මං ඒ තුන් හතර දෙනාටම කෑම උයා පිහා දෙනවා – මිතිල ප්‍රනාන්දු

0
180

එකම පවුලේ සහෝදරයන් කිහිපදෙනෙක් සිටිනා විට එක බිරිඳක් එම සියලුදෙනාම උදෙසා කැන්දාගෙන ඒමේ සිරිතක් එකල ලංකාවේ තිබුණි. මෙය එකගෙයි කෑම ලෙස හැදින්වූ අතර මෙහි ප්‍රධාන අරමුණ වූයේ ඉඩකඩම් හා දේපළ බෙදීයාම වැලැක්වීමයි.

මෙම විවාහ ක්‍රමය බින්න බැහීම, කැන්දන් ඒම යන ක්‍රම දෙකටම අනුව සිදු කරයි. මෙම සිරිත අනුව මනාලිය කැන්දාගෙන එන්නේ පවුලේ වැඩිමහල් සොයුරාය. ඔහු බිරිඳගේ මුල් ස්වාමිපුර්ෂයාය. සෙසු සහෝදරවරු දෙවන ස්වාමිපුර්ෂයන් වේ. මෙහිදී ගෙදර ප්‍රධානිය වැඩිමහල් සොයුරාය. නිවසේ සිටින සියලු දෙනා ඔහුගේ වචනයට අවනත වේ.

වැඩිමහල් සොයුරා එක් රැයක් බිරිඳ සමඟ ගත කරයි. ඒ ඊලඟ රැය ඊලඟට වැඩිමහල් සොයුරා සමඟ ගත කරයි. මේ ආකාරයට නිවසේ සිටින සෑම සොයුරෙක් සමඟම බිරිඳ මාරුවෙන් මාරුවට රැය ගත කරයි.

සැමියෙකු බිරිඳ සමඟ කාමරයේ සිටින බව දැන්වීමට අමුඩ ලේන්සුවක් දොරේ එල්ලයි. මෙවිට අනෙක් සොයුරන් කාමරය තුලට නොයා තමන්ගේ වාරය එනතුරු බලා හිඳියි. කිසිම විටක අමුඩ ලේන්සු දෙකක් දොරේ එල්ලෙන තත්වයක් උදා නොවේ. දහවල් කාලයේදී ඕනෑම සහෝදරයෙකුට තම පොදු බිරිඳ සමඟ කාලය ගත කල හැක. කිසිදු සහෝදරයෙක්ට අකමැත්තක් පල කිරීමට එම බිරිඳට නොහැකිය. මන්ද ඒ සොයුරන් සියලු දෙනා තමාගේ ස්වාමිපුර්ෂයන් බැවිනි.

බිරිඳට දරුවන් ලැබූ විට සොයුරන් සියලු දෙනා එම දරුවන්ගේ පියවරුන් වේ. මන්ද දරුවෙකුගේ සැබෑ පියා කව්ද යන වග බිරිඳවත් නිසැකයෙන් නොදන්නා නිසාය. වැඩිමහල් සොයුරා ලොකු තාත්තා ලෙසත් දෙවෙනියා මද්දුම තාත්තා ලෙසත් තෙවැනි සහෝදරයෙකු සිටී නම් ඔහු කුඩා තාත්තා ලෙසත් හදුන්වයි. තමන්ට ස්වාමිපුර්ෂයන් කිහිපදෙනෙකුම සිටීම සමහර බිරින්දෑවරු සතුටු වූ බව සමහර තැන් වල කියැවේ. මීට හේතුව සොයුරන් නොහොත් ස්වාමිපුර්ෂයන් සියලුම දෙනාගේ සැලකුම එකම බිරිඳකට හිමි වන බැවිනි.

The Historic Tragedy Of Island Of Ceilao නම් පොතේ මෙසේ සඳහන් කර ඇත. පහත දැක්වෙන්නේ එයින් මා උපුටාගත් කොටසයි. [ ලංකාවේ ඓතිහාසික ඛේදවාචකය – කපිතාන් රෙබෙයිරෝ – 1685]

“…තමාගේම කුලයට අයත් ස්වාමිපුර්ෂයෙකු සමඟ විවාහ වීමට තරුණියක් ගිවිස ගනියි. [කුලයෙන් පිට විවාහ වීමට ඇයට නොහැකියි] තමන් ඊට කැමති නම් ඇයගේ නෑදායන් භෝජන සංග්‍රහ පවත්වා විවාහය සිදු කරති. පසුදා සැමියාගේ සහෝදරයෙන් ඔහුගේ තැන ගනියි. සිය පුර්ෂයාට සොයුරන් සත් දෙනෙකු සිටිත් නම් ඇය මේ හත් දෙනාගේම බිරිඳ වන්නීය. ඇය ඔවුන් සමඟ මාරුවෙන් මාරුවර රාත්‍රිය ගත කරයි. තමාගේ සොයුරන්ට වඩා වැඩි අයිතියක් ස්වාමිපුර්ෂයාට නැත. දහවල් කාලයේදී කාමරය හිස්ව ඇත්නම් කාන්තාව සමඟ එයට පිවිසී කාලය ගත කිරීමට අයිතිය ඒ සෑම සොයුරෙකුටම ඇත. ඔහු කාමරය තුල සිටිනා විට අන් කිසිවෙකුට එයට ඇතුල් විය නොහැකිය. ඔවුන් කිසිවෙකු හෝ ප්‍රතික්ෂේප කිරීමට ඇයට අයිතියක් නැත. විවාහය සිදුවුයේ එක් සොයුරෙක් සමඟ වුවත් කාන්තාව සොයුරන් සියලුම දෙනාගේ බිරිඳ වන්නීය. එහෙත් විවාහය සිදුවී ඇත්තේ බාලම සොයුරා සමඟ නම් එම බිරිඳ කෙරෙහි අයිතිවාසිකම් පෑමේ අයිතිය සෙසු සොයුරන්ට නොමැත.

