අලුත් ලොවක් ගැන සිතීම දඬුවම් දෙන වරදක් නම්… කුමට එරට අධිකරණය, නීතිය හා විනිසුරන්…!

0
191

හරියට ඉගෙන ගත්තෙ නැති ප්‍රමිතියක් නැති වෛද්‍යවරයෙකුගෙං කාටහරි බෙහෙත් ගන්න සිද්ධ වෙනවා නං ඒක ඛේදවාචකයක්.

වෛද්‍යවරයෙක්ට නෙමෙයි ඉංජිනේරුවරයෙකුගෙ ඉඳලා මේසන් බාස් වෙනකන්ම ඕනමෙ වෘත්තියකට නියමාකාර හැදෑරීමක් නැති අය එක් වීම බරපතළ අවුලක්. මේසන් බාස්ලට අත් උදවු දෙන්න ගිහිල්ලා බාස් නැති වෙලාවට ගඩොල් බැඳලා පුරුදු වෙලා මේසන් බාස්ලා වෙන අයගේ ඉඳලාම ප්‍රමිතියක් නැති අධ්‍යාපනයකින් බිහි වෙන වෘත්තිකයන් කියන්නේ ඕනෙම රටකට ගැටලුවක්. ඒක නිසා සයිටම් වේවා මිහින්තලේ වේවා වෙනත් පීඨයක් ප්‍රයිවට්/රජයේ කැම්පස් එකක් වේවා නිසි ප්‍රමිතිය සකසා ගන්නා තුරු අධ්‍යාපනය දීම නවතවු කියන සටන් පාඨය ගේනවා නං අනුරුද්ධ පාදෙණිය එක්ක නෙමේ වේළුපිල්ලේ පිරබාහරන් වගේ කෙනෙක් එක්ක වුණාත් හිට ගන්න එක මට නං ගැටලුවක් නෙමෙයි. හැබැයි ඒ කියන්නේ හොඳට තියෙන ප්‍රයිවට් කැම්පස් වහන්න හරි ජනසතු කරන්න හරි කියන එක නෙමෙයි. නියමිත ප්‍රමිතිය ඇති කරන්න කියන එකයි.

දන්න තරමින් ලංකාවෙ විශේෂඥ්ඥ වෛද්‍යවරුන්ගේ සංගමය ඉන්නෙත් මීට කිට්ටු ස්ථාවරයක. තමුන්ගෙ වෘත්තීයට ඉදිරියේදී ඇති විය හැකි තරගකාරීත්වය දෙස උපේක්ෂාවෙන් බලලා ඒ අභියෝගය ආදරෙන් වැළඳෙගන්න ලංකාවෙ විශේෂඥ්ඥ වෛද්‍යවරුන්ගේ සංගමයට තියෙන අභිමානය වෙනුවෙන් හිස නමා ආචාර කල යුතුයි ඒවායේ ප්‍රමිතිය නියාමනය කරන්න ඉන්න ආයතන වලට නිසි ප්‍රමිතියකින් යුතුව ඒවා පවත්වා ගෙන යන්න අවශ්‍ය කටයුතු සම්පාදනය කරන්න බැරි නං අපි උද්ඝෝෂණ වැඩ වර්ජන කරන්න ඕනේ අදාල ආයතන වහලා දාන්න ජනසතු කරන්න කියලා නෙමෙයි. දැනට තියෙන හරියට ප්‍රමිතිය නියාමනය කරන්න බැරි ආයතන විසුරුවා හැරලා අලුත් ආයතන හදන්න කියලායි.

තමුන්ගෙ රස්සාව හරියට කරන්න බැරි අයව ගෙදර යවලා නිසි අයව පත් කරන්න කියලායි. කොහොම වුනත් බොටම් ලයින් එක මෙච්චරයි. පුද්ගලික වේවා රජයේ වේවා ප්‍රමිතියක් නැති අධ්‍යාපනයට වැට බඳින්න ඕනෙ කියන එක ගැන විවාදයක් නෑ. ඒ අතරට එනවා මෙන්න මේ කතාව. ජවිපෙ පත් කල මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති ගිය සතියෙ සිළුමිණ පත්තරේට කියන මේ කතාව. ඔහුට අනුව සයිටම් වසා දැමිය යුතුයි. (සයිටම් වෛද්‍ය පීඨය නෙමෙයි මුලු සයිටම් එකම ) මේ කියන්නේ අධ්‍යාපනයේ ප්‍රමිතිය නිසා සයිටම් වැසිය යුතුයි කියලා නෙමෙයි. අධ්‍යාපනය විකිණීම අවුල්ද මොකක්ද මංදා එයාගෙ ඔලුව ඇතුලෙ තියෙන ප්‍රශ්නයක් නිසා සයිටම් වැසිය යුතුයි කියලා තමයි කියන්නේ. ඒකෙ ඉන්න ලමයි ටිකට මොකද කරන්නෙ කියලා කල්පණා කරන්න ඕනෙ සයිටම් වැහුවට පස්සෙලු. ඒ ගොල්ලොංගෙ ක්‍රමේ කොහොමත් එහෙම තමයි. ඉස්සෙල්ලා කඩාකප්පල් කරලා ඉවර වෙලා තමයි මොකක්ද කරන්න ඕනෙ කියල කල්පණා කරන්නෙ. ප්‍රශ්නය නිවැරදිව තේරුම් අරගෙන විසඳුම් යෝජනා කරනවා වෙනුවට එයාල කරන්නේ ඉස්සෙල්ල විසඳුමක් ඇප්ලයි කරලා පස්සෙ ප්‍රශ්නය තේරුම් ගන්න හදන එක.

