රෝයි ටර්නර් (1928- 2017): සම්භාවනීය සමාජ න්‍යායධරයෙකුගේ සමුගැනීම- දිමුතු සමන් වෙත්තසිංහ

0
56

1960/70 දශකවල හැරල්ඩ් ගාෆින්කල් (Harold Garfinkal) සමඟ මානවවංශ ක්‍රමවේදය (Ethnomethodology ) ප්‍රචලිත කිරීමේ ලා මැදිහත් වූ ප්‍රමුඛ සමාජ විද්‍යාඥයෙකු වූ රෝයි ටර්නර්(Roy Turner) 2017 අප්‍රියෙල් 15 දින කැනඩාවේ ටොරොන්ටෝ හි දී අභාවප්‍රාප්ත වී තිබේ. කැනඩාවේ බ්‍රිටිෂ් කොලොම්බියා විශ්ව විද්‍යාලයේ සම්මානිත මහාචාර්යවරයෙකු මෙන්ම යෝක් විශ්ව විද්‍යාලයේ අනුබද්ධ මහාචාර්යවරයෙකු වශයෙන් සේවය කල ඔහු මිය යන විට 88 වන වියේ පසු විය.

රෝයි ටර්නර් වඩාත් ප්‍රසිද්ධියට පත්වන්නේ ඔහුගේ සංස්කරණයෙන් පෙන්ගුවින් ප්‍රකාශනයක් ලෙස 1974 දී පලවූ සහ ඔහුගේ පලවූ එකම කෘතිය ද වන එත්නොමෙතඩොලොජි කෘතියත් සමඟය.

ජනයාගේ ක්‍රමය යන සරල අදහස ඇති එත්නොමෙතොඩොලොජි හෙවත් මානවවංශ ක්‍රමවේදය හෝ ජනවංශ ක්‍රමවේදය ජනයා තම එදිනෙදා ලෝකය ගොඩනඟා ගන්නා අකාරය ගවේෂනය කරයි. මෙම ක්‍රමයේ ආදිකර්තෘවරයා ලෙස පිළිගැනෙන්නේ ටැල්කොට් පාර්සන්ගේ ශිෂ්‍යයෙකු ද වන එහෙත් ඔහුට වඩා වෙනස් මඟක් ගත් ඇමරිකානු සමාජ විද්‍යාඥයෙකු වූ හැරල්ඩ් ගාෆින්කල්ය. රෝයි ගාෆින්කල් හඳුනාගැනෙන්නේ තම ගුරුවරයෙක් ද වන ද ප්‍රසන්ටේෂන් ඔෆ් සෙල්ෆ් ඉන් එව්‍රිඩේ ලයිෆ් (The Presentation of Self in everyday Life) කෘතියෙන් එදිනෙදා ජීවිතය පිළිබඳ සමාජ විද්‍යාව හඳුන්වා දුන් අර්වින් ගොෆ්මන් (Ervin Goffman) හරහාය.වරක් අර්වින් ගොෆ්මන්ගේ කවයේ සිටි ශිෂ්‍ය සගයෙක් වන හාවේ සැක්ස්ගේ දැන හැඳුනුම් කම් උඩ බර්ක්ලේ හි සමාජ විද්‍යා විද්‍යාර්ථීන්ගේ සමාජයක් ඇමතීමට පැමිණි හැරල්ඩ් ගාෆින්කල් හඳුනා ගැනීමට ලැබීම රෝයි ටර්නර් සිහිපත් කරයි.

බ්‍රිතාන්‍ය ජාතිකයෙකු වන රෝයි ටර්නර් උපත ලබන්නේ දකුණු ලන්ඩනයේ සසෙක්ස් හි ගමක කම්කරු පංතික පවුලකට දාව 1928 දීය.විද්‍යා විෂය ධාරාවෙන් උසස් පාසල් අධ්‍යාපනය ලබන අතරතුර විද්‍යාගාර සහායකයෙකු ලෙස රැකියාවේ නියැලුනත් රාජකීය ගුවන් හමුදාවේ අනිවාර්ය හමුදා සේවයට බැඳීමට සිදුවීමත්, අවුරුදු 2 ක පමණ හමුදා සේවයත් සමග ඔහුගේ විද්‍යා අධ්‍යාපන අපේක්ෂාව අවසානයකට පැමිණෙන්නේය. හමුදාවෙන් ඉවත් වීමෙන් පසුව ඔහුගේ උනන්දුව විද්‍යාවෙන් මානව ශාස්ත්‍ර වෙත යොමු වේ. ලන්ඩන් හි ගෝල්ඩ්ස්මිත් විද්‍යාලයට ඇතුළත් ව ලතින් පාඨමාලාවක් හැදැරීමෙන් අනතුරුව නෝත් වෙස්ටර්න් පොලිටෙක්නික් නම් බහු තාක්ෂණ ආයතනයේ ලියාපදිංචි වී ඉංග්‍රීසි, ලතින් සහ ඉතිහාසය හදාරන්නේය. මෙහිදී ඔහු සිහිපත් කරන්නේ එවකට ලන්ඩනයේ හෝ එංගලන්තයේ සමාජීය විද්‍යාවන් යැයි යමක් ප්‍රකටව නොපැවතුණ බවයි.

