පුරවැසියා සහ දේශපාලන නියෝජිතයා වෙනුවට වැඩවසම් ප්‍රභූන් සහ නින්දගම් වාසීන් .. – සුනිල් විජේසිරිවර්ධන

0
64

අප සමාජයේ අර්බුදය ආර්ථික, දේශපාලන , ආයතනික යන සීමාසහිත රාමු මගින් විස්තර කළ නොහැකි යයිද , බැරෑරුම් ශිෂ්ටාචාර අර්බුදයක අප ගිලී සිටින්නෙමු යැයිද , අඩු තරමින් පසුගිය වසර 15 තුළදී තරම් කාලයක සිට කියමින් පැහැදිලි කරමින් සිටියෙමි. ( බලන්න 2009 පළ කරන ලද ‘පුරවැසි මං පෙත් ) මේ අර්බුදය සම්බන්ධයෙන් පැරණි හෝ අලුත් වම ට කියන්නට දෙයක් නැති බවද , ඔවුන් කරන කියන දෑ ද පෙන්වන්නේ අපේ අර්බුදයේ තරම යැයිද වරින් වර කියා ඇත්තෙමි.


අද්‍යතන දේශපාලන ක්ෂේත්‍රය මේ වන විට සම්පූර්ණයෙන් කළු කර්මාන්තයක් බවට පෙරැළී ඇතැයි ද කියා ඇත්තෙමි. මහජන සේවය පිලිබඳ අරමුණක් එහි යන්තම් හෝ ඉතිරිව ඇතැයි යන්න සැක කටයුතුය. එමෙන්ම සියලු වැදගත් වෘත්තීන් ගේ සදාචාර පදනම් සේදී ගොස් ඇතැයි ද කියා ඇත්තෙමි. ( අපේ වෛද්‍යවරු සැබෑ වෛද්‍යවරුන් ද ? අපේ ගුරුවරු සැබෑ ගුරුවරුන් ද ? අපේ ශිෂ්‍යයෝ සැබෑ ශිෂ්‍යයන් ද ? අපේ ආගමික නායකයෝ සැබෑ ආගමික නායකයන් ද ? අපේ කලා කරුවෝ සැබෑ කලා කරුවන්ද ? අපේ මාධ්‍යකරුවෝ සැබෑ මාධ්‍යකරුවන්ද ? …….අපේ රාජ්‍ය නිලධාරිහු සැබෑ මහජන සේවකයින්ද ? අපේ දේශපාලන නියෝජිතයෝ සැබෑ දේශපාලන නියෝජිතයන් ද ? ) .
මේ සියලු අර්බුද තත්ත්වය පිටුපස ඇත්තේ 60-70 ගණන්වල පැවති විඥාන මට්ටමින් ද පහළට රූටා ගිය සමාජයක් . පුරවැසි සමාජයක ලකුණු නොපෙන්වන ‘ යටත් වැසි -පාරිභෝගික ‘ රංචුවක් ලෙස දිවි ගෙවන සමාජයකුයි අපට ඇත්තේ. පුරවැසියා සහ දේශපාලන නියෝජිතයා අතර තිබිය යුතු නිරවද්‍ය නූතන සම්බන්ධය වෙනුවට ඇත්තේ වැඩවසම් ප්‍රභූන් සහ නින්දගම් වාසීන් අතර පැවති ආකාරයේ සම්බන්ධයක්.
පසුගිය ස්වභාවික ආපදා කාලය විසින් නැවත වරක් මේ අර්බුදයේ ස්වභාවය මනා ලෙස කාටත් පෙනෙන පරිදි පෙන්වා දුන් නමුත් කී දෙනෙක් එය වටහා ගන්නවා ද ?

