්කාරය ගෙන දේ.

“වමනෙ කලොත් හරි යයි” ඇය ඇඳෙන් බැස නාන කාමරය වෙත වැනි වැනී ගමන් කලාය.
බලෙන් වමනය කිරීමට උත්සාහ කලද එය සාර්ථක නොවීය.

ඇය යලිත් ඇඳට පැමිණියාය. ඉර එළිය ඇයට කෝපය ගෙන දේ. ඇය ජනෙල් තිර රෙදි දිග හැර කාමරය අඳුරු කර ගත්තාය. වේදනා නාශක පෙත්තක් ගෙන යලි නිදා ගැනීමට උත්සාහ ගත්තාය, නමුත් නින්ද පැමිණෙන බවක් නැත.

මඳ වේලාවකින් යමෙක් දොරට තට්ටු කරන්නට විය. ඇය කන්දෙකද වසා ගෙන මුහුන කොට්ටයේ ඔබා ගත්තාය. දොර හැරගෙන පැමිණියේ බෝඩිමේ අසල්වැසි කාමරයේ මිතුරිය තනූජාය.

“මොකද බං මේ ඉර මුදුන් වෙනකල් නිදි! නගිටපං නැගිටපං” තනූජා කුමුදුට පහරක් ගසා ඇඳේ පසකින් හිඳ ගත්තාය.

හදිස්සියේම දොර හැරීමෙන් පැමිණි ආලෝකයෙන් හා තනූජාගේ කියවිල්ලෙන් කුමුදුගේ හිසරදය අලුත් කලේය. ඒ සමඟම ඇයට කෝපයක් ඇති විය.

“අනේ තනූ මට පාඩුවෙ ඉන්න දීපන්කෝ, මොන කරදරයක්ද මංද”
ඇය කොට්ටයට මුහුණ තද කර ගනිමින් පැවසීය.
තනූජා ඉන් පුදුමයට පත් විය

“මොකද කුමුදු අසනීපයක්වත්ද?”

“ඔව් තනූ උදේ නැගිට්ට වෙලේ ඉදන් මේ ඔලුවෙ කැක්කුමක් හැදිල, නින්ද යන්නෙත් නෑ, වමනෙට එනව වගේ, එපා වෙනවා”
~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~
ඉහත සඳහන් කලේ ඉරුවාරදය(Migraine) නම් සුලබව දක්නට ලැබෙන හිසරද වර්ගය පලමු වරට අත්දකින අයෙකු පිලිබඳ උදාහරණයකි.
හිසරදය යනු අප සියලු දෙනාම වාගේ බොහෝ විට අත් දැක ඇති සුලබ අපහසුතාවයකි. මෙය බොහෝ විට වෙනත් රෝගී තත්වයක රෝග ලක්ශණයක් ලෙස ඇති වේ. එමෙන්ම අධික වෙහෙස, නිදි වර්ජිත බව, සමහර ඖෂධ වර්ග වල අතුරු ඵල ලෙස හා මානසික පීඩනය වැනි හේතු නිසාද ඇති විය හැකිය.

මෙම විවිධාකාර හිසරදයන් අතර නිතර නිතර දීර්ඝ කාලයක් ඇති වන හිසරද වර්ගද වේ. මේවායින් සුලභ වර්ගය වන්නේ ඉරුවාරදයයි.
මෙය කාන්තාවන් අතර බහුලව දැකිය හැකි අතර ඕනැම වයසක අයෙකුට වැලඳිය හැක (අවුරුදු 10 – 45 අතර වැඩි වශයෙන් )
මෙම ඉරුවාරදය ඇති වීමට හේතු තවමත් හරියාකාරව සොයා ගෙන නැත. නමුත් මොළ්යේ අභ්‍යන්තරයේ මෙන්ම හිස් කබලේ ඇති රුධිර නාල වල සිදුවන වෙනස් කම් (හැකිලීම හා ප්‍රසාරණය ) වීම් මෙයට හේතු වේ යැයි සැක කෙරේ. එමෙන්ම මොළයේ ඇති රසායන ද්‍රව්‍යය (Histamine, Serotonin, Nor adrenaline ) වල සංකූලතාද මෙයට හේතු වන බවට සැක කරයි.

අපි බලමු මෙම ඉරුවාරදයේ රෝග ලක්ශණ මොනවාද කියල. මෙය වරින් වර ඇතිවන හිසරදයකි. එම වැළඳීම් දෙකක් අතර කාලය රෝගියගෙන් රෝගියාට වෙනස් වේ. සමහර අයෙකුට වසරකට වරක් වැළඳිය හැක, සමහරෙකුට සතියකට කිහිප වරක් වැළඳිය හැක.

