ඩෙංගු උණ රෝගය මරු කැඳවන්නේ කෙසේද?

0
122

ඩෙංගු මාරාන්තික උණ බරපතල වසංගතයක්‌ ලෙස ශ්‍රී ලංකාවේ හතරදිග්භාගේම පැතිරෙමින් පවතී. 2010 වසර තුළ මේ වන විට 26000 කටත් වඩා අධික සංඛ්‍යාවක්‌ ඩෙංගු උණ රෝගයට භාජන වී තිබේ. ඩෙංගු උණ රෝගය හදිසියේම ශ්‍රී ලංකාව තුළ ඇතිවුණු වසංගතයක්‌ නොවේ. 2009/2008/2007 වසර වලදී ශ්‍රී ලංකාව තුළ ඩෙංගු උණ රෝගීන් වාර්තා වී ඇත. 2010 වසරේදී මේ වන විට වාර්තා වී ඇති ඩෙංගු උණ රෝගීන් 26000 කින් 200 කට අධික සංඛ්‍යාවක්‌ ඉතා අවාසනාවන්ත ලෙස ජීවිතක්‍ෂයට පත්ව තිබේ. මෙලෙස මියගිය රෝගීන් අතර කුඩා දරුවන් සහ කාන්තාවන් ද සිටිති.

මාරාන්තික ඩෙංගු උණ රෝගය අද වසංගතයක්‌ ලෙසට පැතිර යන නිසා මෙම තත්ත්වය මර්දනය කිරීමට ජනාධිපති කාර්ය සාධක බළකායක්‌ ස්‌ථාපිත කරමින් රටේ විධායක රාජ්‍ය නායකයා ලෙස ජනාධිපතිවරයාට සෘජුව මැදිහත් වීමට ද සිදුවීමෙන් මාරාන්තික ඩෙංගු වසංගතය පිළිබඳ උද්ගතවී ඇති අවදානම්කාරී අවස්‌ථාවේ බරපතලකම මනාවට පැහැදිලි වේ.

“කොටි පරදවපු රජයට ඩෙංගු පරදවන එක මහ ක-ජක්‌ දැයි” කියා වගකීමකින් තොරව කටමැත දොඩවන දේශපාලන බලධාරීන් ද අප රටේ සිටිති. කෙසේ වුවත් ඩෙංගු රෝගයට අප ජනතාව පාත්‍ර වන්නේ ජාති, ආගම්, දේශපාලන බේද අනුව නොවන බව අප කවුරුත් දැඩිව අවධාරණය කර ගත යුතුව ඇත.

රටේ සියලුම ජනතා නියෝජිතයන් දේශපාලන භේදයකින් තොරව මෙම මාරාන්තික වසංගතයෙන් ජනතාව බේරා ගැනීමට ඉදිරිපත් වීම සහ ක්‍රියා කිරීම අද ජාතීන්ගේ අවශ්‍යතාවක්‌ බවට පත්ව තිබේ. ඩෙංගු උණ වසංගතයෙන් දේශපාලන වාසි ලබාගැනීමට ක්‍රියා කිරීම කිසිසේත් සදාචාර සම්පන්න නොවූවත් රජයේ වගකීම් හරිහැටි ඉටු නොවන අවස්‌ථාවලදී ඒ පිළිබඳ බලධාරීන්ගේ අවධානය යොමු කරවීම මේ රටේ සෑම බුද්ධිමතකුගේම හා සෑම පුරවැසියකුගේම පරම වගකීම වෙයි. රජයේ වගකීම් එලෙස ඉටු නොවන අවස්‌ථාවලදී ඒ පිළිබඳ සාධනීය විවේචන ඉදිරිපත් කරන වගකිවයුතු පුරවැසියන්ට ද්වේශසහගතව රජයේ බලධාරීන් චෝදනා නගන්නේ නම් එය ජාතියේම අවාසනාවකි.

