හෘදයානන්දකර කවියක බුද්ධිමය කෙනිත්තුම| ධර්මසිරි රාජපක්ෂගේ කවිය

0
47

අනාගතයේ යම් දිනයක ඔබ ජනතාව මැදට වන් දිනෙක මහා ගිනි මැලයක් ලෙස ඔබේ කවිය ඇවිළෙන බව මට සහතිකය’:පරාක්‍රම කොඩිතුවක්කු

ධර්මසිරි රාජපක්ෂගේ “ඉතින් සහෝදරවරුනේ” කියවා පරාක්‍රම කිවිඳු ධර්මසිරිගේ කවිය ගැන එසේ විවරණයක් දුන්නද නූතන සිංහල කවිය තුළ ධර්මසිරි රාජපක්ෂගේ කවිය නොපිපුණු කැකුළක ආයු වළඳා මිලිනව ගියේය. ඇවිළෙන ගිනි මැලයක් නැතද තවමත් එකවි අළු යට පුපුරු ගසන ධර්මසිරිගේ කාව්‍යමය ගිනි පුළිඟු තවම නගියි.
කවිය අභිප්‍රායික, ආනුභූතික හෝ සංචරණමය ගොඩනැංවීමෙන් තවත් කවියක ඡායානුකරණයක් නොවේ නම්, “කවිය යනු කුමක්ද” යන ප්‍රශ්නය ඕනෑම කවියෙකුගේ කවි කියවන විට අලුතින් ඇසේ. පිළිරැව් නැගේ. 70 දසකය සහ 80 දසකය යනු එසේ කවිය යනු කුමක්ද යන්න පිළිබඳ මේ ව්‍යුහමය ප්‍රශ්නය අලුත් කරන කවි පොත් ගණනාවක් පළ වූ දසක දෙකකි. පරාක්‍රම කොඩිතුවක්කු, එරික් ඉලයප්ආරච්චි, රත්න ශ්‍රී විජේසිංහ, නන්දන වීරසිංහ යන අය සිය පළමු කවි එකතු පළ කළේ මේ කාලයේය. මේ සියලු දෙනාගේම කවිය එක් එක් කවියාගේ ස්වාධීන මාර්ග ඔස්සේ වර්ධනය කරගනිමින් අද ඒ අය අපේ සාහිත්‍ය අඹරේ තාරකාවෝ වී සිටිති. 70 දසකයේදීම සිය වැදගත්ම කවි පොත් දෙකම පළ කළ ධර්මසිරි රාජපක්ෂ අර කවීන් මෙන් ස්වකීය කවියක් වර්ධනය කරන්නට තරම් ජීවන ඉසුඹුවක් නොලද්දේය. ඔහුට සිංහල කවියේ පතාක සලකුණක් වන්නට නොහැකි වූ නමුදු ඔහු අර සියලු කවීන්ගේ මුල් කාලීන කෘති අතර කාව්‍යාඩම්බරයෙන් දිදුළන් නට තරම් දීප්තිමත් කවියක් ලිවීය.
එරික්, පරාක්‍රම, නන්දන, රත්න ශ්‍රී ආදි සියල්ලන්ම සිය මෙතෙක් අවසාන කවි සංග්‍රහවලට එන විට තමන් වර්ධනය කළ කවියෙහිම අන්තයන් සීමා කරමින් හුදෙකලා වී සිටිනු දකින්නට ලැබීම වෙනනම කරුණකි. එහෙත් ඔවුහු “කවිය යනු කුමක්ද” යන්න තමාගේම ක්‍රමයකට දසක ගණනාවක් තිස්සේ වර්ධනය කළහ. ඒ කෙසේ වෙතත් ලංකා සමාජයේ පෙරළිකාර කැරලි කිහිපයක්ම සිදු වූ 80 දසකයේ අග්ගිස්සෙහි උපන් පරම්පරාවේ අය වන අපට ධර්මසිරි ඇතුළු ඒ කවීන්ගේ කවියෙහි ඓතිහාසික පසුබිම් සමග අව ලෝකනයක යෙදෙන්නට තරම් මතක සැමරුම් නැත. එහෙත් ධර්මසිරිගේ යට ගිය කවියෙහි හැඩරුව අද කාව්‍ය සංවාදය සමග තුලනය කර බලන්නට තරම් අපි උනන්දු විය යුතු වෙමු.
කවිය දහස් ආකාරවලින් පැන නැගිය හැකි සෞන්දර්යමය වස්තුවකි. එහි වස්තු විෂය විවිධ වන්නට පුළුවන. නොයෙක් තේමාත්මක ඉලක්ක කළ ඒවා වන්නට පුළුවන. කවිය ගොඩනගන විධි – ව්‍යුහමය තෝරා ගැනීම්, සංරචනා උපක්‍රම විවිධ වන්නට පුළුවන. මනුෂ්‍ය සත්තාව පිළිබඳ දාර්ශනික කවිද, සමාජ අසාධාරණ පිළිබඳ විරෝධාකල්පික කවිද, ප්‍රේමය පිළිබඳ අනුරාගී හෝ සරාගී කවිද, අවවරප්‍රසාදිතයන්ගේ ජීවිත ගැන අනුවේදනීය කවිද ආදි ලෙස නොයෙක් ස්වභාවයන්ගෙන් කවිය උපදින්නට පුළුවන. ඒ කුමන ආකාරයෙන් පැන නගින කවියක වුවත් “සන්නිවේදන මාධ්‍යයක” භූමිකාව පරදන කිසියම් ආනන්දකර ගුණයක් කවියක තිබිය යුතුය. උදාහරණයක් ලෙස කිසියම් පුවත්පත් වාර්තාවකට හෝ තීරු ලිපියකට වඩා “කවිය” වෙනස් වන්නේ කිසියම් කලාත්මකත්වයක් එහි ව්‍යුහය විසින්ම ඇති කරන නිසාය.

