ඩෙංගු රෝගය යනු ..

0
78

ඩෙංගු හඳුනාගන්නා හැටි

ඩෙංගු රෝගය යනු කුමක්‌ද?

වෛරසයක්‌ මගින් ඇති කරනු ලබන රෝගයකි. ඩෙංගු වෛරසය ශරිරගතවූ අයෙකු බොහෝ විට රෝග ලක්‌ෂණ නොපෙන්වන අතර රෝග ලක්‌ෂණ මතුවූවහොත් එය

* සාමාන්‍ය සුළු උණ තත්ත්වය

* ඩෙංගු උණ (Dengue Fever – DF)

* ඩෙංගු රක්‌තපාත උණ (Dengue
Haemorrhagic Fever – DHF)

* අසමාන්‍ය ඩෙංගු උණ තත්ත්වය ( ඉතා කලාතුරකින් ) විය හැක.

ඩෙංගු බෝවන්නේ කෙසේද?

ඩෙංගු රෝගය ඇති කරන වෛරසය ඊඩිස්‌ වර්ගයේ ගැහැනු මදුරුවන් මගින් පතුරවයි. මෙම මදුරුවන් තුළට වෛරසය ඇතුළුවන්නේ ඩෙංගු වෛරසය ශරිර ගතවූ පුද්ගලයෙකු දෂ්ට කිරීමෙනි.

ඩෙංගු රෝගය සෑදීමේ අවදානම ඇත්තේ කාහටද?

අසාදිත ඩෙංගු මදුරුවකු විසින් දෂ්aට කරන ඕනෑම පුද්ගලයෙකුට ඩෙංගු රෝගය සෑදීමේ අවදානමක්‌ පවතී. තවද පුද්ගලයෙකුගෙ වයස හා ප්‍රතිශක්‌තිය මත රෝගයේ ස්‌වභාවය වෙනස්‌ විය හැකිය.

උණ රෝගය සෑදුන විට එය ඩෙංගු විය හැකි බවට සැක කළ යුත්තේ ඇයි?

ඩෙංගු රෝගය සාමාන්‍ය සුළු උණ මෙන්ම ඩෙංගු රක්‌තපාත උණ (DHF) වැනි අවදානම් අවස්‌ථා වලටද පත්විය හැකිය. මෙම අවදානම් අවස්‌ථා මුල් අවධියේදී සාමාන්‍ය උණෙන් වෙන්කර හඳුනා ගැනීම අපහසුවේ. සාමාන්‍ය උණ තත්ත්වය ඉක්‌මණින් සුව වන අතර අවදානම් අවස්‌ථා වලදී රෝහල් ගතව ප්‍රතිකාර ලැබිය යුතුය. එබැවින් අවදානම් අවස්‌ථා ඉක්‌මණින් හඳුනාගැනීමට ඩෙංගු උණෙහි රෝග ලක්‌ෂණ පිළිබඳව අවධානයෙන් සිටිය යුතුවේ.

ඔබට වැළඳී ඇත්තේ ඩෙංගු උණද?

උණ සමඟ පහත රෝග ලක්‌ෂණ පවතී නම් ඔබට ඩෙංගු රෝගය තිබිය හැකි බවට සැක කළ යුතුය.

* හිසරදය හා ඇස්‌ යට වේදනාව

* මස්‌පිඬු හා සන්ධි වේදනාව

* ඔක්‌කාරය හා වමනය

* සමෙහි රතු පැහැ හට ගැනීම

* රුධිර වහනය තත්ත්වයන්

ඉහත රෝග ලක්‌ෂණ ඇත්නම් වෛද්‍යවරයකු වෙත යොමුවීම අවශ්‍ය වේ. ඔබ ඩෙංගු බහුල ප්‍රදේශයක වාසය කිරීම හා අවට ඩෙංගු රෝගීන් වාර්තා වීම මේ සැකය වඩාත් තහවුරු කිරීමට හේතු වේ.

ඩෙංගු රෝගය නිශ්චය කරන්නේ කෙසේද?

ඩෙංගු රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී වඩාත් වැදගත් වන්aනේ අවදානම් අවස්‌ථාවට පත්වන රෝගීන් ඉක්‌මණින් හඳුනා ගැනීමය (උදා( ඩෙංගු රක්‌තපාත උණ, අසාමාන්‍ය ඩෙංගු උණ) ඒ සඳහා උණ සැදී දින 2 කට පසුව කරනු ලබන සම්පුර්ණ රුධිර පරීක්‌ෂාව FBC – Full Blood Count වඩාත් ප්‍රයෝජනවත් වේ. ඩෙංගු වෛරසය ශරීර ගතව ඇති බව තහවුරු කිරීම සඳහා කරනු ලබන NS1 හා ඩෙංගු ප්‍රතිදේහ පරික්‌ෂාවන් මඟින් ඩෙංගු උණ DF හා ඩෙංගු රක්‌තපාත උණ DHF වෙන්කර හඳුනා ගත නොහැකිය.

