අතීත කාමය කියන්නේ නරක දෙයක් නෙමෙයි. – ඉසුරු ප්‍රසංග

0
177

2017 ජුලි 12 දිනමිණ

-අපි තමයි පොල්පිති හරක් දක්කපු, සෙල්ලම් ගෙවල්වල වැලි බත් උයපු, ඉස්කෝලේ කෙල්ලන්ට පෙම් හසුන් ලියපු අවසාන පරම්පරාව. කුරුම්බැට්ටි මැසින්, කොස් කොළ තොප්පි, උණ බට තුවක්කු, ගොක් කොළ නයි වගේ ඒවා දැන් ළමයි දැකලාවත් නෑ. ඔබේ පළමු නවකතාව තුළ එන මේ දෙබසින් ඔබ ඉඟි කරන්නේ කා ගැනද?

ඒ ඇත්තටම මේ කතාව ලියන මගේ පරම්පරාව කිව්වොත් නිවැරදියි. ඒ පරම්පරාව කොහොම එකක්ද? ඒ කියන්නේ අසූව දශකයේ මුල හරියේ ඉපදුන, කැලේට කොළේට හැදෙන්න අදට වඩා නිදහස් පරිසරයක් තිබුණු, දොස්තර හොඳහිත, ගලිවර්, රොබින් හුඞ්, වගේ රූපවාහිනී වැඩසටහන් බලපු, සෝවියට් සංගමේ කඩා වැටෙන්න ඉස්සර උණු උණුවේ රුසියාවෙන් ආපු ළමා පොත් කියවපු, ගැටව් කාලේ අමීර් ඛාන්ලගෙන්, මධුරි ඩික්සිත්ලාගෙන් ආදරේ කරන්න ඉගෙන ගත්තු, සමාජ දේශපාලන ප්‍රශ්න ගැන අදට වඩා සංවේදීව කල්පනා කරපු, ක්ෂුද්‍ර තාක්ෂණ හරඹ එක්ක මිනිස් සම්බන්ධතා වෙනස් වෙන විදිහ ළමා වියේදි අත්නොවිඳපු, පරම්පරාවක් තමයි අපි. ඒ පරම්පරාවේ පොදු ලක්ෂණ මෙහෙම සරලව සූත්‍ර ගත කරන්න අමාරු වුණත් මගේ අත්දැකීම් පරාසයට අනුව මට අපේ පරම්පරාව ගෝචර වුණේ ඒ විදිහට. කුරුම්බැට්ටි මැෂින්, සෙල්ලම් ගෙවල්, උණ බට තුවක්කු කියන්නේ අපේ ළමා කාලෙට අයිති දේවල්. ඒවයින් සෙල්ලම් කරපු ළමයි අද අම්මලා තාත්තලා. අද අපේ දරුවන්ට ඒවා වෙනුවට වෙන වෙන දේවල් තියනවා. ඒ අසූවේ පරම්පරාවට අයිති සමාජ සංවේදී පුද්ගලයෙක් වන රවිඳුගේ අත්දැකීම් ඔස්සේ තමයි මේ නවකතාව ඉස්සරහට යන්නේ.

-ඔබ කියන අසූවේ පරම්පරාවේ ආදරය ගැන, තාරුණ්‍ය ගැන, දේශපාලන අරගල ගැන ඔබ මේ නවකතාවේ කතා කරනවා. ඒක කිසියම් විදිහක අතීත කාමයක්ද? අලුත් පරම්පරාව ගැන කථකයා කම්පාවෙන ගතියක් මේ දෙබසින් වුණත් දැනෙනවා යැයි මා කීවොත්…?

