෴ රතු කැකුළක අබිනික්මන ෴ – අශාන් ඉන්දික.

0
31

“කුරුල්ලන්ට ගල් ගහලා – උන් හොඳටම බිය කරලා
මල් පොහොට්ටු තිගැස්සිලා – කඳුලු හෙලනවා….”

(අබිනික්මන)

අවසානයේ ඔහුත් යන්නට ගියේ ය.

ශ්‍රී ලංකාවේ උපන් විශ්ව පුරවැසි මහාචාර්ය සිරි ගුනසිංහ සූරීහු දිවි ගමනේ අනූ දෙහැවිරිදි විය පසු කරමින් සිට කැනඩා රාජ්‍යයේ දී ආයු සංස්කරණය අත්හලෝ ඉකුත් මැයි මස 25 වන දා ය.

මහාචාර්ය සිරි ගුනසිංහ සූරීන්ගේ වියෝව සිංහල සාහිත්‍යයේ සලකුණු තැබූ පේරාදෙණි සාහිත්‍යයේ පුරෝගාමී යුග පුරුෂයන් තිදෙනාගෙන් ප්‍රමුඛතම බල කණු දෙකක භෞතික ශරීරයේ නික්ම යාම සම්පූර්ණ කෙරෙයි. පළමු නික්මයාම වූ 1996 අගෝස්තු මස 16 දින මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ ශාරීරික මරණයත්, දෙවැන්න වන නොබෝ දා සිදු වූ මහාචාර්ය සිරි ගුනසිංහයන්ගේ මරණයත් එතුමන් දෙපළගේ කාබනික සිරුරු අප දෙනෙත් මානයෙන් නො පෙනී ගියත් මෙරට කාව්‍ය, නාටක, සිනමා සංස්කෘතික කලාංගයන් කෙරේ ඔවුන් කරන ලද මාහැඟි සම්ප්‍රදානයේ අනගි මුද්‍රාව අදටත් – තවත් සියවස් ගණනාවකටත් නො මැකී, නො වියැකී රැඳී පවතිනු නො අනුමාන ය.

අනෙක් අතට පේරාදෙණි සාහිත්‍යයේ පුරෝගාමී තුන් කට්ටුවෙන් අදටත් ජීවතුන් අතර සිටින දත් දොස්තර ගුණදාස අමරසේකරයන් අර්ධ විඥ්ඥාණික කාබනික ශරීරයෙන් අප දෑස් අබිමුව දිස් වන්නේ වුව ද ආත්මීය වශයෙන් ඔහු මිය ගොස් බොහෝ කල් වැන්න. දුරාතීතයේ තමන් විසින් කරන්නට යෙදුණු යම් හෝ සුභාවිත සාහිත්‍ය සම්ප්‍රදානයක් වේ නම් ඊට ද නිගා දෙවමින් මස්තිෂ්කය විතැන් වූ ගුණදාස අමරසේකර නමැති අර්ධ විඥ්ඥාණික කවන්ධ රූපය අප හමුවේ අර කොණින් මේ ඉස්පල්ලටත්, ඒ පිළිකන්නෙන් අසවල් ලිප් බොක්කටත් නන්දොඩවමින් කාල්ගානු විනා ඔහුගේ අධ්‍යාත්මය මියගොස් බොහෝ කල් ය. (අමරසේකර තෙම පිළිබඳ වැඩිමනත් මතකාවලෝකනය ඔහුගේ මස්තිෂ්ක සුන් කාබනික සිරුරේ ද ජීවය සිඳුණු දාකම ඉඩක් ලදොත් ලිවීමට පසුවට කල් තබමි)