කිසියම් ලේඛකයෙකු “කවිය” නමැති ව්‍යුහය තෝරා ගැනීමම එක්තරා සෞන්දර්යාත්මක කැපකිරීමකි. අද අප කියවන ඇතැම් කවි හුදු ප්‍රවෘත්ති, එදිනෙදා සිද්ධි කථන, හැඟීම් ප්‍රකාශන පමණක් ලෙස ඉතිරි වන්නේ කවිය නම් ව්‍යුහයේ සුවිශේෂීත්යව අමතක කිරීම නිසාය. කවිය යනු හුදු අදහස් සන්නිවේදනයේ භාෂාත්මක උපකරණයක් නොවේ. මේ ප්‍රශ්නය බොහෝවිට පැන නගින්නේ මිනිසුන්ගේ දෛනික ජීවිතය, සංස්කෘතිය, දේශපාලනය විෂය කර ගන්නා කවිවලය. එනම්, අපි ගත කරමින් සිටින මේ මොහොතෙහි සමාජීය මිනිසාගේ නොයෙක් ජීවන කොන්දේසි පිළිබඳ සෘජුව කතා කරන්නට යෑමේදීය. එහෙත් මහජන ජීවිතය පිළිබඳ මෙම අඩවිය කවියාට අයිති නැති දෙයක් නොවේ.
මහජන ජීවිතය පිළිබඳ (විශේෂයෙන්ම නිර්ධන පාංතික අවවරප්‍රසාදිත අසාධාරණයට ලක් වන මිනිස් සමාජය) ලිවීම අතිශය වැදගත් කටයුත්තකි. ධර්මසිරි රාජපක්ෂගේ කවිය මනුෂ්‍යත්වයේ කවියකි. පීඩිත මනුෂ්‍යයා පිළිබඳ සහෝදරාත්මක ප්‍රකාශනයකි. මේ දහරාවේ කවිය උපරිම තලයකට ගෙනා සිංහල කවියෙක් ඇත්නම් ඒ පරාක්‍රම කොඩිතුවක්කුය. ඒ කෙතරම්ද යත් “කම්කරුවන්ගේ තේ වෙලාව”ට එන විට ඔහු ළඟ කවි නැති තරම්ය. ධර්මසිරිගේ කවිය වඩාත් කිට්ටු වන්නේ පරාක්‍රමගේ කවි මාර්ගයට බව බැලූ බැල්මට පෙනේ. මේ දෙදෙනාම එකම කාලයක කවි ලියන්නට පටන් ගත් අය සේ පෙනේ. පරාක්‍රම සිය “පොඩි මල්ලියෙ” 1973 පළ කළ අතර ධර්මසිරි 1975දී තම “ඉතින් සහෝදරවරුනේ” ලියා පළ කළේය. ධර්මසිරිගේ මේ කවි පොතෙහි වස්තු විෂය අතින්ද කාව්‍ය මාර්ගය අතින්ද පරාක්‍රමගේ කවි ඇසුර නොමඳව පෙනේ.
එහෙත් “ශක්තියේ පුෂ්පය” ලියන විට ධර්මසිරි, මිනිස්කමේ සානුකම්පික කවිය ලියන්නේ කවිය යනු කුමක්ද යන්නත් නව මානයකින් දකින්නට උත්සාහ දරමින්ම බව පෙනේ.