පළමුවෙන්ම අතීත කාමය කියන්නේ නරක දෙයක් නෙමෙයි. අතීතය මත තමයි අනාගතය ගොඩනැගෙන්නේ. ඒත් රට සම්බන්ධව කතා කරනකොට අතීත කාමය ඉතාම නරක දෙයක් විදිහට හුවාදක්වන්න ඇතමුන් උත්සාහ කරනවා. එය දේශපාලන ප්‍රශ්නයක්. කොහොම වුණත් මේ කතාව හුදු අතීත කාමයක ප්‍රකාශණයක් නොවෙයි. අපේ පරම්පරාවේ අත්දැකීම් ඔස්සේ අනාගතය දක්වාත් මේ කතාව දිගහැරෙනවා. ඒ වගේම මේ කතාව පහුගිය දශක තුනක විතර කාලය තුළ මේ රටේ සමාජ දේශපාලන සිදුවීම්වල එක්තරා නිරූපනයක් කියන්නත් පුළුවන්. අලුත් පරම්පරාව ගැන කිසියම් කම්පාවක හඬක් ඔය දෙබස තුළ තිබෙන බව ඇත්ත. ඒත් මෙතෙන්දි මම හදන්නේ අපේ කාලේ හොඳයි, දැන් කාලේ නරකයි කියන හැමදාම ඇහෙන සරල කතාව ආපහු කියන්න නෙමෙයි. ඒ කතාවේ යම් සන්දර්භගත ඇත්තක් තියෙන්න පුළුවන් තමයි. ඒත් අලුත් වෙනස්කම්වලට හැම පරම්පරාවක්ම මුහුණ දෙනවා. අලුත් දේවල්වල හොඳ නරක දෙකම හැමදාම තියනවා. එතෙන්දි අලුත් වෙනස්කම් දරාගන්න අමාරු ආතතියක් හැමෝ තුළම වගේ මතුවෙනවා. ඒ නිසා තමයි අබුද්දස්ස කාලේ ලබුත් තිත්තයි වගේ කියමන් හැමදාම අහන්න ලැබෙන්නේ. අපේ කාලෙන් පස්සේ එන උන් කවි ලියන්නේ නෑ, දේශපාලනේ කරන්නේ නෑ, රටට ජාතියට ආදරේ නෑ කියලා අපි සමහර වෙලාවට හිතනවා. ඒත් ඒක වැරදියි. හැබැයි මේ යුග වෙනස විසින් අලුත් පරම්පරාව තුළ ඇති කරපු යම් යම් නිශේධනීය දේවල් ප්‍රමාණයකුත් තියනවා කියන එක අපිට සම්පූර්ණ බැහැර කරන්නත් බෑ. එය ඉතා ගැඹුරින් විශ්ලේෂණය කරගත යුතු කාරණයක්.

-බැලූ බැල්මට ඔබේ නවකතාව ප්‍රේම කතාවක් වගේ කෙනෙකුට පේනනත් පුළුවන්. ඒත් මේ කතාව තුළ හමුවන්නේ සම්මත ආදර්ශමත් පෙම්වතෙක් නෙමෙයි. ඒ වෙනුවට ප්‍රේමය ස්පර්ශ කරමින් කිසි තැනක නොරැඳී අයාලේ යන පුද්ගලයෙක්ව ඔබ මේ තුළ උත්කර්ෂයට නංවන්නේ ඇයි?

ප්‍රේමය මහ පුදුම දෙයක්. කොච්චර කතා කළත් ඇති නොවෙන, ඉවර නොවෙන මාතෘකාවක්. ප්‍රේමය තරම් කවියට, සාහිත්‍යට, සිනමාවට විෂය වුණු වෙන මාතෘකාවක් නැති තරම්. මේ කතාවෙදිත් ප්‍රේමය හුදු රසකාරකයක් නොවෙයි. එය කතාවට අනුලංඝනීය ලෙස බද්ධ වී තිබෙන්නක්. නමුත් ඔබ කිව්වා වගේ මේ කතාවෙදි අපට හමුවෙන්නේ ජයග්‍රාහී විවාහයකින් සියල්ල කෙළවර වෙන සම්මත ආකෘතිගත පෙම්වතෙක් නෙමෙයි. ඔහු ප්‍රේමයේදී විතරක් නෙමෙයි අනිත් හැම දේකදිම ආකෘතිගත වෙන්න අකමැති බොහීමියානු චරිතයක්. ඔහුගේ අත්දැකීම් තමයි මේ කතාවට විෂය වෙන්නේ. එය තමයි මේ කතාවේ වස්තු විෂය. නමුත් අයාලේ යාම උත්කර්ෂයට නැංවීමක් හෝ පරමාදර්ශයක් ලෙස හුවා දැක්වීමක් මා සිදුකොට නැහැ. අයාලේ යාම තුළ ඇති සුන්දරත්වය වගේම කටුකත්වය ගැනත් මෙහි කතා කෙරෙනවා. ඒ අත්දැකීම් ඔස්සේ තමයි ප්‍රේමයේ මහා පැතිරුණු ඉසව් ගැන, සූක්ෂමතා ගැන සංලාපයක් නවකතාව තුළ ගොඩ නැගෙන්නේ. ආකෘතිගත සම්මත පෙම්වතෙක්ගේ අත්දැකීම් ඔස්සේ එවැනි ගැඹුරු සංවාදයක් ගොඩනගන්න අමාරුයි.

-ඔබේ නවකතාව නවකතාවකට වඩා දේශපාලන වෘතාන්තයක ස්වභාවයක් තිබෙනවා. එය නවකතාවේ සාහිත්‍යමය අගයට හානියක් නොවෙයිද?