මහාචාර්ය සිරි ගුනසිංහයන්ගේ වියෝව මෙරට සංස්කෘතියේ එක්තරා සුවිශේෂ කඩඉම් නිමේෂයක් වන නමුදු මා දුටු දිනපතා හෝ සතිඅන්ත පුවත්පත් බොහෝමයකට එය වැදගත් සංසිද්ධියක් නො වී ය. යම් පුවත්පතක් ඒ සම්බන්ධයෙන් වාර්තා කළත් එය හුදෙක් තැපැල්පත් ප්‍රමාණයටත් වඩා කුඩා ඉඩක හුදු ආරංචි වාර්තාකරණයකින් ඔබ්බට ගිය යමක් නො වී ය. ඇතැම් පුවත්පතෙක සාහිත්‍ය අතිරේකවල විවිධ තරාතිරම්වල් පුද්ගල පුද්ගලියන් අභාවිත මහාචාර්යවරයා පිලිබඳ මෘත කලේබර සටහන් ලියා තිබුණ ද ඒවා ඇතැමක් මහාචාර්ය ගුනසිංහ සමග කෑ, බී, ආ, ගිය, අඩිපුඩි ගැසූ ජීවන යටගියාවන්ට සීමා වී තිබිණි. ඒවායේ ඇත්ත – නැත්ත විමැසීමට එතුමන් ද අප’තර නැති. ඒවායේ වගහැටි දන්නේ ලියූ තැනැත්තේ ම පමණි! තවත් ඇතැමක් සිරි ගුනසිංහයන්ගේ උපත, පවත හා විපතත් ජීවන තොරතුරුත් හෙළිදරව් කෙරෙන ලියුම් කියුම් ය. ඒවා වඩාත් යෝග්‍ය වනුයේ මහාචාර්ය සිරි ගුනසිංහ ජීව දත්ත තොරතුරු පත්‍රිකාවකට (curriculum vitae) ය. විවිධ නිල – සිවිල් නාමධාරී තැනැත්තන් මහාචාර්ය ගුනසිංහයන්ගේ සාහිත්‍ය සුවිසැරිය අරබයා ලියා තිබූ දේ ඊනියා මනෝ විශ්ලේෂණය නමැති අතාර්කික, විඥ්ඥාණවාදී, පල්ල ගිය කෝවක බහාලූ වාග් අතීසාරයක් ම පමණි. ඒවා ඥාණ මණ්ඩලයේ හෝ භාව මණ්ඩලයේ නිම් වළලු ප්‍රසාරණය කරනු වෙනුවට ජුගුප්සාව ම, වමීයාව ම උපදවයි. යම් හෙයකින් තමන්ගේ කිතු සිරුර පහරණ මේ විප්‍රකාර මනෝභ්‍රාන්ති ජීවතුන් අතර සිටිය දී මහැදුරු ගුනසිංහයෝ දිටී නම්; වග වළසුන්ට අහර වනු පිණිස හෝ කැනඩාවේ වනයකට වැද දිවි තොර කරගනු නිසැක ය.

මහාචාර්ය සිරි ගුනසිංහයෝ ප්‍රතිභාපූර්ණ කවියෙකි. නවකතාව, සිනමාව, චිත්‍ර හා මූර්ති, පුරා විද්‍යාව සහ විචාරය යනාදී සාහිත්‍ය කලාංගයන්හි එතුමන් නියැලුන ද හෙතෙමේගේ දැවැන්තතම මැදිහත්වීම වැඩිමනත් වශයෙන් උපස්ථම්භක වූයේ සිංහල කවියට යි. විශේෂයෙන් ම නිසඳැස් නොහොත් නිදහස් ආරේ කාව්‍ය නිර්මාණයේ සිංහල සාහිත්‍යයේ පුරෝගාමී කවියා ඔහු ය. ජී. බී. සේනානායකයන් සිංහල නිසඳැස් කවියේ ආදිතමයා ලෙස ඇතැමෙකු සැලකුව ද ඔහුගේ පලිගැනීම කෘතියට පෙර ම මහාචාර්ය සිරි ගුනසිංහයෝ පේරාදෙණි සරසවි සාහිත්‍ය සඟරාවලට නිදහස් පද්‍ය රචනා කළෝහ. එසේ ම නිදහස් ආර වඩාත් කලාත්මක හා භාවපූර්ණ – අර්ථ පූර්ණ – රස පූර්ණ – ධ්වනි පූර්ණ සාහිත්‍ය මෙවලමක් බවට පත් කිරීමට ද මහාචාර්ය ගුනසිංහගේ දායකත්වය අසහාය වූවකි. කොටින් ම මුල මැද අග එළිසමය රැකි, සමුද්‍රඝෝෂ විරිතට පබැඳි, කොළඹ යුගයේ සිව්පද බලඇණියට එරෙහිව තනිව යුධයට පිවිසි සිරි ගුනසිංහයන් නිසඳැස් යන නාම පදයේ ද නිර්මාතෘවරයා බව පොත්, පත්තර පඩංගු පුරාවට ඕලාරික වාක්‍ය ශ්ලේෂ්මල වගුරන අද පරපුරේ කාව්‍යක්කාරයින් කීදෙනෙකු දනිත්දැ යි කීම උගහට ය. එනයින් මහාචාර්ය සිරි ගුනසිංහයන්ගේ සිංහල කවියේ දායකත්වය දෙවැනි වන්නේ නම් ඒ කවීන්ද්‍ර මහගමසේකරයන්ට පමණි. බණ්ඩාරනායක රජය රාජ්‍ය භාෂා පනතින් සිංහලය පමණක් රජැයූ; මෙරට දෙමළ ජනයාට එරෙහි වාර්ගික සංහාරය හිණිපෙත්තට නැගී තිබූ 1958 වැනි වකවානුවක මහාචාර්ය සිරි ගුනසිංහයන් විසින් විරචිත ‘අබිනික්මන’ කවි පොතේ එන මේ නිසඳැස පමණක් වුව විමැසීමට ලක් කිරීමෙන් ඔහු සතු වූ මේ අසහාය නිර්මාණ පෞරුෂය කෙතෙක්දැ යි සිතිය හැකි ය.