ජනතා මතයට සවන් දෙමින් සෑම විවේචනයක්‌ම සුබවාදීව බාරගනිමින් මාරාන්තික ඩෙංගු උණ රෝගය මර්දනය කිරීමට රටේ සියලු දෙනාගේම සහය සහ දායකත්වය ලබා ගැනීම රජයේ යුතුකමයි. මෙලෙස ජනතා හිතවාදීව ඩෙංගු රෝගය පාලනය කිරීමට මෙම රජය ක්‍රියාකරන්නේ දැයි තීන්දු කිරීමට වෛද්‍යවරයකු ලෙස මම අප රටේ ජනතාවට භාර කරමි.

ඩෙංගු උණ රෝගය වෛරස්‌ ප්‍රභේදයක්‌ නිසා ඇතිවන රෝගයකි. මේ වන විට මෙම ඩෙංගු උණ වෛරසයේ මාදිලි හතරක්‌ (04) ඇති බව සොයා ගෙන තිබේ. එම වෛරස්‌ මාදිලි 01, 02, 03 සහ 04 ලෙස නම් කර තිබේ.

ඩෙංගු උණ රෝගය බෝකරන මදුරු වාහකයන් දෙවර්ගයක්‌ හඳුනාගෙන තිබේ. එනම් ඊඩ්ස්‌ ඊජිප්ටයි සහ ඊඩිස්‌ ඇල්බොජික්‌ටස්‌ යන මෙම මදුරු දෙවර්ගයම බෝවීම සිදුවන්නේ පිරිසිදු ජලය රැඳෙන ස්‌ථානවල බව මේ වන විට අප රටේ බාල තරුණ මහලු සෑම පුරවැසියකුම ඉතා හොඳින් දනී. ඒ නිසාම ඩෙංගු උණ රෝගය මර්දනයේදී අපේ නිවාස තුළ ගෙවතු වල සහ අවට පරිසරයේ පිරිසිදු ජලය රැඳෙන ස්‌ථාන විනාශ කිරීමට අපේ රටේ ජනතාව දැන් උත්සුක වී තිබේ.

ප්‍රසිද්ධ ස්‌ථානවල ජලය රැඳෙන ස්‌ථාන එනම් කාණු පද්ධති ඇලවේලි වැඩබිම්වල ජලය රැඳෙන ස්‌ථාන වල ජලය රැඳීම වැළැක්‌වීමට කැළි කසළ අපහරණය නිසි ලෙස ක්‍රියාත්මක කිරීමට ඩෙංගු මදුරුවා පළවා හරින දුම් ගැසීම ආදී විවිධ ක්‍රමවේදයන් භාවිත කිරීමට පළාත් පාලන බලධරයන් දැන් දැන් වැඩි උනන්දුවක්‌ දක්‌වති. මෙම කටයුතු සම්බන්ධීකරණය කිරීම ජනාධිපති කාර්ය සාධන බළකාය හරහා සිදුවන බව වාර්තා වී තිබේ.

ජනාධිපති කාර්ය සාධන බළකායට සෞඛ්‍ය අමාත්‍යංශය, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය, අධ්‍යාපන අමාත්‍යංශය, පරිසර අමාත්‍යංශය, ජනමාධ්‍ය අමාත්‍යංශය ආදී බොහෝ අමාත්‍යංශ නිළ වශයෙන් ඇතුළත් වුවත් අප රටේ විශ්වවිද්‍යාල පද්ධතිවලට අයත් වෛද්‍ය විද්‍යා පීඨ අයත් වන උසස්‌ අධ්‍යාපන අමාත්‍යංශය නිළ වශයෙන් ඇතුළත් නොකිරීම බරපතල අඩුවකි. මාරාන්තික ඩෙංගු උණ වසංගතය වැනි වසංගත රෝග පිළිබඳවත් වෛද්‍ය විද්‍යාවේ විවිධ අංශ පිළිබඳවත් විශේෂඥ හා හසල දැනුමත් බුද්ධියත් හා පළපුරුද්දත් ඇති අපේ දේශීය වෛද්‍ය විද්‍යාලවල සේවය කරන වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්යවරුන්, කථිකාචාර්යවරුන්, වෛද්‍ය විශාරදයන් සහ වෛද්‍ය ගවේශකයන්ගේ නිළ සේවය නිසි ලෙසට ඩෙංගු මාරාන්තික උණ රෝගය පාලනය කිරීමට පමණක්‌ නොව ඩෙංගු උණ රෝගයේ මාරාන්තික අවස්‌ථාවන්හිදී ලබාදිය යුතු ප්‍රතිකර්ම පිළිබඳ විශේෂඥ දැනුම ලබාගැනීමට ශ්‍රී ලංකාවේ වෛද්‍ය විද්‍යා පීඨ වල විශාරදයන්ගේ සහය නිල වශයෙන් ලබා නොගැනීම ද ජාතියේ අවාසනාවකි.