මඳකට , ඔබ බොහෝ දෙනෙක් දන්නා මේ කරුණු දෙස නැවත හැරී බලන්න ;

1. කාලගුණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා කියන්නේ ( 2017 වර්ෂයේ) ඔවුන් සතුව ඩොප්ලර් රේඩාර් පහසුකම් නොමැති බවයි. ඉදිරි වර්ෂ දෙක තුළදී ජපන් ආධාර ලබා එවැනි ඩොප්ලර් විමර්ශන පොලවල් දෙකක් ස්ථාපනය කරනවා ලු .

2. මෙයින් වසර 04 කට පෙර 2013 දී කුණාටුවක් නිසා ධීවරයින් 50 දෙනෙක් පමණ මුහුදේ දී ජීවිතක්ෂයට පත්වූ කළ එම දෙපාර්තමේන්තුවේ නියොජ්‍ය ප්‍රධානියා මාධ්‍යයට කියා තිබෙනවා එම වසරේ අගෝස්තු වනවිට නව ඩොප්ලර් රේඩාර් ඒකකයක් සක්‍රිය කරන බව .

3. එයිනුත් වසරකට පෙර , 2012 දී , එම වසරේ දරුණු ගංවතුර විනාශය කාලේ , එවකට ආපදා කළමනාකරණ අමාත්‍ය , මහින්ද අමරවීර , ප්‍රධාන ධාරාවේ මාධ්‍යයට පවසනවා දෙනියායේ ගොන්ගාල කන්දේ ඩොප්ලර් රේඩාර් විමර්ශන ඒකකයක් ස්ථාපනය කොට අවසානයි ; ඒක ඒ වසරේ අග සිට ක්‍රියාත්මක වෙනවා කියා.

4. තව දුරටත් 2012 දී ප්‍රධාන මාධ්‍ය වාර්තා කරනවා , ඩොප්ලර් රේඩාර් උපකරණ කට්ටලයක් ලංකාවට ගෙනාවේ 2011 තරම් ඈත කාලයකදී බවත් , නමුත් එම උපකරණ දැනට ක්‍රියා විරහිත බවත්. තවත් ඩොප්ලර් රේඩාර් උපකරණ කට්ටල දෙකක් ගෙන්වන්නට ජපානය සමග කාලගුණ බලධාරීන් සාකච්ඡා කරන බවත් එම මාධ්‍යම වාර්තා කරනවා

5. එක්සත් ජාතීන්ගේ සංවර්ධන ආයතනය ඔවුන්ගේ අන්තර්ජාල ලේඛනවල දක්වනවා 2016 වසරේදී ලංකාවට ආපදා කළමනාකරණය සහ ආපදා වැලැක්වීමේ ශීර්ෂය යටතේ අමෙරිකානු ඩොලර් 100,417,924 ක් ලබා දුන් බව ; එය ලබා දුන් සංවර්ධන ආධාර මුලු අරමුදල් තොගයෙන් 1/4 ක් බව. (!)

6. අවසානයේ , පසුගිය දිනවල ගංවතුර විනාශය කාලයේ රටින් පිටවී සිටි ආපදා කළමනාකරණ අමාත්‍යවරයා , අනුර ප්‍රියදර්ශන යාපා , ( ආපදා කළමනාකරණ සම්මන්ත්‍රණයක් සඳහා දුර බෑරක ගොස් ! ) ආපසු එන ගමනේදී ඩුබායි හි දී අතුරුදන් වූ බවත් ලංකාවට එන්නට හදිස්සියක් නොපෙන්වූ බවත් වාර්තා වුනා .

කිසි වගකීමක් නොදරන මේ නිලධාරින්, තමන් වාර්තා කරන දේවල් ගැන නිනව්වක් නැති මේ මාධ්‍යකරුවන් සහ තමන්ගේ වැඩක් බලා සිටින (වග වීමට අවශ්‍ය නැති බව දන්නා ) මේ දේශපාලන නායකයින් ආවේ කොහෙන්ද ? මොන වගේ සමාජයකද මේ කතාව වෙන්න පුලුවන් ?

http://Sunil Wijesiriwardena

LEAVE A REPLY