එහෙත් ඔවුන් සියලු දෙනාගේම භාර්යාවන් වෙත කැමති විටෙක පිවිසීමේ අයිතිය මේ සොයුරා සතු වන්නේය. ස්වාමිපුර්ෂයාට සොයුරන් හත් දෙනෙකුට වැඩිය සිටිත් නම් ඒ අමතර සොයුරන්ට එම බිරිඳ කෙරෙහි අයිතියක් නැත. සොයුරන්ගේ සංඛ්‍යාව එකේ සිට පහ දක්වා නම් ඔවුහු එක ගැහැණියක් සමඟ සෑහීමකට පත් වෙති. සොයුරන් විශාල සංඛ්‍යාවක් සතු පුර්ෂයෙකු සමඟ විවාහ වන කාන්තාව වාසනාවන්තියක් ලෙස සලකනු ලබන්නීය. ඔවුන් සියලු දෙනාම ඇය වෙනුවෙන් වෙහෙස වී ගොවිතැන් කොට තමන්ගේ මුලු ආදායම ගෙදරට ගෙන එති. මෙසේ ගෞරවයට පාත්‍ර වන කාන්තාව වාසනාවන්ත දිවියක් ගත කරන අතර , ඇයගේ දූ දරුවන් ඒ සියලු සොහොයුරන් පියා ලෙස අමතයි. උසස් කුලයක කාන්තාවක් පහත් කුලයක පුර්ෂයෙකු සමඟ මෛථුනයෙහි යෙදුණු විට ඇයට මරණීය දණ්ඩනය හිමිවේ. ඇයගේම මව්පියවරු සහ සහෝදරයෝ ඇගේ චෝදනාකරුවෝ වෙති…”

ඩේවි දුටු ලංකාව කෘතියේ පහත අයුරින් සටහන් වේ.

“… අනියම් භාර්යා පරිහරණය සහ බහු භාර්යා සේවනය ආගම් විරෝධ නමුදු සිංහලයෝ මේ දෙකටම ඉඩ දෙති. තිබ්බනයෙහි මෙන් උඩරට බහු භාර්යා සේවනයට වඩා බහු පුරුෂ සේවනය අපූර්ව විය. එහි ස්‌ත්‍රියකට බොහෝ විට පුරුෂයෝ දෙදෙනෙක්‌ වෙති. ස්‌වාමි පුරුෂයන් සත්දෙනකු සිටින ස්‌ත්‍රියක්‌ ගැන ද මට අසන්නට ලැබිණි. මෙය අසාමාන්‍ය චාරිත්‍රය කුලයකට හෝ පන්තියකට සීමා වූවක්‌ නොවේ. පවුල් සැමියන් හැමවිටම සොහොයුරෝය. වරක්‌ මට මේ කරුණු ඉදිරිපත් කරන ලද්දේ තම සොහොයුරා සමග පොදුවේ එක්‌ භාර්යාවක්‌ පාවාගෙන සිටි මහළු උඩරට රදළවරයකු විසිනි. ළමයි වැඩි මහල් සොහොයුරා ලොකු අප්පච්චි ලෙසින්ද බාල සොහොයුරා කුඩප්පච්චි ලෙසින්ද ඇමතූහ. පවුලේ සම්පූර්ණ සමගිය පවත්නා බව පෙනුණි…”

සිංහලේ ආණ්ඩු ක්‍රමය – ජෝන් ඩොයිලි කෘතියේ මේ පිලිබඳව පහත අයුරින් සඳහන් වේ.

“… භාර්යාවන්ගේ හා ස්‌වාමි පුරුෂයන්ගේ සංඛ්‍යාව පිළිබඳව සීමාවක්‌ නොමැතිව බහු භාර්යා හා බහු පුරුෂ සේවනයට අවසර තිබේ. කෙසේ වුවත් භාර්යාව තම ස්‌වාමිපුරුෂයා ඉල්ලා සිටි නමුත් ඔහුගේ සොහොයුරකු පවා සියපවුල් සැමියකු ලෙස භාර ගැනීම ප්‍රතික්‍ෂේප කළ හැක. යෝජනා කරනු ලබන හවුල් සැමියා පළමු වන සැමියාගේ සොහොයුරෙක්‌ නොවේ නම් එබඳු හවුල් විවාහයක්‌ සඳහා පළමුව බිරිඳගේ පවුල් අනුමැතිය ලබා ගත යුතුය…”

රොබට් නොක්ස් මෙසේ පවසයි ;

“ලංකාවේ නායකයා වන රජුටත් සිටින්නේ එක බිරිඳකි. එහෙත් එහි ගැහැනියකට පුරුෂයන් දෙදෙනකු සිටීම ස්‌වාභාවිකය”

මේ පිලිබඳව ඔබ දන්නා අමතර දෑ තිබෙනවානම් පහතින් සඳහන් කරන්න. ලිපිය පිලිබඳ කුඩා හෝ අදහසක් දක්වනවානම් කෘතඥ වෙමි.

මූලාශ්‍ර :

1) පුරාණ ලංකාවේ ගම්දොර විත්ති – ජී. ඇම්. සේනාරත්න

2) එදා හෙළඳිව – රොබට් නොක්ස්

3) සිංහලේ ආණ්ඩු ක්‍රමය – ජෝන් ඩොයිලි [ සෝමරත්න , එච්. එම්. ඇල්ලෙපොල]

-මිතිල ප්‍රනාන්දු

උපුටාගැනීම

https://www.facebook.com/mithila.fernando.543/posts/467538436917716

LEAVE A REPLY