සූරියා චිත්තරාවිය

මිලාන සැන්දැ සියුමැලි ඇඟිලි
කඳුවළල්ල ඉහළින්
ඉහිරවා,
රාස්සිගේ මන මෝහන අව්රැල්ලක් වී
පිරිමැද්දේ නැති දෝ, නුඹේ
බලාපොරොත්තුවේ සියපත!

මේ ධර්මසිරිගේ ශක්තියෙහි පුෂ්පයේ එන “නංගී සහ සියපත” නම් කවියේ ඇරඹුමයි. සියපත යනු මඬේ ඉපිද ජල තලයේ ඉහළ නැග දසත සුවඳවත් කරන්නකි. සියපත පරිසරය සුවඳවත් කරන බව මදකට අමතක කරමු. සියපතේ අරමුණ සියපතම යැයි සිතමු. එය මඩ ගොහොරුවෙන් නැගී සිට පිපෙයි. පුෂ්පයේ ශක්තිය එයයි. එහෙත් එවැනි සියපත් ශක්තියක් මේ නැගණියට නැත. ඇය රබර් යායේ වතු වැඩ කරයි. වැඩ නිම කර ගෙදර විත් ලාම්පු දල්වා ණයට ගෙනා හාල් සේරුවේ වී ඇහිඳ එය ළිප තබයි. මේ වැඩ නිමා කරද්දී රෑ බෝ වෙයි. ඇයට ඇගේ සිරුර සුන්දරත්වය ගැන සිතන්නට වෙන්නේ මේ හුදෙකලා රැයෙහිය. ඇයට ලාම්පුව දල්වන්නට පියතුමාගෙන් අවසර නැත. ලාම්පු තෙල් ගන්නට මුදල් නැති නිසා වන්නට පුළුවන. ඒ නිසා ඇය පන් පැදුරට වී සිය අක්බඹරු කෙහෙ පීරයි.

අඳුරේ ඉඳගෙන, ගල්ලැහැ පන් පැදුරේ
හිස පීරන සඳ,
පැදුරේ අඳුරේ
නොයෙක නොයෙක
පැතූ
කල්ප ලතා සිඳ
මිලින මීන නිල් මහනෙල වී බොඳ
…………………………………………..?
මෙසේ ලියමින් කවියා මේ නැගණියගේ බලාපොරොත්තුවේ සියපත සිඳ දැම්මේ කවුදැයි අසයි. මේ කවිය ව්‍යංගාර්ථ ඇති බහු අර්ථකාරක ශක්තියක් ඇති කවියක් නොවේ. එහෙත් සියපත සහ නැගණිය තුලනාත්මකව කියවමින් කවියා අපේ සමාජයේ තුන්වැනි පංතියේ ගැමි කෙල්ලකට “තමා” අහිමි වන හැටි ඉඟි කරයි. පුෂ්පයකට පිපීමේ ඇති ශක්තිය අපේ නගාවරුන්ට නැත්තේ ඇයි? ඔවුන්ට ඔවුන්වම අහිමි කරන යාන්ත්‍රණය කුමක්ද? මේ 70 දසකය නොවුණත් සිය ආත්මීය සාරය පිපෙන්නට පෙර මිලින වන නගාවරුන්ගේ සමාජීය ජීවිත කොන්දේසි කෙතරම් රූප විපර්යාසයට ලක් වී තිබුණත් ඉරණම එයම නොවේද?ඒ ඉරණම සමාජ ව්‍යුහයම නොවේද? මෙවැනි ප්‍රශ්න රසික සිතෙහි නගින්නේ කවියා හුදු අත්දැකීම වාර්තා නොකර එය භාෂාත්මක තලය තුළ මඳක් රස්තියාදු ගස්වන නිසාය. මේ භාෂාමය රස්තියාදුව ධර්මසිරිගේ කවි පොතෙහි බහුලව හමු වෙයි.

