ශ්‍රී ලාංකික තරුණයෙක් නිසා ගුවන්යානයක් ආපසු හැරවෙයි.

0
67

ඔස්ට්‍රේලියාවේ සිට මැලේසියාව දක්වා පියාසරකරමින් තිබූ මැලේසියා ගුවන් සේවයට අයත් ගුවන්යානයක බෝම්බයක් ඇති බවට බිය ගන්වා එය නැවත මෙල්බර්න් නුවරට ගොඩබැස්වීමේ සිදුවීමක් විදෙස් පුවත් උපුටා දක්වයි.

මේ අයුරින් ගුවන් යානයේ ගමන අඩාල කරන ලද්දේ ශ්‍රී ලාංකික මගියෙකු විසින් බව මැලේසියානු බලධාරීන් පවසන බව බී.බී.සී පුවත් සේවය කියා සිටියි.

මෙල්බර්න් ගුවන්තොටුපළින් ගුවන්ගත වූ මෙම යානය ක්වාලාලම්පුර් නුවර බලා විනාඩි තිහක් පමණ පියාසර කිරීමෙන් අනතුරුව එය ආපසු හරවා නැවත මෙල්බර්න් ගුවන්තොටුපළට පැමිණ තිබේ.

තමන් අත බෝම්බයක් ඇති බව පවසමින් එහි සිටි ශ්‍රී ලාංකික මගියා බලහත්කාරයෙන් නියමු මැදිරියට ඇතුළුවීමට උත්සාහ දරා ඇති බව සඳහන්ය.ඔහුට නියමු මැදිරියට ඇතුළුවීමට නොහැකිවී ඇති බව වික්ටෝරියා පොලිසිය ප්‍රකාශ කරයි.

කාර්ය මණ්ඩලය බිය වැද්දීම සඳහා තමන් අත බෝම්බයක් ඇති බව පවසා ඇති නමුත් එය කුඩා බැටරියක් බව හඳුනාගෙන ඇතැයි නියෝජ්‍ය ප්‍රවාහන ඇමතිවරයා කියා සිටියේය.

MH 128 ගුවන් යානය ආරක්‍ෂා සහිතව ආපසු ගොඩ බැස්වූ බවත් ශ්‍රී ලාංකික මගියා අත්අඩංගුවට ගනු ලැබ ඇති බවත් මැලේසියානු ගුවන් සමාගම පවසයි. එමෙන්ම වික්ටෝරියා ප්‍රධාන පොලිස් කොමසාරිස් ග්‍රැහැම් ඇෂ්ටන් මහතා ප්‍රකාශ කර සිටින්නේ වයස අවුරුදු 25ක් වන මෙම තරුණයා මානසික ඒකකයෙන් බදාදා උදෑසන නිදහස් කළ අයෙක් බවයි. පොලිස් කොමසාරිස්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ එය ත්‍රස්තවාදී සිදුවීමක්ද නැතහොත් ඔහුගේ මානසික සෞඛ්‍ය සම්බන්ධ ගැටලුවක්ද යන්න සොයා බලාක්‍රියාත්මක වන බවයි.

LEAVE A REPLY