1952 වන විට ඔහුගේ බිරිඳගේ සහ පවුලේ අයගේ පෙරැත්ත මත ඇ.එ.ජ යේ චිකාගෝ වලට පැමිණියත් ඔහුගේ උසස් අධ්‍යාපනය සඳහා වැදගත් මඟක් එහිදී විවර වේ.චිකාගෝ විශ්ව විද්‍යාලය පෞද්ගලික විශ්ව විද්‍යාලයක් වු අතර උසස් පාසල් අධ්‍යාපනය සම්පූර්ණ නොකළ සුදුසුකම් ඇති සිසුන්ට තෝරාගැනීමේ පරීක්ෂණයක් මත ඇතුළත් වීමට හැකි විය.එය මූලික ශාස්ත්‍රවේදි උපාධියක් වත් නොතිබූ තමාට ප්‍රවේශවීමට උත්සාහ කල හැකි කදිම තැනක් වූ බව රොයි ටර්නර් පවා වරක් පැවසීය. ප්‍රථමයෙන් ඉංග්‍රීසි අධ්‍යයන අංශයට සම්බන්ධ වුවත් පසුව ඔහු සමාජීය විද්‍යාවන් කෙරේ නැඹුරු වේ. එවකට සමාජීය විද්‍යා අංශය ප්‍රමුඛ මෙන්ම සුවිශාල ක්ෂේත්‍රයක් වූ අතර දෙපාර්තමේන්තු සහ අන්තර් විෂය කමිටු ගණනාවක් පැවති බව රෝයි සඳහන් කරයි. මෙහිදී ඔහු “නාගරික හා ප්‍රාදේශීය සැලසුම්කරණය පිළිබඳ න්‍යාය හා පර්යේෂණ” පිළිබඳ අන්තර්විෂය කමිටුවට සම්බන්ධ වේ. රෝයි ට අනුව එවකට මෙම පාඨමාලා අතිශයින්ම න්‍යායික වූ අතර ඔහු තුළ වඩාත් බලපෑමක් ඇති කල පුද්ගලයා වූයේ හාවර්ඩ් හි උගත් දේශපාලන විද්‍යාඥයෙකු වූ එඩ්වර්ඩ් බැන්ෆීල්ඩ් (Edward Banfield) ය.ඔහු බුද්ධිමය ගතානුගතිකවාදියෙක් වූ අතර සැලසුම්කරණ විරෝධියෙක් විය. රෝයි ටර්නර් නාගරික සැලසුම්කරණය පිළිබඳ තම ශාස්ත්‍රපති උපාධිය ලබා ගන්නේ එඩ්වර්ඩ් බැන්ෆීල්ඩ් යටතේය.