ඩෙංගු රෝගය කිහිපවරක්‌ සෑදිය හැකිද?

ඩෙංගු වෛරසයට ප්‍රභේද 4 ක්‌ ඇත. යම් පුද්ගලයෙකු ඩෙංගු රෝගයට වරක්‌ ගොදුරු වූ විට ප්‍රතිශක්‌තිය ඇති වන්නේ එක්‌ ප්‍රභේදයකට පමණක්‌ බැවින් ඔහුට නැවත අනිකුත් ප්‍රභේද මඟින් ආසාදනය විය හැකිය. තවද නැවත වරක්‌ ඩෙංගු රෝගය සැදීමේදී එම පුද්ගලයා ඩෙංගු රක්‌තපාත තත්ත්වයට පත්වීමේ ප්‍රවණතාවය (විශේෂයෙන් දෙවන අවස්‌ථාවේ) වැඩිවේ.

ඩෙංගු උණ වැළඳුන විට නිවසේදී ප්‍රතිකාර කළ හැකිද?

ඩෙංගු වෛරසය ශරීරගත වන බෙහෝ රෝගීන් සාමාන්‍ය උණ තත්ත්වයක්‌ පෙන්නුම් කරයි. එබැවින් හොඳින් විවේක ගැනීම හා වෛද්‍ය උපදෙස්‌ ලබාගෙන ඒ අනුව කටයුතු කිරිම වැදගත් වේ. වෛද්‍යවරයා විසින් දින 2 කට පසු FBC පරික්‌ෂාව කොට රෝගියා රෝහල් ගත කළ යුතු ද යන්න තීරණය කරනු ඇත.

ඩෙංගු රක්‌තපාත උණ (DHF) යනු කුමක්‌ද?

ඩෙංගු රක්‌තපාත උණ, ඩෙංගු රෝගී තත්ත්වය ඇතිවිය හැකි අවදානම් අවස්‌ථාවකි. උණත් සමඟ ඇතිවන අනිකුත් රෝග ලක්‌ෂණ බොහෝ දුරට සාමාන්‍ය ඩෙංගු උණට සමාන වන බැවින් ඩෙංගු රක්‌තපාත රෝගීන් ඩෙංගු උණ රෝගීන්ගෙන් වෙන්කර හඳුනා ගැනීsම මුල් අවධියේ පහසු නොවේ. එහිදී උණ බැසයාමත් සමඟ ප්‍රධාන ලක්‌ෂණය වන රුධිර වාහිනි වලින් පිටතට ( විශේෂයෙන් ප්ලුරා පටල අතරට හා උදර කුහරයට ) ප්ලාස්‌මා තරලය කාන්දු වීම සිදුවේ. මෙය සාමාන්‍යයෙන් උණ සෑදි 03 වන දින හො ඊට පසුව සිදුවන අතර රුධිර පරික්‌ෂා FBC වල වෙනස්‌කම් මඟින් හඳුනා ගත හැකිය. මෙසේ නොදැනුවත් කමින් දිගටම ප්ලාස්‌මාව කාන්දු වීම මඟින් කම්පන අවස්‌ථාවට පත්විය හැකිය. ඇතැම් රෝගීන් කම්පන අවස්‌ථාවට පත්වීමට පෙර අවදානම් ලක්‌ෂණ පෙන්නුම් කරයි. එබැවින් මෙම අවදානම් ලක්‌ෂණ පිළිබඳව අවදානයෙන් සිටීම වැදගත් වේ.

අවදානම් ලක්‌ෂණ මොනවාද?

* උදරයේ ඇතිවන තද වේදනාව

* නොනවත්වා වමනය පැවතීම

* අධික නිදිමත, නොසන්සුන්බව, අප්‍රාණික බව

* විදුරු මසෙන්, නාසයෙන් රුධිරය වහනය, දුඹුරු පැහැ වමනය සහ කළු පැහැ මළපහ පිටවීම

* පැය 06 කට වැඩි කාලයක්‌ මුත්‍රා පිට නොවීම සහ මුත්‍රා පිටවන ප්‍රමාණය අඩුවීම

අවදානම් ලක්‌ෂණ නොමැතිවද රෝහල් ගත විය යුතු පුද්ගලයින් කවුරුන්ද?

* ගර්භනී මව්වරුන්

* අධි බර සහිත රෝගීන්

* අවුරුදු 1 ට අඩු ළදරුවන්

* වැඩිහිටි පුද්ගලයින්

උණ ඇති විට කුමක්‌ කළ යුතුද?

* වෙහෙසකර කටයුතු වලින් බැහැර වී හොඳින් විවේක ගන්න.

* උණ පාලනය කිරීමට නියමිත මාත්‍රාවෙන් නියමිත කාල සීමාව තුළ පැරසිටමෝල් ඖෂධය ලබා දෙන්න. (උපරිම මාත්‍රාව 60mg/kg/24h) තදින් උණ පවතී. නම් පිරිසිදු රෙදි කඩක්‌ උණුසුම් ජලයෙන් පොඟවා රෝගියාගේ ශරීරිය තැවීම සිදු කරන්න.