මේ ශක්තියේ පුෂ්පයෙහි එන තවත් කවියකි;
වලා උඩින් පළක් බැඳන් මිහි නරඹන තේජනේ
සලා රනේ මිණි බරණේ මයුරා පිට වාහනේ
වලා පළා යන ගමනේ සැපට දෙනෙත පියවුණේ

වෙලා අවදි
මැණික් ගඟේ
ලේ
නරඹනු සාමිනේ

කදිර දේව රජුන් නැමද හේනට ගිය අම්මා
කතරගමේ අඳුරු තැන දි තනියට හදි වුම්මා
කදිර දේව රාජනි නුඹ දුටු දෝ අපෙ අම්මා
ඉන් පස්සෙම නඟුන් මලුන් හට මම වෙමි අම්මා

කැලේ පුරා කටු ඇන ගෙන සොඳ මල් සෙව්වෙම්මා
බලේ පතා එන සුදෙවුන් හට මල් විකුණෙම්මා
කැලේ යකුන් මට ලොබ වී මා බිම දැමුවෙම්මා
බලේ තියෙන දේව බිමෙත්
පර විය මල්….
අම්මා

මේ කවියේ අර්ථය ලිහිල් කරමින් විස්තර කරන්නට දෙයක් නැත. කියවන්නාට පහසුවෙන් උපයා ගත හැකි අර්ථමය තලයකි මෙහි ඇත්තේ. මල් විකුණන අම්මා කෙනෙකි. මේ කවියෙහි කථනය ඒ අම්මාගේ දියණියක බව පෙනේ. අම්මා මල් නෙළද්දී තනි අලියෙකුට හසු වී මිය ගොස් ඇත. ඉන් පසු ඒ අම්මා නැති අඩුව ගෙදර පිරිමසන්නේ මේ දියණියයි. ඇයද කිසියම් අතවරයකට ලක්ව ඇති බව කවියෙන් ඇඟ වේ. මේ කවියෙහි තේමාව මේ ග්‍රාමීය අත්දැකීමෙන් ගලවා වෙනත් සන්දර්භයක තබා බැලුවද එක සේ අදාළය. නගරයේ වුව මෙවන් අසාධාරණකම් සිදු වේ. සොබාදහමින්ද ධූරාවලිගත සංස්කෘතික ව්‍යුහවල සිර වීමෙන්ද පීඩා විඳින ගැහැනිය මේ කවියට හසු වන්නේ උත්ප්‍රාසයද සංවේගයද එකවර අවුළවමිනි. කවියා තෝරා ගෙන ඇති වස්තු විෂය අනුව තේමාව වඩාත් හෘදයාංගම ලෙස රසිකයාට දැනේ. අනෙක කවියාගේ ශෛලිය මදක් සැර එකකි. දෙවියන් අමතන විටද අවඥාවේ ස්වරය ඇසේ.
මේ රචනය ධර්මසිරිගේ විවිධ කවි සන්දර්ශනාත්මකව සාකච්ඡා කරමින් ඉදිරියට කළ හැකි නම් එය වඩා අගනේ වුවත් මෙවැනි පුවත්පත් ලිපියක ඒ සඳහා අවසර නැත. ඒ නිසා ධර්මසිරිගේ කවිය ගැන නිගමනාත්මක දේවල් ලේඛක ආධිපත්‍යයට අකමැත්තෙන් වුවත් සටහන් කරන්නට සිදු වේ.
ඒ නිසා අපි ධර්මසිරිගේ කවියෙහි සද්භාවය සාරාංශකරණය කරමු; ධර්මසිරිගේ කවිය ගැමි සමාජයේ අව්‍යාජ ජීවිත වෙත, පහළ පංතියේ මිනිසුන්ගේ අත්දැකීම් වෙත අනන්‍ය වෙයි. . ආත්මීය වෙයි. ඔහුගේ කවිවල ඉන්නා චරිත සමාජයේ නොයෙක් අඩන්තේට්ටම්වලට ලක් වෙන චරිත වෙති. සොබාදහම, පාලකයෝ, සංස්කෘතික ව්‍යුහගතකරණය, ආර්ථික නොහැකියාව ආදි නොයෙක් කාරණා නිසා නොයෙක් අසරණභාවයන්ට ලක් වෙන සමාජ ධූරාවලියේ පහළම අයගේ ජීවන අවකාශ මේ කවිවල ඉඩ ගනියි. එහෙත් මේ කවිය ගැමි සමාජය දෙස පිටස්තරයෙකුගේ ඇසින් බලන කිසියම් නිරීක්ෂක බැල්මක් නොවේ. ඒ නිර්ව්‍යාජ ජීවිතය තුළින්ම උපදින එකකි. විමලරත්න කුමාරගම සහ පරාක්‍රම කොඩිතුවක්කු එකිනෙකාට වෙනස් කාව්‍යමය භාවිතාවලින් වුවත් කළේ මෙවැනි ආත්මීය දෘෂ්ටියක් වගා කිරීමකි. එය මනුස්සකම් කේන්ද්‍රීය කවියකි. ධර්මසිරි, පරාක්‍රමට කිට්ටු එහෙත් ස්වීය විලාසයකට ඒ කාර්යයට අත ගැසූ බව “ශක්තියේ පුෂ්පයෙන්” පෙනේ. ධර්මසිරිගේ මෙම පොතෙහි “ගමේ කවියා සහ විදග්ධ කවියා” නමින් කවියක් එයි. අපි එය අතරින් පතර කියවමු;
මට වඩා ඔබ මිතුර උතුම් මනු දහම ගෙන
නා ගහේ මල් විලස සුවඳ පතුරත ගමට
එම වගක් නුඹ නොදැන මා පුදන කරුණ කිම
දිව ඇවිත් ගරුසරුව මා පුදන කරුණ කිම