රෝයි ටර්නර් බර්ක්ලේ හි කැලිෆෝනියා විශ්ව විද්‍යාලයට සම්බන්ධ වන්නේ අහඹු ලෙසය. ඒ ඔහුගේ මිතුරෙකුගේ ආරාධනාවක් උඩ බර්ක්ලේ ගිය විටක එම විශ්ව විද්‍යාලයට සම්බන්ධ වීමේ ඉඩකඩ ගැන සොයා බැලීමෙනි. සුප්‍රකට සමාජ විද්‍යාඥයෙක් මෙන්ම ජනවිකාශ විද්‍යාඥයෙක් (Demographer) ද වන කිංස්ලි ඩේවිස් (Kingsley Davis) ඔහුට හමුවන්නේ මෙහිදීය.ඩේවිස් එම විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා අංශයේ ප්‍රධානියා මෙන්ම පශ්චාත් උපාධි අධ්‍යයන පිළිබඳ උපදේශකයෙක් ද විය. එහි අධ්‍යයන කටයුතු වලට සම්බන්ධ වීමට මෙන්ම වෘත්තියක් සපයා ගැනීමට කිංග්ස්ලි ඩේවිස්ගේ උපකාරයෙන් හැකිවූ බව රෝයි ටර්නර් සිහිපත් කරයි. එනම් ඔහුගේ කෘතියක(India’s Urban Future: Selected Studies from an International Conference Edited by Roy Turner) සංස්කරණ කටයුතු බාර දීමයි.රෝයි මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේ සමාජ විද්‍යාව තමාට නුපුරුදු තත්වයක් තුළ හා එවකට ජනප්‍රිය වූ සමීක්ෂණ පර්යේෂණ ක්‍රමය(survey research) කෙරේ තමාගේ උනන්දුවක් නැති පසුබිමක අර්වින් ගොෆ්මන්ගේ වැඩමුළුවකට සහභාගී වීමෙන් ස්ථාවර ගමනක් ආරම්භ කළ හැකි යමක් දැන් හමුවූවා යන හැඟීම ඇතිවූ බවයි. ඔහුගේ වචන වලින්ම දක්වන්නේ නම් “ගොෆ්මන් හමුවේ මාගේ හිතට කාවැදුන ප්‍රථම දෙයනම් යමක් ඉදිරිපත් කිරීමේ ලා ඔහු සතුවූ විශ්මය ජනක රුචිරත්වයයි.”එවකට ඔහු ආභාෂය ලැබූ හාවේ සැක්ස් (Harvey Sacks), ඩේවිඩ් සඩ්නොව් (David Sudnow) සහ එම්මානුවෙල් ෂෙග්ලොෆ් ( Emanuel Schegloff ) යන අය ගොෆ්මන් ඇසුරේ වූ විද්‍යාර්ථීන් වූහ.රෝයි ටර්නර් තම ආචාර්ය උපාධි අධ්‍යයන ආරම්භ කරන්නේ අර්වින් ගොෆ්මන් යටතේය.ගොෆ්මන් ඔහුටම ආවේනික ගුණාංග සතුවු සුවිශේෂ මිනිසෙක් බව රෝයි පෙන්වා දේ. ආචාර්ය උපාධි වාචික පරීක්ෂණ වලට පැමිණෙන ගොෆ්මන් පරීක්ෂණය ආරම්භයේදී ශිෂ්‍යයාගෙන් පෑනක් හෝ පැන්සලක් ඉල්ලා ගන්නා අතර පරීක්ෂණය අවසානයේ සුභ පතමින් අනෙක් අය අතට අත දෙන විට ගොෆ්මන් අතට අත දෙන විලසින් ඉල්ලා ගත් පෑන ආපසු ලබා දෙන බව රෝයි පවසයි. ඔහු මෙය කරන්නේ අතට අත දීමට අකමැති නිසා හෝ සම්මතය බිඳීමක් ලෙස බව ඔහු පවසයි.රෝයි ටර්නර් ඉතාමත් කැමති වූ සහ ඔහුගේ අධ්‍යයනයේ ලා ආභාෂයක් බවට පත් වූයේ ගොෆ්මන්ගේ එසයිලම්ස් (Asylums) කෘතියයි. රෝයි අධ්‍යයනය කරන්නේ ද මානසික රෝගීන්ව සිටි පුද්ගලයන්ගේ සන්නිවේදන ගැටළු පිළිබඳවය(Talk and Troubles: Contact Problems of Former Mental Patients- UC Berkeley ).හැරල්ඩ් ගාෆින්කල්ගේ සමීපතමයෙක් වූ සහ මානවවංශ ක්‍රමවේදයේ අනුගාමිකයෙක් වූ අරන් සිකරල් (Aaron Cicourel ) බර්ක්ලේ වල සෙමෙස්තරයක ඉගැන්වීමට පැමිණි විට ඔහුගේ ඉගැන්නුම් සහායකයා බවට පත්වන්නේ රෝයි ටර්නර්ය.