ඩෙංගු උණ වසංගත රෝගය වැලඳුන රෝගීන් මියයන්නේ ඇයි? එහි මාරාන්තික අවස්‌ථාවන්හිදී ඇතිවන රෝග ලක්‍ෂණ මොනවාද? යන්න පිළිබඳවත් අප රටේ ජනතාව තුළ නිවැරදි සහ පැහැදිලි අවබෝධයක්‌ හා දැනුමක්‌ නොමැත. එලෙස ඩෙංගු උණ රෝගයේ මාරාන්තික අවස්‌ථාවන්හිදී දක්‌නට ලැබෙන රෝග ලක්‍ෂණ පිළිබඳ පැහැදිලි සහ නිවැරදි අවබෝධයක්‌ හා දැනුමක්‌ නොමැත. එලෙස ඩෙංගු උණ රෝගයේ මාරාන්තික අවස්‌ථාවන්හිදී දක්‌නට ලැබෙන රෝග ලක්‍ෂණ පිළිබඳ පැහැදිලි සහ නිවැරදි අවබෝධයක්‌ රටේ ජනතාවට ලබාදීමට ඉතා අවාසනාවන්ත ලෙස බලධාරීන් අපොහොසත්වී තිබේ. ඩෙංගු උණ රෝගය බෝකරන මදුරුවා පිළිබඳ ජනතාව කරුණු අසා දැන් හොඳටම හෙම්බත්වී තිබේ. එහෙත් ඩෙංගු උණ රෝගයේ මාරාන්තික අවස්‌ථාවල දක්‌නට ලැබෙන රෝග ලක්‍ෂණ පිළිබඳ ජනතාව තවමත් හරිහැටි කරුණු නොදනිති.

ඩෙංගු උණ රෝගයේ දක්‌නට ලැබෙන රෝග ලක්‍ෂණ අනෙක්‌ සාමාන්‍ය වෛරස්‌ උණ රෝගවල දක්‌නට ලැබෙන රෝග ලක්‍ෂණ වලට බොහෝ දුරට සමානය. එමනිසා රෝගයේ මුල් අවස්‌ථාවලදී ඩෙංගු වෛරස්‌ උණ රෝගය අනෙකුත් වෛරස්‌ උණ රෝගවලින් සායනිකව එනම් රෝග ලක්‍ෂණ අනුව හඳුනාගැනීම ඉතා අසීරුය. සෑම වෛරස්‌ උණකදීම දක්‌නට ලැබෙන හිසරදය ඇඟපත වේදනාව, වමනය, ඔක්‌කාරය කෑම අරුචිය ඩෙංගු උණ වෛරසයේදී ද දක්‌නට ලැබේ.

ඩෙංගු උණ රෝගයේ මාරාන්තික අවස්‌ථාව නම් ඩෙංගු රක්‌තපාත උණ අවස්‌ථාව ඩෙංගු උණ රෝගය වැළඳෙන සෑම රෝගියකුම ඩෙංගු රක්‌තපාත උණට භාජන නොවේ. එහෙත් සෑම ඩෙංගු උණ රෝගියකුම ඩෙංගු රක්‌තපාත උණට පත්වීමේ අවදානමක්‌ තිබේ. මෙය අප රටේ සෑම කෙනෙකුටම ඉතා දැඩිව අවධාරණය කළ යුතුව ඇත. වෛරස්‌ උණ රෝගය සාමාන්‍යයෙන් දින 3-5 ත් අතර ක්‍රමානුකූලව වැළදී සුව වන අතර ක්‍රමානුකූලව රෝග ලක්‍ෂණ ද බැහැර වේ. එහෙත් ඩෙංගු උණ රෝගයේදී බොහෝවිට මරු කැඳවන ඩෙංගු රක්‌තපාත උණට භාජන වන ඩෙංගු උණ රෝගීන්ගේ තත්ත්වය ක්‍රමයෙන් අසාධ්‍ය තත්ත්වයට පත්වී අවසානයේදී ජීවිතක්‍ෂයට පවා පත්විය හැක.

