කරුණාසේන ජයලත්ගේ නවකතා – මහින්ද ගුණවර්ධන

0
152

1928 ජනවාරි මස 10 වනදා හොරණ කුඹුක ප්‍රදේශයේ දී උපත ලද කරුණාසේන ජයලත් කුමරා 1933 දී කුඹුකේ බාලිකා විද්‍යාලයට ඇතුළත් කරනු ලැබුවා. ඉන්පසු කුඹුකේ බාලක පාසලෙන් හා හොරණ තක්සලාවෙන් ද අධ්‍යාපනය හැදෑරුවා. ඔහුට උසස් ඉංග්‍රීසි අධ්‍යාපනයක් ද ලැබුණා. පාසල් යන කාලයේ කවි ලිවීමට කැමැත්තක් දැක්වුවා


1947 දී කොළඹට පැමිණි ඔහු පුවත්පත් කලාවේදියකු වීමේ අරමුණ ඇතිව සිංහල ජාතිය පුවත්පතට පරිවර්තකයකු වශයෙන් සම්බන්ධ වුණා. එතැන වැඩ කළේ ටික කාලය යි. ඊළඟට සඳරැස පුවත් පතට එකතු වී සේවය කළා. 1951 දී ලංකාදීප පුවත්පතේ කතෘ මණ්ඩලයේ සාමාජිකයකු වූ ඔහු 1961 දී උප කතුවරයා බවට උසස්වීමක් ලැබුවා. එයින් ද අස් වූ ඔහු සිරිලක හා දිනකර පුවත්පත්වල ද සේවය කළා.


1966 දී ඔහු ලියූ ගොළු හදවත වේගයෙන් ජනප්‍රිය වුණා. සුගත් සහ දම්මිගේ ආදර කතාව තරුණ තරුණියන්ගේ සිත්වල කිඳා බැස්සා. කතාවේ අවසානයේ දී සුගත් තනි වෙනවා. බීමට ඇබ්බැහි වෙනවා. ගොළු හදවතේ දෙවන කොටස, එනම් බඹා කෙටූ හැටි නවකතාවෙන් සුගත් සහ දම්මිගේ ආදර අන්දරය ගොඩ නැගෙනවා.
කරුණාසේන ජයලත් ශූරීන් නවකතා ගණනාවක් ලිව්වා. ඒ හැම එකක් ම අකුරු හයකින් නම් කිරීම ඔහුට ම ආවේණික ලක්ෂණයක්. 


ගොළු හදවත, බඹා කෙටූ හැටි, ගැහැනු ළමයි, පිරුණු හදක්, සිතට සිතක්, යහළු යෙහෙළි, රිදී නිම්නය, කුල කුමරිය, සතුරු සිතක්, ලස්සන ඇස්, මානවිකාවක්, සතීගේ කතාව, මුව දඩයම, ඇවැස්ස නෑයෝ, පෙම් පුවතක්, මව සහ දුව නවකතා ඔහු විසින් දායාද කළ කෘති.


ගොළු හදවත නවකතාව ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සිනමාවට නැගුවා. දම්මිගේ චරිතයට අනුලා කරුණාතිලක සහ සුගත්ගේ චරිතයට වික්‍රම බෝගොඩ යන නළු නිළියන් පණ පෙව්වා. විජේරත්න වරකාගොඩ සහ ශ්‍රියානි අමරසේන සෙසු ප්‍රධාන චරිතවලට දායක වුණා. චිත්‍රපටයේ තවත් විශේෂත්වයක් ගැන කියන්නට ඕන. ඒ තමයි ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන් සිංහල සිනමා පසුබිම් සංගීතය නව දිසාවකට යොමු කිරීම. ඔහු ගොළු හදවත නවකතාව සංගීතයට නැගුවා කියන එකයි මගේ අදහස.


දම්මි සහ සුගත් ආදර කතාව සිසිර සේනාරත්න සහ ඉන්ද්‍රානි විජේබණ්ඩාර ගීතයකින් ද ඉදිරිපත් කළා.

ඔහු සිංහල නවකතාවේ තමාගේ නම සනිටුහන් කළ ආදරණීය මිනිසෙක්.

මේ ලිපිය සකස් කරන්නට හිතුණේ අපේ ආදරණීය Sisira Wijesinghe යන්ගේ ලිපියක් කියවූ පසු. ඔහු ගොළු හදවතට පාදක වූයේ සැබෑ කතාවක් යන්න පාදක කරගෙන ලිපියක් ලියා තිබුණා. අද උදේ Nimal Dunuhinga සහෘදයා මට ඉන්බොක්ස් කර මා ඇවිස්සීම දෙවන කාරණය යි.
ස්තුතියි යාළුවෝ දෙන්නාට ම.

මහින්ද ගුණවර්ධන
03.. 07. 2017

LEAVE A REPLY