ඉස්සෙල්ලා සයිටම් වහලා පස්සෙ ඒකෙ ඉන්න ලමයින්ට මොකක්ද කරන්නෙ කියල හිතමු කියන්නෙ අන්න ඒ ක්‍රමේ තමයි. ඒකත් අලුත් දෙයක් නෙමෙයි ඒ ගොල්ලො නවසිය හැටපහේ ඉඳලම කලේ ඒක තමයි. බස් ගිනි තැබීම, බැකෝ දාලා වැව් වල වලවල් හෑරීම, සන්ධාන ආන්ඩු ආදී එයාලා තීරණාත්මකව රට වෙනුවෙන් මැදිහත් වුණ හැම අවස්ථාවක්ම එහෙම තමයි. අදාළ මොහොතේ හිට් වෙන්නෙ මොන වගේ විසඳුමක්ද කියලා හිතලා ඒක කරනවා. ඊට පස්සෙ ඒ විසඳුමට සාපේක්ෂව ප්‍රශ්නය තේරුම් ගන්න හදනවා දේවල් ගොඩ නගනවට වඩා විනාස කර දමා කඩා බිඳ හෙළීම බොහොම පහසුයි. බාමියාන් බුදු පිළිම කියන්නේ වසර සිය ගණනක් තිස්සේ ගොඩ නගපුවා. ඒත් ත්‍රස්තවාදීන්ට ඒක විනාස කරන්න ගත වෙන්නෙ දින කිහිපයයි. ගොඩනැගීමට වඩා විනාස කිරීම වීරකම්ක් විදියට සළකණ අය ලෝකෙ විරල නෑ.

දැං මගේ ප්‍රශ්නෙ මේකයි. වෛද්‍ය සභාවේ තල්ලුව සහ සමාජයේ අවධානය මේ මොහොතේ වැඩිපුර තියෙන්නෙ සයිටම් එක වෙත නිසා මෙයාලා අද කියනවා ඉස්සෙල්ලා සයිටම් වැසිය යුතුයි. පස්සෙ පුලුවං ලමයින්ට කරන දේ ගැන හිතන්න කියලා. මේ කියන්නෙ ප්‍රමිති ප්‍රශ්නයක් නිසා නෙමෙයි වෙන මොකක්ද දහම්පාසල් කේස් එකක් නිසා. (වෛද්‍ය සංගමය නගන ප්‍රමිතිය පිළිබඳ ප්‍රශ්නෙ මේ වගේ දහම් පාසල් කේස් එකක් නෙමෙයි. ඊට වඩා අතිශය වැදගත් එකක්. මේ කොමිටල් වලිං වෙන්නෙ ඒවටත් හානියක්) ප්‍රමිති ප්‍රශ්නෙ ඇරුණාම ඔය කියන දහම් පාසල් ප්‍රශ්නෙ නං මේ රටේ සිය ගාණක් වෙච්චි ප්‍රයිවට් කැම්පස් වලටත් අදාළයි. ඒවායේ ඉගෙන ගෙන හම්බු කරං කන අදත් ඉගෙන ගන්න සිය දහස් ගණනක් දෙනාට ත්‍රස්තවාදයේ මේ මුහුණුවර තේරුම් ගන්න පුලුවං වෙන්න ඕනෙ. ඉතිං මේ ත්‍රස්තවාදීන් Esoft, ICBT, City & Guilds, BCAS, Edu link, ANC, ACBT, CIMA, CIM, NSBM, BCS ඇතුළු අනෙක් පෞද්ගලික විශ්වවිද්‍යාලත් වසා දැමිය යුතුයි. ඒවායේ ඉගෙන ගන්න ලක්ෂ ගණනක් දරුවන්ට මොකද කරන්නෙ කියලා බලන්න ඕනෙ ඒවා වැහුවට පස්සෙයි කියලා කියන දවස උදා වෙන්න තව කොච්චර කල් තියෙනවද??

-උපුටාගැනීමකි.

LEAVE A REPLY