මේ කවියෙහි කථකයා විදග්ධ කවියෙකි. විදග්ධ කවියාට ගමේ කවියා ගරු බුහුමන් දක්වයි. රටේ පිළිගත් සමාජ ප්‍රාග්ධනයක් ඇත්තේ විදග්ධ කවියාටය. ගැමි කවියා මිනිසුන්ගේ සැබෑ ජීවන අරගලය සමග පොරබදමින් ඒ ජීවිත වෙතම අනන්‍ය වෙමින් ඔවුන්ගේ වේදනාව කවියක් කරයි. එහෙත් විදග්ධ කවියා සිය කවිය ලියන්නේ කාව්‍ය ශාස්ත්‍රය හදාරමිනි. නොයෙක් කාව්‍ය විධි අනුගමනය කරමින් කලාත්මක පරිසමාප්තිය ගැන සිතමිනි. එහෙත් ගමේ කවියාට එවැනි ඉසිඹුවක්ද, පරිචයක්ද, උවමනාවක්ද නැත. ඔහුට ඇත්තේ තමා අත්දකින ලෝකය නිර්ව්‍යාජව ප්‍රතිනිර්මාණය කිරීම පමණි. කෙසේවෙතත් ගැමි කවියා තමා ලියූ කවි ගොන්නක් විදග්ධ කවියා වෙත යවන්නේ ඒවායේ ගුණ දොස් විචාරනු පිණිසය. ගැමි කවියා මෙසේ කියයි;
පත්වලට කවි ලීමි, පිපුණෙ නෑ එකක් වත්
නැද්ද අඳුරන කෙනෙක් මෙ කවියක් යවන්නට
වැඩ වැඩියි නිරතුරේ කවි ලියනු කලක් නැත
මේ මගේ කවි ටිකක් හරි වැරදි බලනු මැන
මෙයද ගැමි කවියාගේ අව්‍යාජ හැඟීමකි. ඔහු තම කවිය පිළිබඳ සාඩම්බරයෙන් පසු වන්නෙක් නොවේ. ඔහු තමාගේ කවියෙහි “මිටි බව” හඟියි. එහෙත් මේ “ගැමි කවි” ගොන්න කියවන විදග්ධ කවියා කියන්නේ මෙවැන්නකි;
අතින් ලියු කවි අහුර දෑතින්ම දෙනා සඳ
යකඩයක බර දැනිණ නුඹේ කවි ජීවයක
ඇත්තෙන්ම, විදග්ධ කවියාට මේ දැනෙන්නේ ගැමි කවියාගේ කවිවල භෞතික කඩදාසි-තීන්ත බර හෝ කලාත්මකත්වයේ බර නොවේ. මේ කවිවල සිටින මිනිසුන්ගේ ජීවන බරයි. මා මේ “ගැමි” නමැති විශේෂණය වරනගන්නේ එහි භාවිත අර්ථයෙන් නොවේ. භෞතිකව අපට හමු වන “ගම” වෙනුවට මේ “ගැමිකම” යන්න අවවරප්‍රසාදිත, නිර්ධන පාංතික,සංස්කෘතික ජීවිතය අහිමි, සමාජ ස්ථරායනයේ පහළම අය හැඳින්වීමට සමාන්තරව යොදමි. එය රූපකාර්ථයකි. ඒ අර්ථයෙන් මේ “ගැමිකම” අදද අපට හමුවෙයි. මේ “ගැමිකම” ගැන අව්‍යාජව ලියන කවියෝ අදද අපට සිටිති. නදුන් යසිත දසනායක, ටිම්රාන් කීර්ති, ධර්මසිරි බෙනඩික් වැනි අය අඩුවැඩි වශයෙන් එවැනි නිර්ප්‍රභූ කවියක් වගා කරමින් සිටිති. එහෙත් ඉහත කවියෙහි මෙන් ඒ කවීන්ගේ නිර්ව්‍යාජ කවිවල බර දැනෙන දෑත් හිමි විදග්ධ කවීන් අද අපට සිටිත්ද?