“රනබිමින් නැගෙන හඬ

මිනිස්සු නම් නො වෙමු ය අපි
අපි වෙමු පනුවෝ –
පොලොවෙ පස් කා
ජීවත් වෙමු අපි.

මිනිස්සු නම් නො වෙමු ය අපි
අපි වෙමු නයි පොලොංගු –
පැටවුන් ගිල දා
ජීවත් වෙමු අපි.

මිනිස්සු නම් නො වෙමු ය අපි
අපි වෙමු වග වලස්සු –
එකෙ’කා කාගෙන
ජීවත් වෙමු අපි.

මිනිස්සු නම් නො වෙමු ය අපි
අපි වෙමු යක් රකුසෝ –
අමු මිනී මස් කකා
ජීවත් වෙමු අපි.

මලමිනී මවන්නෙමු,
එයින් දිවි රකින්නෙමු

අප නිසා දිවි පිදූ
අප නිසා අඟුරු වූ
ඔවුහුය මේ රන බිමේ දේවි දේවතාවෝ.”

(අබිනික්මන)

‘මස් ලේ නැති ඇට’, ‘අබිනික්මන’, ‘රතු කැකුල’ සහ ‘ආලකමන්දාව’ යන කාව්‍ය කෘතිත්; ‘හෙවනැල්ල’, ‘මන්දාරම’ හා ‘මිරිඟුව ඇල්ලීම’ යන නවකතාත් සෙසු ශාස්ත්‍රීය, සාහිත්‍ය, සමාජ විචාර විමංසනත් හැරෙන්නට මහාචාර්ය සිරි ගුනසිංහයන් විසින් නිර්මිත ‘රන්වන් කරල්’ වාර්තා චිත්‍රපටයත්, ‘සත් සමුදුර’ වෘතාන්ත සිනමාවත් ප්‍රශස්ථ ගණයේ යැයි හුවා දැක්විය හැකි නිර්මාණ නො වන බවට පසුගිය දිනවල මුද්‍රිත හා සමාජ මාධ්‍යවල පල්හෑලි සංසරණය වනු දක්නා ලැබිණි. විශේෂයෙන් ම ‘සත් සමුදුර’ සිනමාව එහි කැමරා හා සංස්කරණ ශිල්පියාගේත් සහාය අධ්‍යක්‍ෂවරයාගේත් බලපෑම මත ගොඩගියා මිස මහාචාර්ය ගුනසිංහයන් ඒ කෙරේ දැක්වූ විශේෂ ප්‍රාගුන්‍යයක් නො විණි යි ඇතැමෙකු කියා තිබුණි. මේවායේ ඇති තතු දැන ගැනීමට කැමරා හා සංස්කරණ ශිල්පී ඩී. බී. නිහාල්සිංහයන් මින් වසරකට පමණ පෙරත්; සහාය අධ්‍යක්‍ෂ වසන්ත ඔබේසේකරයන් අදින් මසකට පෙරාතුවත් අවසන් ගමන් ගොස් අහවර නිසා ඒ පිළිබඳව ඔවුන් විමැසීමට ද නො හැකි ය. ඒ හැරෙන්නටත් වර්තමානයේ මෙරට කලා විචාරය වූ කලී ශාස්ත්‍රීය කර්තව්‍යයක් නො වේ මැ යි. එකිනෙකා උනුන්ගේ පිට කසා ගැනීමත් අසවල් අධ්‍යක්‍ෂවරයා ස්ත්‍රීන් කීයක් අඹුකමට ගෙන ඇති ද? අසවල් නිළිය පුරුෂයන් කීදෙනෙකු සමග නිදිවැද ඇති ද? ආදී කුණු කන්දල් සොයා තලුමැරීම දක්වා බින්දුවට ම වැටී ඇති ඕපාදූප දෙසන නන්දෙඩවිල්ලකි. අශාස්ත්‍රය ම ශාස්ත්‍රය ලෙස ගන්නා විපරීත කලෙකි මේ. අහෝ දැයකට ගිය කල!