* වේදනා නාශක ඖෂධ /Non
Steroidal Anti inflammatory
Druges ( NSAIDS) කාණ්‌ඩයේ ඖෂධ හා ස්‌ටීරොයිඩ් භාවිතයෙන් වලකින්න.

* සැහැල්ලු පෝෂ්‍යදායි ආහාර වේලක්‌ ලබාගන්න

* උණ පවතින කාලය තුළ මදුරු දෂ්aට කිරීමෙන් හැකිතාක්‌ ප්‍රවේසම් වන්න.

උණ පවතින කාලය තුළ භාවිත කළ යුතු ආහාර මොනවාද?

* උණ හා වමනය නිසා ඇතිවන විජලනය තත්ත්වයෙන් මිදීමට අවශ්‍ය ප්‍රමාණයට දියර වර්ග පානය කරන්න තැඹිලි වතුර, කැඳ, කිරි, ජිවනි වැනි මුඛ සජලන පානය (Oral
Rehydration Solution – ORS) පලතුරු යුෂ වඩාත් සුදුසුය.

* ළමුන්ට ග්ලුකෝස්‌ වැනි සීනි සහිත දියර කුඩා ප්‍රමාණ නිරතුරුව ලබා දෙන්න.

* රෝගියා කැමති ආකාරයෙන් වරකට කුඩා ප්‍රමාණ බැගින් අර්ධ ඝන, සැහැල්ලු ආහාර වේල් කිහිපයක්‌ ලබා දෙන්න. තෙල් සහිත ආහාර ගැනීමෙන් වලකින්න.

* අභ්‍යන්තර රුධිර වහන තත්ත්වයන් (රතු/ දුඹුරු පැහැ වමනය හා කළු පැහැ මළපහ) හඳුනා ගැනීම අපහසු වන බැවින් රතු/ දුඹුරු පැහැ ආහාර හා දියර වර්ග ගැනීමෙන් වලකින්න.

ඩෙංගු රෝගීන්ට ඇතිවිය හැකි සංකුලතා මොනවද?

සාමාන්‍ය ඩෙංගු උණ රෝගීන්ට සංකුලතා ඇතිවීමේ අවදානම අවම වේ. ඩෙංගු රක්‌තපාත උණ හා අසාමාන්‍ය ඩෙංගු වැනි අවදානම් අවස්‌ථා වලට පත්වන රෝගීන්ගෙන් සුළු පිරිසකට වකුගඩු හා අක්‌මාව අකර්මන්‍ය වීම, මොළයට සිදුවන බලපෑම වැනි සංකුලතා ඇතිවී කලාතුරකින් මරණය පවා සිදුවිය හැකිය. පමා නොවී නිසි ප්‍රතිකාර වලට යොමු වීමෙන් මෙවැනි තත්ත්වයන් අවම කර ගත හැකිය.

ඩෙංගු රෝගය ඇති විට මදුරුවන්ගේ දෂ්ට කිරීමෙන් ආරක්‌ෂා විය යුතු වන්නේ ඇයි? ඩෙංගු මදුරුවා දෂ්ට කළ පසු වෛරසය රෝගියාගේ ශරීරය තුළ වර්ධනය වන අතර එම කාලය තුළ කිසිදු රෝග ලක්‌ෂණයක්‌ නොපෙන්වයි. මෙම බීජෞෂණ සමය දින 3 – 14 අතර කාලයක්‌ පවතී..

ඉන්පසුව ඇතිවන්නේ උණ අවධිය වන අතර එය දින 2 – 10 අතර කාලයක්‌ පවති. මෙම කාලය තුළ ඩෙංගු වෛරසය රෝගියාගේ රුධිරය තුළ පවතින බැවින් මදුරුවකු දෂ්ට කළහොත් වෛරසය මදුරුවා තුළට ඇතුළුවන අතර එමඟින් වෙනත් පුද්ගලයින් තුළට වෛරසය ඇතුළු වී රෝගය පැතිරිය හැකිය.

ඩෙංගු මදුරුවන් දෂ්ට කරන්නේ කුමන වේලාවන්හිද?

සාමාන්‍යයෙන් ඊඩිස්‌ මදුරුවන් දවසේ උදය කාලයේ හිරු පායා පැය කිහිපයක්‌ යන තුරුද, සවස්‌ කාලයේ හිරු බැසීමට පැය කිහිපයකට පෙරද වැඩිපුරද දෂ්ට කිරීම සිදු කරයි. එබැවින් මෙම කාලය තුළ මදුරු දෂ්ඨන වලින් ආරක්‌ෂා විය යුතුය.

තොරතුරු – ජාතික ඩෙංගු මර්දන ව්‍යාපාරය, සෞඛ්‍ය සහ
දේශීය වෛද්‍ය අමාත්‍යංශය

උපුටාගැනීම

http://www.divaina.com/2016/07/09/sayanaya01.html

LEAVE A REPLY