මෙම හිසරදය අවස්ථා 3කට බෙදා දැක්විය හැක.
1. හිසරදය වැළඳීමට මද වේලාවකට පෙර  (විනාඩි 30කට පමණ පෙර )

– ඇස් පෙනීමේ වෙනසක් ඇති වීම (පෙනීම අඩු වීම, එක් ඇසක පෙනීම තාවකාලිකව නැතිව යාම )

– ඇසේ එක් පසකින් දීප්තිමත් විවිධ හැඩ තල වල එළි පෙනීම ( දඟරාකාර ස්ප්න්ද ලෙස දීප්තිමත් එළි පෙනීම, ඇස් වසා ගත්තද එම එළි පෙනීම සිදු වේ)

– සිරුරේ එක් පසක් හිරි වැටීම හෝ දුර්වල බවක් ඇති වීම.

2. හිසරදය පවතින කාල සීමාව

ඉහත සඳහන් කල අනතුරු ඇඟවීමේ ලක්ශණ (Aura) වලින් මද වේලාවකට පසු (විනාඩි 15-30) තද බල ලෙස හිසරදය හට ගනී. මෙය බොහෝ විට හිසේ එක් පසකින් ඇති වන්නකි.

මෙම හිසරදය සමඟ,

– සිරුරේ අප්‍රාණික බව
– ඔක්කාරය හා වමනය
– අහාර අරුචිය
– ආලෝකය දෙස බැලීම අප්‍රසන්න වීම
– ශබ්දයන්ට ඇති අප්‍රසන්න බව
– ක්ෂනික කෝපය ඇති වීම
වැනි ලක්ෂන ඇති වේ.

හිසරදය පැය කීපයක සිට දිනයක් දක්වා වුවද පැවතිය හැක.

3. හිසරදයට පසු කාලයපැය කීපයකට පසු හිසරදය අවසන් වුවද රෝගියා තවත් පැය කීපයක් නිදා ගැනීමට පෙළඹේ. ශරීරයේ අප්‍රාණික බව පැය කීපයක් පවතී.

ඉරුවාරදය ඇති වීමට බලපාන සාධක කිහිපයක් දැකිය හැක. මේවා පුද්ගලයාගෙන් පුද්ගලයාට අනුව වෙනස් වේ.

  • තද හිරු එළියට නිරාවරණය වීම හෝ ඒ දෙස බැලීම
  • මානසික පීඩනය
  • නිදි වර්ජිත බව
  • සමහර ආහාර වර්ග (උදා – චොකලට්) නමුත් එය රෝගියා ගෙන් රෝගියාට වෙනස් විය හැක.
  • කාන්තාවන්ගේ මාසික වීම.

ඉරුවාරදය යනු වඩාත් අප්‍රසන්න හිසරදයකි. මෙය සම්පූර්ණයෙන්ම සුව කල නොහැක. නමුත් නිවරැදිව වෛද්‍යය උපදෙස් පිළිපැදීමෙන් එය නැවත ඇති වීම අවම කල හැක. එමෙන්ම එය වැලඳුන විට ඇති වන අපහසු තාවය අවම කර ගත හැක.
ප්‍රතිකාර

හිසරදය ඇති වීමට හේතු වන සාධක පලිබඳ කල්පනාකාරීව සිට ඒවා හඳුනා ගෙන එම සාධක වැලකීම වඩාත් සාර්ථකය. (උදා – තද හිරු එළියට නිරාවරනය වීමෙන් වැලකීම )
සම්පූර්නයෙන්ම සුව කල නොහැකි වුවද, මෙයට ප්‍රතිකාර ක්‍රම 2 ක් ඇත.
1. හිසරදය ඇති වූ විට ඇති වන අපහසුතා වැලකීම
මෙයට වමනය හා ඔක්කාරය අඩු කිරීමට හා හිසරදය අඩු කිරීමට සුදුසු වේදනා නාශකයක් ලබා දෙනු ඇත.

2. ඉරුවාරදය ඇති වීම වැලකීමට ප්‍රතිකාර

මේ යටතේ ලබා දෙන ඖෂධ යම් කාලයක් ගැනීමේදී ඉරුවාරදය නැවත ඇති වීමට ඇති හැකියාව අඩු කරණු ලැබේ.

සැලකිය යුතුයිදිගු කලක් වරින් වර ඇතිවන හිසරදය නොසලකා හැරීම භයානක විය හැක. මක් නිසාද එය වෙනත් රෝගී තත්වයක එකම රෝග ලක්ශණය විය හැකි බැවිණි. එම නිසා දිගු කලක් වරින් වර ඇතිවන හිසරද තත්වයක් තිබේ නම්. වහාම වෛද්‍යවරයෙක් හමුව අදාල පරීක්ශාවන් සිදු කර ගන්න.

උපුටාගැනීම – ‘ගිමන්හල’ බ්ලොගය

http://gimanhalablog.blogspot.com/2012/08/migraine.html

LEAVE A REPLY