ප්‍රෙෂර් වලට සීනි වලට බේත් බොනවද?

0
138

 මුලින් රෝගියෙක් එක්ක ඇති වුන පොඩි සංවාදයක් කියල ඉන්නම්.

මේ බාහිර රෝගී අංශයට ආව වයස අවුරුදු 62 ක් විතර වෙන අම්ම කෙනෙක්. ඔලුව කැරකෙනව වගේ කියල සීනියි, පෙශර් එකයි බලා ගන්න ඇවිත්

“ලේ වල සීනි ප්‍රමාණය නම් ටිකක් වැඩියි 185ක් වෙනව උදේ තේකක් වත් බිව්වද?”

“අනේ නෑ ඩොක්ටර් රෑ කෑවට පස්සෙ වතුර විතරයි බිව්වෙ”

“පෙශරුත් බලමුකො,

පෙශර් එකත් ටිකක් වැඩි වෙලානෙ 160යි 100ක් වෙනවා”

“කෝ බලන්න පොත.”

පොතට අනුව වරින් වර පුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථාන කීපයකින් ප්‍රතිකාර ලබා ඇත. නියම කර ඇති ඖෂධ ප්‍රමාණවත් නොවේදැයි නිගමයට පෙර සුපුරුදු ප්‍රශ්නයක් ඇසුවෙමි.

“මේ තියෙන විදිහට හරියට බේත් ටික බිව්වනෙ නේද?”

“ඔව් ඩොක්ටර් හරියට බිව්වා, සති දෙකකට කලින් පෙශරුයි සීනියි බලනකොට දෙකම නියම ගානට තිබ්බා. ඉතිං මම සීනි පෙත්තයි පෙශර් පෙත්තයි දෙකම බොන එක නැවැත්තුවා. ඔය හැටි බේත් බොන්න හොඳ නැහැනෙ නේද ඩොක්ටර්!”

රෝගියාගේම වරදක් කිව නොහැක. සමහර රෝගීන් හට දීර්ඝකාලීනව ඖෂධ ගැනීමේ අවශ්‍යතාව හා එහි වැදගත්කම ගැන ටිකක් බරපතල ලෙස අවවාද කල යුතුවේ.

“ඒ කියන්නෙ ඒ වෙලාවෙ ඩොක්ටර් කිව්වද බේත් නතර කරන්න කියල?

“අපෝ නෑ, ඔය විදිහටම බොන්න කියල තමයි කිව්වෙ.”

ඒකනේ, ඩොක්ටර් කෙනෙක් නිකන් බේත් දෙන්නෙ නැහැනේ. අම්මේ පෙශර්, සීනි කියන්නෙ කැස්ස හැම්බිරිස්සාව වගේ හොඳ වෙන ලෙඩ නෙවෙයි, බේත් වලින් කෑම බීම වලින් පරෙස්සම් වෙලා පාලනය කර ගන්න ලෙඩ.”

“දැන් බලන්න පහු ගිය මාස ටිකේ හරියට බේත් බිව්ව නිසා සීනි පෙශර් දෙකට නියම ගානට අඩු වෙලා. බේත් නොබිව්ව නිසා දැන් ඒ දෙකම ගොඩක් වැඩි වෙලා, මේ වගේ පෙශර් සීනි දෙකම වැඩි වෙනක ගොඩක් අවදානම්, අංශභාගය, හාට් ඇටෑක් වුනත් හැදෙන්න පුලුවන්.”

“කාලයක් යනකොට පෙශර් සීනි හොඳටම අඩුයි නම් ගොඩක් හෙමින් බේත් අඩු කරල බලන්න පුලුවන්, හැබැයි ඒක් කරන්න ඕනෙ ඩොක්ටර් කෙනෙක් කියන විදිහට නිතරම සීනි පෙශර් බලන ගමන්. අනෙක මාසෙන් මාසෙට හරියට සීනි පෙශර් බලාගෙන බේත් ගන්න ඕනෙ. ඒ වගේම හරියට වෙලාවට බේත් බොන්නත් ඕනෙ.”