ඩෙංගු රක්‌තපාත උණ රෝග ලක්‍ෂණ විශේෂයෙන්ම අප රටේ සෑම පුරවැසියෙක්‌ම ඉතා හොඳින් දැන සිටිය යුතුය.

ඩෙංගු රක්‌තපාත උණේ ප්‍රධාන රෝග ලක්‍ෂණ වනුයේ හම යට කුඩා ලේ (රතු) පැල්ලම් මතුවීම, ඇස්‌ රතුවීම, නාසයෙන් ලේ ගැලීම, මළ මුත්‍රා සමග ලේ පිටවීම, විදුරුමස්‌ වලින් ලේ ගැලීම, වමනය හෝ මළ පහ කලු හෝ දුඹුරු පැහැයක්‌ ගැනීම ආදී ලක්‍ෂණයි. මෙම රෝග ලක්‍ෂණ උණ රෝගයකදී (විශේෂයෙන් අද පවතින තත්ත්වය යටතේ) වහාම රෝහලකට යා යුතුය. ඩෙංගු උණෙන් පෙළෙන කුමන රෝගියකුට ඩෙංගු රක්‌තපාත උණ වැළඳෙන්නේ දැයි පූර්ව නිගමනයකට බැසිය නොහැක. එම නිසා ඩෙංගු උණ රෝගීන් ඉතාම දැඩි පරීක්‍ෂණ වලට භාජන කරනු ලබයි. ඩෙංගු රක්‌තපාත උණේදී වලිප්පුවද ඇතිවිය හැකිය. එලෙසම සිහි මද ගතියද තවත් රෝග ලක්‍ෂණයක්‌ විය හැකිය.

ඩෙංගු රක්‌තපාත උණෙන් පෙළෙන රෝගියකුගේ උණ හිටිහැටියේ බැස යා හැකිය. එහෙත් රෝගියා දැඩි අසනීප ගතියෙන් පසුවේ නම් එය කම්පන ලක්‍ෂණයක්‌ විය හැකිය. එම නිසා ඉහත රක්‌තපාත උණ රෝග ලක්‍ෂණ තිබෙන රෝගියකුගේ උණ බැස්‌ස පලියට රෝගය සුවවී ඇතැයි සෑහීමකට පත් නොවිය යුතුය. ලේ වහනය වීම නිසා ඩෙංගු රක්‌තපාත උණේදී කම්පන ලක්‍ෂණ ඇතිවෙයි. එනම් මලානික බව සුදුමැලිවීම දහඩිය දැමීම, වේගවත් දුර්වල නාඩි වැටීම, තොලකට වියලීම, කලබලකාරී බව හා හුස්‌ම ගැනීම වේගවත් වීම ආදී ලක්‍ෂණ ඇතිවේ. මෙම ලක්‍ෂණ ඇත්නම් රෝගියාට වහාම ප්‍රතිකාර නොකළ හොත් රෝගියා මරණයට පත් විය හැකිය. මේ නිසායි ඩෙංගු රක්‌තපාත උණ මාරාන්තික වන්නේ.

ඩෙංගු උණ රෝගයේ තවත් මාරාන්තික අවස්‌ථාවක්‌ වන ඩෙංගු කම්පන සංකුලතාවයේදී අධික වමනය, මලානික බව, උදරයේ කැක්‌කුම, අත්පා සීතල වීම, වේගවත්ව හෘද ස්‌පන්ධනය වැනි රෝග ලක්‍ෂණ ඇතිවේ.

