තනිවී ගිම්හානයේ වැලපේ කොවුලා වනේ…. – සචින්ත ප්‍රමෝද් නාඔටුන්න

0
346

මේ දවස්වල බුකියෙ සියදිවි නසාගැනීම් ගැන ගොඩක් කතාවෙන හින්දා සියදිවි නසාගැනීමක් ගැන ලියවුණු සින්දුවක් ගැන අද කියන්න හිතුවා…. ඇත්තටම ගොඩක් අය හිතන් ඉන්නෙ මේක විරහා ගීතයක් කියලා, ඒත් ඇත්තටම මේ සින්දුවෙන් කියවෙන්නෙ උසස්පෙළ විභාගෙට ඇඩ්මිෂන් නොලැබීමේ දුකට සියදිවි නසාගන්න තැත්කරන සිසුවෙක්ගෙ කතාවක්….

“බින්දු බින්දු තාරකා කඳුළු මල් විලේ
උමතුවී සඳයි ඔබයි හිනැහුනා රැයේ…..”

මේ සිසුවට ඇඩ්මිෂන් එක නොලැබෙන්නෙ ඔහුගෙ පැමිණීම සීයට අසූවක් නැති හින්දා. ‘බින්දු බින්දු තාරකා’ කියන කොටසින් කියවෙන්නෙ ඒ ගැන. රෙජිස්ටරේ මේ සිසුවගෙ නම ඉස්සරහින් බින්දු කොයිතරම් තියෙනවද කියනවනම් ඒ ප්‍රමාණෙ සමාන කරන්නෙ අහසෙ තරු වලට. අහසෙ ගණින්න බැරි තරම් තරු තියෙනවා වගේ ඔහුගෙ නම ඉස්සරහින් ගණින්න බැරි තරම් බින්දු තියෙනවා. මේ බින්දු ගණන දැක්කම මේ සිසුවගෙ ඇස් වලින් කඳුළු කඩන් හැලෙන්නෙ ඔහුටත් නොදැනිමයි. ඔහුගෙ ඇස්වලින් ගිළිහුණු කඳුළු රෙජිස්ටරේ උඩට වැටුණම රෙජිස්ටරේ පෙනෙන්නෙ හරියට නිකන් කඳුළු නැමති මල් පිපුණු විලක් වගේ. මේ සිසුවා ගොඩක් දුප්පත් කෙනෙක්. ඔහු කොතරම් දුප්පත්ද කියනවනම් ඔහුගෙ ගෙදර විදුලියවත් නෑ. ඔහු රෑට පාඩම් කරන්නෙ හඳ එළියෙන්. ඉතින් ඔහුට ඉන්න ලොකුම මිතුරා තමයි හඳ එළිය. මෙතන ‘ඔබ’ කියලා හදුන්වන්නෙ හඳ එළිය. ඔහුට හිතෙනවා ඔහුට ඇඩ්මිෂන් නොලැබුණු බව දැනගත්තම හඳ එළිය හඳත් එක්ක එකතු වෙලා උමතුවෙන් වගේ ඔහුට හිනාවෙයි කියලා…..

“සුබ පැතුම් අගාධයේ ගීතිකා ඇසේ
අහිමි වූ ආදරේ රත් නෙළුම් පිපේ….”

මේ සිසුවට සීයට අසූව නැති වුණාට ඔහු ඉගෙන ගන්න ගොඩක් දක්ෂයි. ඉතින් ඔහු විභාගෙ ලියන්න ළං වෙනකොට ඔහුගෙ නෑදෑයො, හිත මිතුරො ඔහුට ගොඩක් සුබ පතනවා. ඒ දැන් ඒ සුබ පැතුම් වැඩකට නැති වෙලා. ඔහු දැන් සුබ පැතුම් වලින් හැදුණු අගාධයකට වැටිලා වේදනාවේ ගීතිකා ගයනවා. මෙතනදි ‘අහිමි වූ ආදරේ’ කියන්නෙ විභාගෙන් හොඳ රිසාල්ට් එකක් ගන්න ඔහුට තිබුණු බලාපොරොත්තුව. ඔහු ගොඩක් ආසාවෙන් හිටියෙ සාර්ථකව විභාගෙට මුහුණ දෙන්න. මේ වෙලාවෙ ඔහුට මතක් වෙනවා ඔහු ඉස්සර ඉස්කෝලෙ වැඩ හොඳට කළහම ටීචර් ඔහුට රතු පෑනෙන් ලොකු තරුවක් දෙන හැටි. මේ රතු පාට තරුව ඔහුට පෙනෙන්නෙ රතුපාට නෙළුම් මලක් වගේ. මේ කොටසින් නැවතත් තහවුරු වෙනවා මේ සිසුවා ඉගෙනීමට ගොඩක් දක්ෂයි කියලා….