මහාචාර්ය සිරි ගුනසිංහගේ මූලික උපාධිය සංස්කෘත භාෂාව සම්බන්ධයයෙනි. එසේ හෙයින් එතුමන් සිංහල, පාලි, සංස්කෘත ආදී ප්‍රාචීන භාෂාවන් පිළිබඳ වෙසරදයෙකි. ඉංග්‍රීසියේ හසල දැනුමැති එතුමෝ පශ්චාත් උපාධි නිබන්ධනය සපයා ඇත්තේ ප්‍රංශ බසිනි. ජර්මන් භාෂාව මනා සේ හැසිරවීමේ හැකියාව ද හෙතෙම සතු විය. පෙරපර දෙදිග භාෂා භාෂාන්තර දැනුමත් ලොව සිසාරා සංචාරය කොට අත්දැකීම් සම්භාරයක පොහොසත්කමත් අද්විතීය වූ නමුදු මේ යෝධ ඥාණ ගවේෂකයාගේ සේවය ලබා ගැනීමට තරම් මේ දුප්පත් රට භාග්‍යවත් නො වී ය. පශ්චාත් උපාධි අධ්‍යයන කටයුත්තක් සඳහා අවසර ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඉවත ලූ ශ්‍රී ලංකා විශ්ව විද්‍යාලයේ නිලධාරිවාදී පරිපාලනය ඊට අවසර නො දී මහැදුරු සිරි ගුනසිංහයන් විශ්ව විද්‍යාල ආචාර්‍ය ධූරයෙන් පළවාහැර ඉනුත් නො නැවතී විදේශයක සේවයට යැවීම දක්වාම සැහැසි විය.

කොහොමටත් මේ තුන්වන ලෝකයේ නො දියුණු ගෝත්‍රික කොදෙව්වේ උගතුන්ට, බුද්ධිමතුන්ට ශාස්ත්‍රවන්තයන්ට නිසි සැලකිල්ලක් ගෞරවයක් නැත. මේ රට වාසය සඳහා ප්‍රතිරූප දේශයක් වන්නේ දූෂිත දේශපාලුවන්, හෙරොයින් ජාවාරමුන්, මහජන දේපොළ කොල්ලකන්නන්, මිනී මරුවන්, ගණිකා නිවෙස් හිමියන් ආදී සමාජ විරෝධීන්ට පමණි. අනෙක් අතට මහැදුරු ගුනසිංහයන් මේ මුඩුම මුස්පේන්තු කොදෙව්වේ නො සිට කැනඩාවේ ම වාසය කිරීම යෙහෙකැ යි ද හැඟෙයි. ශාරීරිකව වියපත් වූ ඥාණවෘධ, තපෝවෘධ, වයෝවෘධ එතුමන් ජීවිතයේ සන්ධ්‍යා සමය මේ උණුඅළුපල්ලේ ම වැටී මේ සිදුවන අසංස්කෘතික නරි නාටක, නස්පැත්ති, අලකලංචි, විජ්ජුම්බර දිටී නම් හද දළ සෝ සුසුම් නැගී රුධිර පීඩනය ද වැඩි වී හෘදය දැදුරුව මරු වසඟයට ගොස් මේ වන විටත් බොහෝ කල් ගත වී තිබෙන්නට තිබූ ඉඩ අධික නිසාවෙනි.