ඩෙංගු රක්‌තපාත උණට සහ ඩෙංගු කම්පන සංකූලතාවන්ට ඩෙංගු උණ රෝගීන් භාජන විය හැකි නිසා විශේෂයෙන් අද වැනි ඩෙංගු උණ රෝග වසංගත පවතින වකවානු වලදී කිසිම උණ රෝගියෙක්‌ උණ පාලනය කිරීමට හෝ ඇඟපත වේදනාව දුරුකරවීමට ඇස්‌ප්‍රින් හෝ ඇස්‌ප්‍රින් අඩංගු කිසිම ඖෂධ වර්ගයක්‌ භාවිත නොකළ යුතුය. අවාසනාවකට අද අප රටේ පිටිසර ගම්මානවල පමණක්‌ නොව නගරබද ප්‍රදේශවල පවා සිටින ව්‍යාජ වෛද්‍යවරුන් උණ රෝගීන්ට ඇස්‌ප්‍රින් පෙති කුඩුකර උණ කුඩු ලෙස ලබාදෙන බවද අවධාරණය කළ යුතුව ඇත. මෙවැනි ව්‍යාජ වෛද්‍යවරුන් ඇත්තෙන්ම මිනීමරුවන්ය.

ඩෙංගු උණ රෝගය රෝග වසංගතය පවතින මෙම කාලසීමාව තුළ අප ජනතාව කළ යුත්තේ කුමක්‌ද?

ඩෙංගු උණ රෝගය බෝකරන ඩෙංගු මදුරුවා බෝවන ස්‌ථාන විනාශ කිරීමට දායක විය යුතුය.

මේ පිළිබඳ අප රටේ ජනතාව තුළ මනා අවබෝධයක්‌ ඇති බව මා දැඩිව විශ්වාස කරමි. එම නිසා ඒ පිළිබඳ නැවත නැවතත් කරුණු ඉදිරිපත් කිරීම අනවශ්‍ය බව මම සිතමි.

ජනතාවට කෙරෙන කාරුණික අවවාදයයි

01. උණ සමග ඉහත සඳහන් රෝග ලක්‍ෂණ දින 2-3 කට වැඩියෙන් පැවතුනහොත් අනිවාර්යයෙන්ම වෛද්‍ය උපදෙස්‌ පතන්න.

02. මේ දින වල ඩෙංගු වසංගතයක්‌ ඇති නිසා උණට හා සෙම්ප්‍රතිෂ්‍යාවට ඇස්‌ප්‍රින් සහ ඇස්‌ප්‍රින් අඩංගු ඖෂධ භාවිතයෙන් වැළකී සිටීම නුවණට හුරුය.

03. ඩෙංගු රෝගය හඳුනා ගැනීමට වෛද්‍යවරුන් විසින් රෝගීන්ගේ රුධිර පරීක්‍ෂණ නියම කරනු ඇත. උදා – රුධිර පට්‌ටිකා පරීක්‍ෂණය.

04. රෝහල්ගත වන ලෙස වෛද්‍ය උපදෙස්‌ ලැබුණ හොත් රෝහල්ගතවීමට ප්‍රමාද නොකරන්න.

05. ඩෙංගු රක්‌තපාත උණ හා ඩෙංගු කම්පන සංකුලතාව මාරාන්තික විය හැකිය.

එහි රෝග ලක්‍ෂණ ඉතා සංවේදීව සිතට ගන්න එවැනි රෝග ලක්‍ෂණ ඇති සෑම රෝගියකුම නිසි රසායනාගාර පහසුකම් රුධිර බැංකු පහසුකම් දැඩිසත්කාර ඒකක පහසුකම් සහ විශේෂඥ වෛද්‍ය සේවාවන් ඇති රජයේ රෝහලකට මෙම රෝගීන් රැගෙන යාම අත්‍යවශ්‍ය වේ.

ඩෙංගු උණ ගැන අලුතෙන් යමක්‌

01. ඩෙංගු රෝගයෙන් වැළකීමට එන්නත් නිෂ්පාදනය කිරීම පිළිබඳ පරීක්‍ෂණ දැන් පැවැත්වේ.