ඉහත කවිය ධර්මසිරිගේ කවිය පිළිබඳවම මනා රූපකමය හැඳින්වීමකි. ඒ නිසා ධර්මසිරිගේ කවියට බරසාර න්‍යායික චෝදනා අවි එසැවිය යුතු නැත. සාමාන්‍යයෙන් සංස්කෘතිය, දේශපාලන වෙත සෘජුව ඉලක්ක කරන විවේචනාත්මක හෝ විරෝධාකල්පික කවි වෙත නොයෙක් චෝදනා එල්ල වෙයි. කවි වාර්තාරූපී වීම, ආවේග බහුල භාව ප්‍රකාශන, සටන් පාඨ ලිවීම ආදී ලෙස නොයෙක් චෝදනා එල්ල වන විට ඒවා ගැන මැදහත් සිතින් බලන්නට තරම් කවීන්ද නිහතමානී විය යුතු බව නම් ඇත්තය.
කිසියම් පුද්ගලයෙකු සමාජය වෙනස් කරන්නට ක්‍රියාශීලීව සම්බන්ධ වන කෙනෙක් යැයි සිතමු. ඔහු සමාජය වෙනස් කිරීමට සිය දායකත්වය සැපයීමට විකල්ප ක්‍රමයක් ලෙස “කවිය” තෝරා ගත්තේ යැයි සිතමු. එවිට අර පුද්ගලයා අර්බුද දෙකකට මුහුණ දෙයි. සමාජය වෙනස් කිරීම පිණිස සිය දායකත්වය ලබා දීම මෙන්ම කවිය යනු කුමක්ද යන්නත් ඔහු නිරන්තරයෙන් අභ්‍යාස කළ යුතු දෙයකි. ඒ නිසා මේ දෙක අතර අන්තර් කතිකාමය තෙරපුමක් කවියාට අවශ්‍ය වේ. හුදු තම “අදහස්” කවියෙහි මෙතෙක් පැවති ආදර්ශමය ආකෘතියක (භාජනයක) බහා ලූ පලියට කවියක් බිහි නොවෙයි. කුමන ආකාරයෙන් පැන නගින කවියක වුවත් “සන්නිවේදන මාධ්‍යයක” භූමිකාව පරදන කිසියම් ආනන්දකර ගුණයක් කවියක තිබිය යුතු යැයි අපි මේ රචනයේ මුලදීම කීවේ ඒ නිසාය. ඒ ආනන්දකර ගුණය කුමක්දැයි නිශ්චිතව ඕනෑම විචාරකයෙකුට අල්ලා ගත නොහැකිය. කවියේ වාර්තාරූපී බව ඉක්ම විය හැක්කේ එම ගුණයටයි. ඒ නිසා දේශපාලනික කවියක වුවද මේ ආනන්දකර බව අවශ්‍යය.
ආනන්දය යනු කිසියම් සෞන්දර්මය සතුටකි. (නන්ද-සතුට) මේ ආනන්දය යනු කවියක ඇති සැපදායක භාව කැළඹීමක් නොවේ. වේදනාව යනු පීඩාව හෝ රිදුම පමණක් නොව සැපයද අඟවන්නා සේම සෞන්දර්යාත්මක ආනන්දයද සොහොනක් ගැන ලියන කවියක වුවත් තිබිය හැකිය. පරාක්‍රම කිවිඳු වරක් ලාල් හෑගොඩගේ ඡායාරූප විචාරමින් ඔහුගේ ඡායාරූපවල හෘදයානන්දකර ගුණයක් ඇතැයි ලීවේය. කවියක මා ඉහත විස්තර කළ ආනන්දකර බව හැඳින්වීමඒ පදය වඩාත් සුදුසු යයි මම යෝජනා කරමි.