මහාචාර්‍ය සිරි ගුනසිංහයන් තබා සිංහල කවියේ, සාහිත්‍ය කලාවේ ද එතරම් වග වාසගම් පරිසිඳ නො දත් (දැනුදු නැති) මාගේ නව යොවුන් වයසේ දී එතුමන්ගේ නිර්මාණයක් ජීවිතයේ පළමුවරට මා ඇස ගැසුණේ මා උසස්පෙළ පාසැල් සිසුවකු ව සිටිය දී ය. උසස්පෙළ කලා විෂය ධාරාවේ සිංහල සාහිත්‍ය විෂය නිර්දේශයේ නූතන පද්‍ය සංග්‍රහයට නියමිතව තිබූ මහැදුරු ගුනසිංහයන්ගේ ‘මස් ලේ නැති ඇට’ කාව්‍ය සංග්‍රහයේ එන ‘මතක වස්තුව’ නිසඳැස් පද්‍යය එවකට ජීවිතයේ භද්‍ර යෞවනයේ පසු වූ මා තුළ අපූර්ව චමත්කාරජනක ආනන්දයක් පුබුදුවාලීමේ සමත් විය.

“මතක වස්තුව.

මා හැර දා
දරඳඬු කොට දා මා අත් පා
ඈ යන්න ගියා මැකිලා
ඈ යන්න ගියා……”

(මස් ලේ නැති ඇට)

ඉන් අනතුරුව සිදු වූයේ මා මහාචාර්යවරයාගේ සියලු කෘති සොයාගෙන කියවීම යි. එහි ප්‍රතිඵල ලෙස උසස් පෙළින් පසුව සරසවි වරම් අහිමි වුව ද මා සිංහල සාහිත්‍යයේ වැදගත් – නො වැදගත් බහුතර කෘති ප්‍රමාණයක් ඇසුරු කිරීම යි. විශ්ව විද්‍යාල ප්‍රවේශය ද අහිමි ව අතේ සතයකුදු නැති කරන්නට වැදගත් වැඩක්පළක් ද නැතිමුත් මොහොතක හෝ ඉසිඹුවක් ද නැතිව අතන මෙතන රස්තියාදු වෙමින් කල් ගත කළ කාලයේ මහාචාර්ය සිරි ගුනසිංහයෝ වර්ෂ 2003 දී පමණ හදිසියේ ම ලංකාවට සැපත් වූහ. ඒ එතුමන්ගේ නවතම නවකතාව ‘මිරිඟුව ඇල්ලීම’ එළිදැක්වීම අරබයා ය. ඒ වන විටත් ඔහුගේ කවි සහ නවකතා කෘති සියල්ල ම කියවා සිටි මම මේ දැවැන්ත බුද්ධි ජීවියා සැබවින් දැක ගැනීමට පොත දොරටවඩින උත්සවයට ගියෙමි. ඒ කොළඹ මහජන පුස්තකාලය හෝ පුස්තකාල ප්‍රලේඛන සේවා දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරය විය යුතු ය. උත්සව සභාව අවසානයේ දී මම ‘මිරිඟුව ඇල්ලීම’ පිටපතක් ගෙනගොස් එතුමන් වෙත පෑමි. උත්තුංග දේහයෙන් ද, ඇත් දත් පැහැ ඡවි වර්ණයෙන් ද, ක්ෂුධා ධවල කෙස් හිඟ හිසින් ද, ළ’ගන්නා මන්දිස්මිතයෙන් ද පබසර වූ ප්‍රතාපවත් මහැදුරු තුමෝ නම මොකක්දැ යි මා විමැසූ හ. “අශාන්ට – සිරි ගුනසිංහ” යනුවෙන් ලියා – අත්සන් තබා දුන් මිරිඟුව ඇල්ලීමේ පිටපත පසු කාලයක කිසිවෙකු කියවා ආපසු දීමට ඉල්ලා ගත්තා මතක ය. එනමුදු තවමත් ආපසු ලැබී නම් නැති!

