චිත්‍රයක් දැක හැගීම් කුලප්පු වෙන මෙවැනි ඊනියා සංස්කෘතික පොලිස් කාරයො – ගුණසිරි සිල්වා

0
112

‘සීගිරි ලලනාවන්ගේ පියයුරු වසමු
නැත්නම් පාසල් ළමුන් නරක් වෙනවා…‘

මෙහෙම යෝජනාවක් කරන්න සිද්ධවුනේ ඇයි?

මගේ ‘කෑම්ප්එක වත්ත‘නවකතාව පුස්තකාල සේවා මණ්ඩලයේ මුද්‍රිත ප්‍රකාශන මිලදී ගන්නා ව්‍යපෘතියට ඉදිරිපත් කොට මාස හයක්ම ගත වුණු නමුදු සද්දයක් බද්දයක් නැති නිසා පෙරේදා පුස්තකාල සේවා මණ්ඩලයට ගොස් විෂය භාර නිලධාරිනියගෙන් ඒ ගැන විමසුවෙමි

‘‘ ආ….මහත්තයගේ පොත රිජෙක්ට් වුණා…‘
‘‘ රිජේක්ට් වුණා..? මොකක්ද මගේ පොත රිජෙක්ට් කරන්න හේතුව?‘
‘ඒකෙ පිටකවරය අප්සට්නේ.. ස්කොලේ ළමයින්ට හරි නෑනේ..‘
‘ පිටකවරය අප්සට්..? එහෙනම් මිස් සීගිරි චිත්‍රත් ස්කොලෙ ළමයින්ට පෙන්නන්න හොඳ නෑනේ.. ළමයි නරක් වෙයිනේ..‘
‘‘ඉතින් මිස් මාස හයක් යනකනුත් මට ඒ බවක් දැන්නුවේ නෑනේ.‘‘
‘‘ආ ..මහත්තය ..මං ලියුමක් එවන්න හිටියේ..‘
‘‘මාස හයක් යනකම්ම.. ලියුම එවන්නද හිටියේ..?‘
‘‘නෑ මහත්තයා .. මේඟදි තමයි කමිටුවේ තීරණය ආවේ..‘
‘‘‘එහෙනම් ඒ තීරණෙ මට ලිඛිතව දෙනවද?‘
‘‘ආ.. දැන්නම් ඒක දෙන්න විදියක් නෑ.. ඒකට අත්සන් කරන මැඩම් අද නිවාඩු..‘
‘එහෙනම් තැපෑලෙට දාන්න..‘‘
‘‘හා ..සතියක් විතර යයි.මහත්තයා ‘‘
‘තවත් සතියක්… ඒ මොකටද?‘‘
‘තැපෑලෙන් එනකොට පරක්කු ‍ වෙයිනේ…‘
‘ මිස් තැපෑලෙට හෙට දාන්නකෝ.. නැත්නම් ඕක තැපෑලෙට දාන්නත් මිස්ට තව සතියක් යාවිනේ..‘

මගේ ‘කෑම්ප් එක වත්ත‘ නවකතාවේ කවරය හැඩ වෙන්නේ ලෝක ප්‍රකට චිත්‍ර ශිල්පී පෝල් ගොගෑන් ගේ ‘ඇපල් කඩන යුවතිය‘ නමැති චිත්‍රය ඇසුරෙනි
නවකතාවේ ප්‍රධාන චරිතය චිත්‍ර ශිල්පියකු නිසාත් ඔහුගේ ප්‍රියතම චිත්‍ර ශිල්පියා පෝල් ගොගෑන් නිසාත් කවරය සදහා එම චිත්‍රය යොදා ගැනීම ගැන මම කවරය නිර්මාණය කළ විකුම් ජිතේන්ද්‍ර සොයුරාටත් මගේ ප්‍රසාදය පළ කළෙමි.

පුස්තකාල සේවා මණ්ඩලයේ මුද්‍රිත පොත් මිලදී ගැනීමේ ව්‍යාපෘතියට පොත් තෝරන කමිටු සමාජිකයන්ට එම චිත්‍රය දැක හැඟීම් කුලප්පු වූවාදැයි නොදනිමි. එසේනම් එම කමිටු සාමාජිකයන්ට සීගිරි අප්සරාවන් දුටු ගමනුත් එසේ හැඟීම් කුලප්පු වෙනවා දැයි නොදනිමි.

උත්ප්‍රසාත්මක සිද්ධිය එය නොවේ
.
එම කමිටුවේ ‘සදාචාරවාදීන්‘ පොතේ කවරය දැක කුලප්පුවී පුස්තකාල සදහා එය නුසුදුසු යැයි නිර්දේශ කළද එම මණ්ඩලයේම වෙනත් කමිටුවකින් ‘ කෑම්ප්එක වත්ත‘ නවකතාව පුස්තකාල සදහා සුදුසු යැයි නිර්දේශ කොට ඒ බව දැක්වෙන මුද්‍රාවක පිටපතක් සහිත ලිපියක්ද මා වෙත එවා ඇත. ඒ අනුව එම මුද්‍රාව සහිත ස්ටිකරයක් පොතේ මුල් පිටුවේ අලවා දැනට වෙළෙඳ පොලට නිකුත්කොට ඇත.

පොතක් පුස්තකාල සදහා සුදුසුද නැද්ද තීරණය කරන නිර්ණායකය එහි පිටකවරයද? මගේ පොතේ කවරයේ එන ගොගෑන්ගේ චිත්‍රය අසැබි නම් අපේ සංස්කෘතික උරුමයක් ලෙස සම්භාවනාවට පත්ව ඇති උඩු කය නිරුවත් සීගිරි චිත්‍රත් මේ සදාචාරවාදීන්ට අනුව කුණුහරුපයකි ! ගෝතමී විහාරයේ එන ජෝර්ජ් කීට්ගේ සිතුවම් දැක මේ සදාචාරවාදීන් ගේ හැගීම් කොහොමට කුලප්පු වෙයිද,.? එහෙයින් පාසල් ළමුන්ගේ චිත්‍ර විෂය පොත් වලින් එම චිත්‍ර වහා ඉවත්කළ යුතුය. .

චිත්‍රයක් දැක මෙසේ හැගීම් කුලප්පු වෙන මෙවැනි ඊනියා සංස්කෘතික පොලිස් කාරයන්ට නිර්මාණාත්මක කෘතියක් වග විභාග කරන්නට තිබෙන සුදුසුකම කුමක්ද? අපි මෙසේ අසා සිටින්නේ පුස්තකාල සේවා මණ්ඩලයේ සභාපති ප්‍රවීණ සාහිත්‍යවේදී ඩබ් . ඒ. අබේසිංහ සූරීන්ගෙන්ය

උපුටාගැනීම

https://www.facebook.com/gunasiri.silva?hc_ref=NEWSFEED

LEAVE A REPLY