උල් කටු ගොඩක් නුඹෙ බඩ මහමින් හිටියා.. – කුමුදිත ඉද්දමල්ගොඩ

0
62

අන්දා සුදු වතක් සත් පැහැ හැදි ගතට…
බන්දා එකතු කර ඉහිරුණු කෙස් තදට…
කැන්දා ගෙන නුඹව යනවිට සැත්කමට…
මන්දා හිත ගැහෙයි මට ඇහෙනව පිටට….

ඉන්දා නුඹේ කොන්දට කටු අනින විට…
වැන්දා සිතින් දෙවියන් යදිමින් පිහිට…..
රන්දා තිරපටක් පුතු හා නුඹෙ මැදට…..
සින්දා නුඹේ වත මට ඇඩුනා දුකට…..

යටිබඩ දිගේ පිහිතුඩ දිව ගොස් සීරූ….
සිටි සිටි ගගා ලේ බිදු සයනට බේරූ..
ඉටිමල වගේ කුස ඉරි ඉරි යන සීරූ…
හිටි දෙපයට පවා මටනම් නැත වාරූ….

මල් වට්ටියක් සේ එනතුරු කිරි කැටියා….
ගල් පිලිමයක් සේ නුඹ නොසැලී සිටියා…..
මුල් වර උරන විට කිරි අපෙ දරු පැටියා….
උල් කටු ගොඩක් නුඹෙ බඩ මහමින් හිටියා..

බිම්බා බිසවු දුන් පිය පදවියක් රැක….
කම්බායකින් ලේ පැල්ලම් වසනු දැක…
පිම්බා සුසුම් නුඹ ලග මට මියෙනු හැක…
ඉම්බා නුඹේ ලග කිරි සුවදයි මැණික.

Kumuditha Iddamalgoda

LEAVE A REPLY