වර්තමාන විශ්ව විද්‍යාල තුළ කලා පීඨවල සිටින නිල බුද්ධිමතුන් අතර මෙවන් ශාස්ත්‍රවන්තයෝ බොහෝ අල්පය හ, ඇත්තේ ම නැති තරමි. මහාචාර්ය, ආචාර්‍ය, කථිකාචාර්ය, සහකාර කථිකාචාර්ය ආදී මෙකී නො කී නාමධාරී බොහෝ දෙනා මහජන මුදලින් යෝධ වැටුප්, රිය බලපත්‍ර, දීමනා, විදෙස් ශිෂ්‍යත්ව ආදී පහසුකම් ප්‍රතිලාභ ලබමින් මධ්‍යම පාන්තික සිහිල් සෙවණේ සුවපහසු ජීවිත විහරණය කරති. ඔවුන් නො කරන එක ම දෙය නම් තම තම ක්ෂේත්‍රයන්හි නවමු ඥාණ සම්ප්‍රදානය යි. ඔවුහු කිසිඳු නව දැනුමක් උත්පාදනය නො කරති, පර්යේෂණ නො කරති, ශිෂ්‍ය අනුශිෂ්‍ය පරපුරක් බිහි නො කරති, වාණිජ ඉලක්ක අරමුණු කරගෙන කුඩු පොතු මිස ශාස්ත්‍රීය ග්‍රන්ථ කිසිත් සම්පාදනය නො කරති. ඒ වෙනුවට පෝය දිනක් නෑර මුදලට ඔජ වඩන සිල්ලර රූපවාහිනී නාලිකාවලට රිංගා දුස්ශිල මහණුන් හා කරට කර හිඳ උපාසක අම්මලා / අප්පලාගේ වෙස් ගෙන රට්ටුන්ට බණ දෙසති. දේශපාලුවන්ගේ මැතිවරණ වේදිකාවල ලැග මොර දෙති.

කෙසේ වෙතත් ගෙවී ගිය සියවසේ ඉපිද ශ්‍රී ලංකාවත් ඉන් එපිට ආසියාකරයත් විභූෂණය කළ සාඩම්බරණීය ශ්‍රී ලාංකික ස්ත්‍රී – පුරුෂ රත්නයෝ සිය ඓතිහාසික දිවි මෙහෙවර කම් වූ පරිද්දෙන් හමාර කොට බුද්ධි ප්‍රභාවයේ රශ්මි කදම්බය විහිදුවා කෙමෙන් කෙමෙන් නිවී යති. ඔවුන් නික්ම ගිය කල එළඹෙන භීතකර යුගඳුර පළවාහැරීමට සමත්කම් ඇත්තෝ බිහිවීම අතිශය දුලබය හ.

ආචාර්යෝත්තම සිරි ගුනසිංහ සුධීමතුන් එවැනි අප්‍රමාණවූත්, අසහායවූත් යුග පුරුෂයෙකි.

“කේන්තියෙන් පුංචි බබා
කෑලිවලට පොලොවෙ ගසා
කැඩුව පිඟන් බෝනික්කෙක්
වගේ කෑලි කැඩී කැඩී
ඔබ මා පා ළඟ වැටේවි.

ආදරයේ සිමෙන්තියෙන්
එක් රැස් කර සිඟිති කැබලි
ඔබ පිලිමය ගොඩ නගන්න
මා හද කෝවිල ඇතුලේ.”

(අබිනික්මන)

මහාචාර්ය සිරි ගුනසිංහ සූරීන්ගේ ශ්‍රී නාමය විශ්ව ජන හදවත් තුළ චිරාත් කාලයක් රැව් පිළිරැව් දේවා…!

අශාන් ඉන්දික.

(මේ ලිපියේ එන මහාචාර්ය සිරි ගුනසිංහයන්ගේ නිසඳැස් පද්‍ය පාඨ වෙනසක් නො කොට එතුමන් ඒවා රචනා කර තිබූ මුර්දජ / දන්තජ ණ, න / ළ, ල භේද නො සැලකූ රීතියෙන් ම උපුටා දක්වා ඇත)

උපුටාගැනීම

LEAVE A REPLY