ඒක තමයි ඩොක්ටර්, මම හරියට බේත් ටික බොන්නම්.

` ` ` ` ` ` ` ` ` ` ` ` ` ` ` ` ` ` ` ` `

රුධිර පීඩනය, රුධිරයේ සීනි ප්‍රමාණය ආහාර පාලනයෙන් හෝ ව්‍යායාම වලින් පාලනය කරන්න අපහසු වන විට ඖෂධ ලබා ගැනීම අත්‍යවශ්‍ය වෙනවා.

ඔනෑම ඖෂධයක අතුරු ආබාධ අහිතකර තත්ව තියෙන බව ඇත්ත, ඒත් රුධිර පීඩනය, රුධිරයේ සීනි ප්‍රමාණය අධික ලෙස වැඩි වීම මගින් සිදුවන හානිය බරපතලය.

බෝනොවන රෝග සඳහා නියම කරන මෙම ඖෂධ වලින් සිදුවන්නේ අදාල අසමතුලිත තත්වය (වැඩි වූ රුධිර පීඩනය හෝ රුධිරයේ සීනි ප්‍රමාණය) සමතුලිතතාවය ගෙන ඒම පමණයි. එයින් රෝගය නිට්ටාවට සුව වීමක් සිදු වන්නේ නෑ ඉන් සිදු වන්නේ පාලනයක් පමණයි. ඖෂධය ගැනීම නතර කල විට යලිත් සුපුරුදු අසමතුලිතාව මතු වෙනවා. නමුත් මෙම ඖෂධ නිසා සිරුර සාමාන්‍ය පරිදි ක්‍රියාකරන්නවා එවිට අධික රුධිර පීඩනය හෝ රුධිරයේ සීනි ප්‍රමාණය නිසා සිරුරරට සිදුවන හානිය හා අතුරු විපාක වැලකෙනවා.

රුධිර පීඩනය හෝ රුධිරයේ සීනි ප්‍රමාණය පාලනය සඳහා ඖෂධයක් වෛද්‍යවරයෙක් නියම කලොත් ඒ සම්බන්ධයෙන් දෙන උපදෙස් නිවරැදිව අවබෝධ කර ගන්න.

උදා :-

1. ඖෂධය ගතයුතු වාර ගණන හා ප්‍රමාණය

2. කෑමට පෙරද පසුද යන වග.

3. ඖෂධය බොන අතරතුර ඇති වීමට ඉඩ ඇති සංකූලතා (රුධිර පීඩනය පාලනය සඳහා ලබා දෙන සමහර ඖෂධ වලින් අඩු රුධිර පීඩන තත්වයක් ඇති වුවහොත් දැනෙන රෝග ලක්ෂණයන් මොනවාද,  රුධිරයේ සීනි ප්‍රමාණය පාලනයට ලබා දෙන සමහර ඖෂධ වලින් අඩු රුධිර සීනි තත්වයක් ඇති වුවහොත් දැනෙන රෝග ලක්ෂණයන් මොනවාද වැනි කරුණු ) අසා දැනගත යුතුය.

4. නැවත රුධිර පීඩනය හෝ රුධිරයේ සීනි ප්‍රමාණය පරීක්ෂාවට පැමිණිය යුතු දිනය.

සෑම විටම තමා ගන්නා ඖෂධ නාමයන් හා ප්‍රමාණයන් මතකයේ තබා ගන්න. එමෙනඅස් ඖෂධ තබා ගැනීමට නිවැරැදිව ලේබල් කල සුලං නොවදින අසුරන සකසා ගන්න.

බෝනොවන රෝග සම්බන්ධයෙන් ඖෂධ ලබා ගැනීමට සිදු වන තත්වයක් යනු රෝගයේ තරමක් උත්සන්න අදියරකි. එනම් එහිදී රුධිර පීඩනය හෝ රුධිරයේ සීනි ප්‍රමාණය වැඩි වීම වැනි අසංතුලිතතා නිසා සිරුරේ බොහොමයක් අවයව වලට හානි පැමිණීමට හැකියාව ඇති තත්ත්වයකි. එම නිසා තමාගේ සෞඛ්‍යය පිළිබඳව වෙනදාට වඩා සැලකිලිමත් විය යුතුය.