02. ඩෙංගු උණ බෝකරන මදුරුවා බිහිවන විකල්ප ස්‌ථාන (සුපුරුදු ස්‌ථාන හැර) නාගරික කරණයත් සමග අලුතෙන් ඇතිවී තිබේ. උදා Roof Top

03. ඩෙංගු උණ සාදන වෛරස්‌ මාදිලි 1,2,3,4 ලෙස හඳුනාගෙන තිබේ.

04. ඩෙංගු උණ බෝකරන මදුරු කීටයා විනාශ කිරීමට BTI බැක්‌ටීරියාවට හැකි බව තහවුරු වී තිබේ.

05. ඩෙංගු උණ හඳුනා ගැනීමට රෝහල් වාට්‌ටුවේදී කළ හැකි මයික්‍රෝහිමැටෝ ක්‍රීට්‌ පරීක්‍ෂණය දැන් ලංකාවේද රෝහල්වල වාට්‌ටුවල කළ හැකිය.

06. ඩෙංගු උණ පැතිරී යාම වැළැක්‌වීමට රෝගය බෝකරන මදුරුවාහකයා මර්දනය කළ යුතුය.

ඩෙංගු උණ රෝගය බෝකරන ඩෙංගු මදුරු කීටයා විනාශ කිරීමට කියුබාවේ BTI බැක්‌ටීරියාවට හැකිවූ බව අප රටේ බලධරයන් පසුගිය වසර කීපයක්‌ පුරාම පුන පුනා කරුණු ජනතාවට ඉදිරිපත් කරන ලදී. එම නිසාම කියුබානු BTI බැක්‌ටීරියාව පිළිබඳ අප රටේ ජනතාව තුළ විශාල බලාපොරොත්තු, අපේක්‍ෂාවන් සහ විශ්වාසයක්‌ ඇතිවී තිබේ. අවාසනාවට මාරාන්තික ඩෙංගු උණ වසංගතය මැඬලීම සඳහා ජනාධිපතිවරයා මැදිහත් වී ජනාධිපති කාර්ය සාධන බළකායක්‌ ස්‌ථාපිත කළත් තවමත් කියුබානු BTI බැක්‌ටීරියාව ගැන සුරංගනා ලොවක්‌ මැවූ ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය බලධාරීන්ට එම බැක්‌ටීරියාව ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට නොහැකි වී තිබේ. එයත් හරියට බාලගිරි දොaෂය අද නොවෙයි හෙට යෑයි කියා පෑමකි. දැන් අපේ බලධාරින් දේශීයව නිපදවන BTI බැක්‌ටීරියාව පිළිබඳ අලුතෙන් ප්‍රකාශ ඉදිරිපත් කරමින් ජනතාවගේ අවධානය වෙනතකට යොමුකරවීමට උත්සාහ කිරීම තම නිරුවත වසා ගැනීමට දරන අසාර්ථක උත්සාහයකි. ඩෙංගු උණ රෝගයෙන් වෛද්‍ය විද්‍යාත්මක කරුණු පිළිබඳවත් විශේෂයෙන්ම එහි මාරාන්තික අවස්‌ථාව වන ඩෙංගු රක්‌තපාත උණ සහ ඩෙංගු කම්පන සංකුලතාව පිළිබඳවත් අප රටේ ප්‍රජාව දැනුවත් කිරීමේ වෛද්‍ය උපදේශන මාලා පැවැත්වීමට මා සමග වෛද්‍යවරුන් රාශියක්‌ ස්‌වෙච්ඡාවෙන්ම ඉදිරිපත්ව සිටිති. එවැනි වෛද්‍ය උපදේශන දේශන සංවිධානය කිරීමට කැමති මහා සංඝරත්නය ඇතුළු ආගමික අන්‍යාගමික පූජක උතුමන් ඇතුළු ස්‌වෙච්ඡා සංවිධාන වල ප්‍රජා නායකයන්ට අප සමග පහත ලිපිනයෙන් සෘජුවම සම්බන්ධ විය හැක.

උපුටාගැනීම

http://www.divaina.com

LEAVE A REPLY