අඹ ගහ යට අඹ අහුලන පැටික්කී -මිතිල ප්‍රනාන්දු

0
107

උඩරට රාජධානිය වසර පනහකටත් අධික කාලයක් පාලනය කල නරපතියෙකි II වන රාජසිංහ. ගන්නෝරුව සටන, රන්දෙනිවල සටන ආදියෙන් ජය ලැබීමෙන් තම දක්ෂතාවය මැනවින් පිලිඹිබු කල නිසා මොහු “රාසිං දෙවියෝ” නමින්ද ප්‍රකට වීය.

කවියට හා කලාවට පෙම් කල මොහු අනෙක් උඩරට රජවරුන් මෙන් ස්ත්‍රීන් හඹා ගිය සල්ලාල ගමන් පිලිබඳව ඇති ජනකතාද රාශියක් පවතියි. තම රාජධානිය තුල රටවැසියන් ගෙවන ජීවිතය අධ්‍යනය කිරීමට වෙස්වලාගෙන රාජධානිය තුල සක්මන් කිරීම සාමාන්‍යයෙන් රජතුමා අතින් සිදු කෙරුණි.

උඩරට රාජධානියට ආරක්ෂාව සැපයූ ප්‍රධාන ක්‍රමයක් වූයේ එහි ස්වභාවික පිහිටීමයි. රාජධානියේ සිට පහතරට මුහුදුකර පළාතට යාමට තිබුනේ ගිරි දුර්ග අතරින් වැටුනු මාර්ග කිහිපයකිනි. රාජධානියේ සිට දිවයිනේ උතුරු ප්‍රදේශයට යාමට තිබුනේ බොක්කාවල ග්‍රාමය හරහා වැටී තිබුණු දුර්ග මාර්ගයයි. මේ හේතුව නිසාවෙන් බොක්කාවල කඩවතේ තිබූ මුර පොළ රාජධානියේ ආරක්ෂාව උදෙසා ඉතා වැදගත් විය. මෙම කඩවත හා බැඳුණු ජනකතා උඩරට වැසියන් පැරැන්ණන් අතර පවතියි.

දිනක් රජතුමා බොක්කාවල මුර පොළේ වැඩකටයුතු හරියාකාරව සිදුවන්වාද නැද්ද යන්න නිරීක්ෂණය කිරීම සඳහා දිළින්දෙකු ලෙස වෙස්වලාගෙන ගියේය. මේ ගමන අතරතුර එක් ගමක අඹ ගසක් යට අඹ අහුලමින් සිටි සුරූපී කාන්තාවක්ව දුටු රජතුමාට ඈ කෙරෙහි සිත් වීය. ඇය හා දොඩමළු වී හාදකමක් පැවැත්වීමේ අටියෙන් රසකාරක දැමූ බුලත් විටක් ඇයට පිරිනැමීය. මෙවැන් විටක් එකල සාමාන්‍යයෙන් භාවිතයට ගත්තේ ප්‍රභූවරුන් පමණි.

තමා අසලට හදිස්සියේම පැමිණ මෙසේ දොඩමළු වන පුද්ගලයා දෙස ඇය බැලුවේ පිළිකුල් සහගතවය. රජතුමා දුන් බුලත් විටත් ඈ ප්‍රතික්ෂේප කලේය. මෙයින් කුපිත වූ රජතුමා මෙසේ කියා ඇත.

අඹ ගහ යට අඹ අහුලන පැටික්කී
අඹරුප්පට රජු ආවා නොදන්නී
යතුරු බුලත් දුන්නට අත නොගන්නී
තිත්ත දෙමට පොතු කාපිය හිඟන්නී

තමන් ඉදිරියට පැමිණ මෙසේ කෝපයෙක් කෑ ගසන නාදුනන්නා පැවසූ වදන් ඇයගේ කනෙහි වැටෙත්ම ඈ මෙසේ පැවසීය.

තොපේ රටේ කී මීගොන් සේම කතා
අපේ රටේ නොකියන් ඔය ඔමරි කතා
පීරෙන් පීර ගෑවා වැනි අපේ කතා
මිට සඟවන සවරමකින් දෙමිය බැටා

තම කීර්තිය උඩරට රාජධානිය තුල පැතිරවූ රාසිං දෙවියන්ට මෙම කාන්තාවගේ පිලිතුරු කවිය නිසා කීමට කිසිත් නොමැතුව නිහඬව තම ගමන ගොස් ඇත.

මහනුවර දිස්ත්‍රික්කයේ හාරිස්පත්තුව මැතිවරණ කොට්ඨාසයේ පූජාපිටිය ලේකම් බල ප්‍රදේශයේ බොක්කාවල නගරයට නුදුරින් පිහිටි “අඹරුප්ප” ග්‍රාමයට මෙම නම ලැබී ඇත්තේ මේ හේතුව නිසාවෙන් බව පවසයි.

මූලාශ්‍ර : උඩරට රාජධානියේ සැඟවුනු විරු චරිත – තිස්ස මාලගමුව

-මිතිල ප්‍රනාන්දු

LEAVE A REPLY