නවකතාවකින් බලෙන් දේශපාලන විශ්ලේෂණ කරන්න යන එක ඒ තරම් සුදුසු නෑ. හැබැයි උසස් නවකතාව තුළින් දේශපාලනය ඇතුළු බොහෝ කාරණා ගැඹුරින් විනිවිද දැකිය හැකි ඥානයක් සම්පාදනය කෙරෙනවා. ඉන් ලැබෙන අවබෝධය කියන්නේ තරඟ විභාග සමත්විය හැකි ජාතියේ දැනුමක් නොවෙයි. නමුත් එය ජීවිතය සඳහා ඉතා වැදගත් වන අවබෝධයක්. නවකතාවක් දේශපාලනික වීම නවකතාවේ සාහිත්‍යමය අගයට හානිකර දෙයක් නොවෙයි. මොකද විවිධ විෂයන් යටතේ, විවිධ අනන්‍යතා යටතේ නවකතා ලියවෙනවා. ලෝකෙ සැබෑ දේශපාලන හැලහැප්පීම් පසුබිම් කරගෙන ලියවුණු නවකතා, චිත්‍රපට ඕනෑ තරම් තිබෙනවා. ඒ වගේම දේශපාලන විෂය පථයෙන් බොහෝ දුරස්ථ වූ උසස් නිර්මාණත් තිබෙනවා. මට දැන් අලුත් නවකතාවක් ලියන්න අදහසක් ඇවිත් තියනවා. ඒක බොහෝ දුරට ආදර කතාවක්. ආදරේත් දේශපාලනික වුණත් මේ කතාව දේශපාලන කාරණාවලින් සම්පූර්ණ වගේ ඈත් වුණු එකක්. ආදරය වගේ කාරණාවලදි ස්ත්‍රී පුරුෂ සිත් හැසිරෙන පුදුමාකාර විදිහ ගැන සියුම්ව කතා කෙරෙන නිර්මාණයක්. මම පෞද්ගලිකව මේ හැම විදිහකම නිර්මාණවලට එකඟයි. මේ යුගය තුළ අපි කරන්න ඕන මේ වගේ නිර්මාණ කියලා නියෝග පනවන්න බෑ.

-ඔබේ නවකතාව තුළ සැබෑ චරිත, සැබෑ සිදුවීම්, සංවිධාන, ආයතන, රටේ ප්‍රකට පුද්ගලයන්ගේ නම් ගම් ආදිය ඒ විදිහටම ඇතුළත් කර තිබෙනවා. එයින් යම් යම් ගැටලු මතු වුණේ නැද්ද? නවකතාවක් තුළ සැබෑ සිදුවීම් ඒ අයුරින්ම භාවිතයට ගැනීම කොතෙක් නිර්මාණෝචිතද?

මෙයත් අලුත් දෙයක් නොවෙයි. සැබෑ සිදුවීම්, සැබෑ චරිත, ඒ අයුරින්ම සහ යම් යම් වෙනස්කම් සහිතව යොදාගත් කලා නිර්මාණ ලෝකයේ ඇති තරම් තිබෙනවා. ඒ නිසා එසේ යෙදීම ගැටලුවක් නොවෙයි. නමුත් අපි එතෙන්දි ඉතා ප්‍රවේසම් විය යුතුයි. එය ඒ සැබෑ සමාජ තතු විකෘති නොකර ඉතිහාසයට හෝ පුද්ගල චරිතවලට අසාධාරණයක් නොකර ඉතාම වගකීමෙන් කළ යුතු දෙයක්. යම් සැබෑ සිදුවීමක් ගැන පුද්ගලයෙක්ගේ අර්ථකථන වගේ දේවල් එකිනෙකට වෙනස් වුණාට කමක් නෑ. ඒත් රටක සැබෑ ඉතිහාසයට අසාධාරණයක් කරන්න අපිට බෑ. නමුත් අද නවකතා තුළ එවැනි දේ සිදුවෙනවා. මෑතකදී පළවුණු එක නවකතාවක තියනවා කොටි බෝම්බ තියපු එකකට පළිගන්න සිංහල මිනිස්සු කෝච්චියක එන දෙමළ මිනිස්සුන්ව මරන්න යන සිදුවීමක්. කොටි බෝම්බ තියපු හැටියට එහෙම මරන්න ගියා නම් මොකක් වෙයිද? මේ නවකතාකාරයෝ ලියන්නේ කොහේ සිද්ධ වෙච්ච දේවල්ද? ප්‍රබන්ධකරණයට ඇති නිදහසේ නාමයෙන් මේ විදිහට රටක සැබෑ සමාජ දේශපාලන තතු විකෘති කරන්න නිර්මාණකාරයන්ට අයිතියක් නෑ. මොකද කලාවේ නිදහස කියන එක සමාජ යහපැවැත්මට උඩින් තියන්න ඕන දෙයක් නෙමෙයි. දැන් මේ පොත් පරිවර්තනය කරලා පිටරටක මිනිස්සු ඒවා කියෙව්වොත් ඒ අය කියනවද මේවා මේ නිර්මාණකරුවන්ගේ කල්පිත… ප්‍රබන්ධ… ප්‍රබන්ධයයි යථාර්ථයයි දෙකක් වගේ කතා. සුපර් මෑන් වගේ කතාවකදි නම් තමන්ට කැමති විදිහෙ බොරු ලිව්වට කමක් නෑ. ඒත් සමාජ දේශපාලන කාරණාවලදි අපි ඉතා ප්‍රවේසම් විය යුතුයි.