කවියක මේ හෘදයානන්දකර බව පිළිබඳ හොඳම නිදසුන් ධර්මසිරිගේ කවියෙහි ඇත. අප ඉතා කෙටියෙන් කතා කළ ඉහත නැගණිය සහ අම්මා ගැන කවි දෙකෙහිම අත්දැකීම් සොම්නස අවුළුවන ඒවා නොවේ. ධර්මසිරිගේ කාව්‍යාවලිය පුරාම හමු වන්නේ අප ඉහත කී ලෙස පීඩිතයාගේ, දුක්ඛිත මිනිසාගේ ජීවිතයයි. එය දුකෙහි කවියකි. එහෙත් ඒවා කවිය නම් ව්‍යුහීය ගොඩනැංවීම තුළ ප්‍රතිනිර්මාණය වන විට හෘදයානන්දය අවුළයි. එනම්; මේ කවිවලින් අපේ හදවතේ තෙත් කලාපය ස්පර්ෂ කරයි. සානුකම්පික පරිකල්පනය වගා කරන්නට නම් අනෙකාගේ ජීවන යථාර්ථය පිළිබඳ අපි හදවතින් ළං විය යුතුය. කවියකින් එසේ අන් හදකට ළං වන්නට නම්, කලාත්මක සන්නිවේදනයක්, ඉන්ද්‍රිය සංජානනයක් සිදු විය යුතුය. එය ඉතා පීඩාකාරී වචන ඇති කවියකට වුවද කළ හැකිය.
විශිෂ්ට කවිය මේ හෘදයානන්දකර බවද බුද්ධි කලම්බන ගුණයද එකවර හසු කරගනියි. එවිටය අපට අප දකින අධම ලෝකය වෙනස් කරන පරිකල්පනය, විකල්ප යථාර්ථයේ පරිකල්පනය ඇවිලවිය හැක්කේ. ඒ නිසා කවියකට භාවමය මානයක් සේම බුද්ධිමය මානයක්ද තිබිය යුතුය. මේ ප්‍රඥා ආමන්ත්‍රණය කළ හැක්කේ රණවීරගේ දාර්ශනික කවියට පමණක් නොවේ. ටිම්රාන්ගේ රස්තියාදු – අරියාදු කවියටත් එය කරන්නට පුළුවන.
ධර්මසිරි රාජපක්ෂගේ “ශක්තියේ පුෂ්පය” නම් කවි පොතෙහි කවි මෙන්ම එහි නමද මේ දෙකම ඉඟි කරයි. ශක්තිය නම් ප්‍රඥාවයි. පුෂ්පය නම් සෞන්දර්යයි. දසක ගණනාවකට පසු ධර්මසිරි රාජපක්ෂ “සඳ වතුර” නමින් 2010දී අලුත් කවි පොතක් පළ කළේය. කුමන පසුබිමක් මත හෝ ධර්මසිරිගේ අර ආරම්භක මිනිස්කමේ කවිය එතුළ විශිෂ්ට රූපයකින් සිට ගත්තේ නැත. ඒ සඳහා දහසකුත් එකක් ඓතිහාසික කාරණා තිබෙන්නට පුළුවන. ඒ නිසා අපේ කාලයේ ධර්මසිරි බෙනඩික්ලා, ධර්මසිරි රාජපක්ෂ වැනි කවීන් නැවත නැවත කියවමින් මිනිස්කමත්, මිනිස්කමේ කවියත් සොයන්නට අරගල කළ යුතුය.■

සුදර්ශන සමරවීර

උපුටාගැනීම

http://ravaya.lk/?p=35236

LEAVE A REPLY