“තනිවී ගිම්හානයේ
වැලපේ කොවුලා වනේ….”

ගිම්හානය කියන්නෙ රස්නෙ කාලෙට. මේ කාල්ට ඉර එළිය ගොඩක් පීඩාකරයි. ඉතින් මේ ඇඩ්මිෂන් නොලැබීම නිසා මේ සිසුවත් පත්වෙන්නෙ ගොඩක් පීඩාකර තත්වයකට. ‘තනිවී ගිම්හානයේ’ කියන කොටසින් පේනවා ඔහු කොතරම් පීඩාවට ලක්වෙලාද ඉන්නෙ කියලා. මෙතනදි මේ සිසුවව හදුන්වන්නෙ ‘කොවුලා’ කියලා. එතනින් අපිට නිගමනය කළහැකි මේ කියන්නෙ පිරිමි ළමයෙක් ගැන බව. මොකද ගෑණු ළමයෙක් ගැන කිව්වනම් මෙතන යෙදෙන්නෙ ‘කෙවිලිය’ කියලා.ඉතින් ඉස්සර කොවුලෙක් වගේ සතුටින් ගී ගයමින් සිටි මේ සිසුවට දැන් වෙලා තියෙන්නෙ දුකින් වැළපෙන්න….

“සඳ මත ආදරයේ සෑය මැවේ
වියැකී බඹර ගීත මලක රොන් සැලේ…..”

මේ සිසුවගෙ හොඳම මිතුරා වගේම පෙම්වතිය වුණෙත් හඳ එළිය. ඉතින් මේ තරුණයා තමන්ගෙ ආදරයේ සෑය ගොඩනැගුවෙ සඳ මත. ඒත් දැන් ඒ සෑය දැවී ගිහිල්ලා. ඔහුට දැන් කිසිම දේකින් වැඩක් නෑ. මේ සිසුවා ගීත ගයන්න ගොඩක් දක්ෂයි. ඉස්සෙල්ලා ඔහුව කොවුලෙට උපමා කරපු එකෙනුත් ඒ බව පේනවා. මෙතනදි නැවතත් කියවෙනවා ඉස්සර බඹරෙක් වගේ ගී ගයමින් සිටි ඔහුගෙ ජීවිතය දැන් රොන් විසිරිලා ගිය පරවුණු මලක් වගේ වෙලා කියලා…..

“විස මධු පුරවා විතේ
ගෙනදී දෝතින් ඔබේ…..”

මේ හැමදේකින්ම පීඩාවට පත් වෙලා ඉන්න සිසුවා අන්තිමට තීරණය කරනවා සිය දිවි නසාගන්න… ඔහු තීරණය කරනවා වස පානය කරන්න. ඒත් ඔහු ඒකටත් උදව් ඉල්ලන්නෙ තම මිතුරා, වගේම පෙම්වතිය වෙච්ච හඳ එළියෙන්. ඔහු හඳ එළියෙන් අහනවා ඔහුට වස කුප්පියක් ගෙනත් දෙන්න පුළුවන්ද කියලා. මේ කොටසින් අපිට පේනවා ඔහුට එල්ලවන පීඩනය නිසාම ඔහුට කිසියම් මානසික ආබාධයක් ඇතිවී තිබෙන බව…..

“මා හද සෑය දවා දෑස නිවා
නංවනු මන්දහාස මියෙන මා නෙතේ….”

අවසානයේදී මේ සිසුවා තීරණය කරනවා ඔහුගේ හද සෑය දවාලන්න. ඒ කියන්නෙ ඔහුගේ හද ගැස්ම නවත්වා ගන්න. ඒ වගෙම සදහටම දෑස පියාගන්න. ඒත් ඔහු තමන්ගෙ පෙම්වතිය වෙච්ච හඳ එළියට පොරොන්දුවක් වෙනවා ‘මං මැරෙන වෙලාවටත් ඔයා දිහාම බලාගෙන ඇස් වලින් ඔයත් එක්ක හිනාවීගෙනම අවසන් ගමන් යන්නම් කියලා……

Zachintha Promod Naotunna ෆේස්බුක් ගිණුමෙන් උපුටා ගත්තකි.

LEAVE A REPLY