 එනම්,

  • නියමිත කාලසීමාවකට වරක් වකුගඩු වල තත්වය, හදවතේ ක්‍රියාකාරීත්වය, ඇස් වල තත්වය පරීක්ෂා කර ගතයුතුය. මක් නිසාද රුධිර පීඩනය, රුධිරයේ සීනි ප්‍රමාණය ඉහල යාම දිගු කාලයක් පැවතීමේදී ඉහත අවයව වලට සියුම් ලෙස හානි සිදුවේ. එම සියුම් හානි පසුකාලීනව දරුණු තත්වයන්ට පත්වීමට ප්‍රථම හදුනාගෙන ප්‍රතිකාර කලයුතු වනවා.

  • දියවැඩියා රෝගයෙන් පෙලෙන අය තම පාද ගැන වැඩි අවධානයයක් දිය යුතුවේ. සෑම දිනකම හොඳින් සිය පාද පරීක්ෂා කලයුතුය (යටිපතුල්, ඇඟිලිකරු අතර ) මක්නිසාද බොහෝ දියවැඩියා රෝගීන්ගේ ස්නායු අන්ත දුර්වල වීමේ අතුරු විපාකය නිසා දෙඅත් දෙපා වල සංවේදීබව අඩු වේ. මෙවිට කුඩා තුවාල වල වේදනාව නොදැනේ. එම කුඩා තුවාල ආසදනය වුවහොත් එම ආසාදන පාලනය ඉතා අසීරු වේ. එවැනි අවස්ථා කෙලවර වන්නේ පාදයේ කොටසක් කපා දැමීමෙනි.

  • බෝනොවන රෝගයක් පවතින (දියවැඩියාව / අධි රුධිර පීඩනය) රෝගියෙකු සිය පවුලේ ළඟම ඥාතීන් බෝනොවන රෝග හදුනා ගැනීමේ පරීක්ෂා සඳහා යොමු කල යුතුය. බොහොමයක් බෝනොවන රෝග වලට ජානමය බලපෑමක් ඇත.

  • අධි රුධිර පීඩනය, දියවැඩියාව වැනි බෝනොවන රෝගයකින් පෙලෙන සෑම කාන්තාවක්ම ගර්භණීවීමට ප්‍රථම සිය රෝග තත්වය ඉතා හොදින් පාලනය කරගත යුතුය.

  • බෝනොවන රෝගයකින් පෙලෙන ඒ සඳහා ප්‍රතිකාර ලබා ගන්න සෑම අයෙක්ම වෛද්‍යවරයෙකු හමුවන සෑම විටම සිය රෝග නිශ්ච ය කාඩ්පත ( Diagnosis Card) හෝ සායන පොත (Clinic record)රැගෙන යාම අත්‍යවශ්‍ය වේ. මක්නිසාද වෙනත් රෝගයකට ප්‍රතිකාර නියම කිරීමේදී දැනට ප්‍රතිකාර ලබන රෝගයේ පාලනයට බලපෑමක් නොවන ලෙස හා දැනට ගන්න ඖෂධ හා අනිසි ලෙස ක්‍රියානොකරන ඖෂධ තීරණය කිරීමට සිදුවන බැවිනි.

ඔන්න දැනට වසරක පමණ කාලයක ඉඳන් කතාකල “අපේම වරදින් සෑදෙන බෝ නොවන රෝග වලක්වා ගැනීම” ලිපිපෙල අදින් අවසන් වෙනවා. අලුතින් කියවන අයට පහසුවක් වෙන්න එම ලිපි සියල්ල පහත දක්වන්නම්.

උපුටාගැනීම 

http://gimanhalablog.blogspot.com/search/label/

LEAVE A REPLY