-ඉස්කෝලේ ඩෙස් එකක දෑකැති මිටි සළකුණ ඇඳපු ඔබේ කතාවේ කතා නායකයා අවසානෙදි නැඹුරුවන දේශපාලන මතවාදය ඔබ මොකද හිතන්නේ? එය ඔබේ ජාතිකවාදී දේශපාලන අදහස් නවකතාවට ගොනු කිරීමක් වෙන්න බැරිද?

මගේ මතවාදය මොකක් වුණත් කතා නායකයාගේ මතවාදය ඊට වඩා සංකීර්ණයි. ඔහු මතවාද සම්බන්ධවත් අයාලේ යන චරිතයක්. ඔහු සම්මත ජාතිකවාදියෙක් කියන්න බෑ. ඔහු මුලදි ආකෘතිගත වාමාංශිකයෙක්. පසුව ඔහු විවිධ මතවාද ඇසුරු කරමින් අයාලේ යනවා. හැබැයි ඔහු වම සපුරා අත හරින්නෙත් නෑ. විවිධ මතවාදී ආභාසයන් එක්ක මේ රට වෙනස් වෙන්න ඕන මෙහෙමයි කියන එක ගැන ඔහු තුළම ක්‍රමයෙන් ස්වාධීන අදහස් පද්ධතියක් ගොඩනැඟෙනවා. ඒ දැක්ම සාධාරණ නම් ඒකට ජාතිකවාදය නැතුව වෙන නමක් කිව්වත් කමක් නෑ. මොකද ජාතිකවාදය කිව්වාම ඒක සංකීර්ණයි. හිට්ලර් වුණත් ජාතිකවාදියෙක් කියන්න පුළුවන්. ජාතිකවාදය කියන්නේ මාක්ස්වාදය වගේ නිශ්චිත දාර්ශනික ඒකමිතියක් තිබෙන මතවාදයක් නෙමෙයි. ජාතිකවාදයේ විවේචකයෙක් වුණු බෙනඩික්ට් ඇන්ඩර්සන් කියන විදිහට ජාතිකවාදයට හොබ්ස් කෙනෙක්, තොක්විල් කෙනෙක්, මාක්ස් කෙනෙක් නෑ. ඒක ඇත්ත. ජාතිකවාදය කියන එක සන්දර්භය එක්ක, සන්දර්භයට සාපේක්ෂව තේරුම් ගන්න ඕන දෙයක්. ජාතිකවාදය මහා නරක දෙයක් ලෙස දකින සමහරුන්ට මේ සරල කාරණය තේරෙන්නේ නෑ. හිට්ලර්ගේ ජාතිකවාදය නෙමෙයි බොලිවර්ගේ ජාතිකවාදය. ලංකාවේ අපිට අවශ්‍ය ජාතිකවාදය ඒ හැම එකටම වඩා වෙනස්. ඒ ගැන කිසියම් සංවාදයක් කෘතිය තුළ තිබෙනවා. එතෙන්දි කතුවරයාගේ මතවාදවල බලපෑමෙන් කෘතිය නිදහස් කරන්න කොහොමවත් බෑ. ඒ වගේම අත්තනෝමතික ලෙස ලෙස කෘතිය කතුවර ආධිපත්‍යයට නතු කරන එකත් ගැටලුවක්. ලියද්දි අපිට මේ දේවල් සමබර කරගැනීමේ අභියෝගයට මුහුණ දෙන්න සිද්ධ වෙනවා.

සංවාදය – ධම්මිකා සුරංජි පතිරණ

2017 ජූලි 12 දිනමිණ

LEAVE A REPLY