එත්නොමෙතඩොලොජි සංස්කරණයේ එන “වර්ඩ්ස්, අටරන්සස් ඇන්ඩ් ඇක්ටිවිටීස් (Words, Utterances and Activities)යන ඔහුගේ රචනාව බ්‍රිතාන්‍ය භාෂා දාර්ශනිකයෙක් වන ජේ. එල්. ඔස්ටින් (J.L.Austin) ගේ ආභාෂය ප්‍රකට කරන අවස්ථාවකි.භාෂණය හා ක්‍රියා අතර සම්බන්ධය එහි සාකච්ඡා කරයි.ජේ.එල්. ඔස්ටින් රචනා ඔහුට හමුවන්නේ ගොෆ්මන්ගේ කියවීමේ ලැයිස්තුවකින් සහ චිකාගෝ විශ්ව විද්‍යාලයේ දර්ශන අංශයේ වී.සී. චැපල් (V.C.Chappell) ඇසුරේ වූ විට්ගන්ස්ටයින්ගේ “පිලෝසොපිකල් ඉන්වෙස්ටිගේෂන්”(Philosophical Investigation) කෘතිය පිළිබඳ කියවීමේ කවයක දී ය.

රෝයි ටර්නර් කැනඩාවේ බ්‍රිටිෂ් කොලොම්බියා විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා අංශයට සම්බන්ධ වන්නේ ගොෆ්මන්ගේ ද නිර්දේශ සහිතවය. ඒ එම දෙපාර්තමේන්තු ප්‍රධානයා බර්ක්ලේ පැමිණි අවස්ථාවක රෝයි හා සාකච්ඡා කිරීමෙනි.ඇලන් බ්ලම් සහ පීටර් මැක් හියු (Alan Blum and Peter McHugh) ඔහුගේ එත්නොමෙතඩොලොජි සංස්කරණයේ එන රචනා පිළිබඳ සම්භාෂකයන්ය. බ්‍රිටිෂ් කොලොම්බියා විශ්ව විද්‍යාලයේ ලිබරල් ශාස්ත්‍ර(Liberal Arts) පාඨමාලාවක දී සම්භාව්‍ය කෘති පිළිබඳ නැවත බාරදූර ලෙස එළඹීමට ඔහුට අවස්ථාව ලැබේ.ප්ලේටෝගේ ජනරජයෙන් පටන් ගෙන ඇරිස්ටෝටල්, හෝමර්, ග්‍රීක ඛේදාන්ත සහ ශේක්ස්පියර් එහිදී යළි කියවයි. ඔහුගේ “ෆ්‍රෙන්ඩ්ස් ඇන්ඩ් එනිමීස් ඔෆ් ද කැනන්”(Friends and Enemies of the Canon – Roy Turner) රචනාව සඳහා පසුබිම සකස්වන්නේ මෙහිදීය. මෙම රචනාවේදී රෝයි සම්භාව්‍ය සංස්කෘතියට සහ සම්ප්‍රදායට එරෙහි බොහෝ පශ්චාත් නූතනවාදී කියාපෑම් පිළිබඳ ගැටළුවට ප්‍රවේශ වේ.සම්භාව්‍ය කෘති පිළිබඳ ස්ථාවර දෙකක් රෝයි මෙහි දී සාකච්ඡා කරයි. එනම් සමකාලිකයා(the contemporary ) හා අවරසිකයාය (philistine).සමකාලිකයා සම්භාව්‍ය කෘති වලට එරෙහිව ඔහු අළුත් යැයි සිතන දේ වැළඳ ගන්නා අතර මීට වෙනස්ව අවරසිකයා උසස් කෘති වලට ඇලුම් කරමින් සමාජ තත්වයක් ගොඩ නගා ගැනීමට උත්සාහ කරයි.මේ දෙදෙනාම රෝයි ට අනුව තම සම්ප්‍රදාය (tradition) සමග පරිකල්පනීය ලෙස ගණුදෙනු කිරීමට අසමත්, එතුළින් යමක් ගොඩ නගා ගැනීමට නොහැකි දෙදෙනෙකි.

“රෝයි තවදුරටත් පැහැදිලි කරන පරිදි එහි කැනනය(සම්භාව්‍ය කෘති) යනු කෘතීන් හෝ පෙළ (Text) නොවේ. පෙළ අවබෝධ කර ගැනීම හා අර්ථවිවිරණය කිරීමයි. එය කැනනයක් කොට සංස්කෘතියේ ජීවිතය හා එය නොනැසී පැවැත්ම තුළ ඊට හිමි තැන නිශ්චය කරන්නේ එම අවබෝධය සහ අර්ථවිවරණයයි. මෙහිදී අප මුහුණ දෙන ගැටළුව, සමකාලීන ජීවිතය, කැනනමය කෘතීන් සමඟ ඇති වන ගැටීමේදී උපදින ගිනි පුපුරෙන් සමකාලීන ජීවිතයට ආලෝකය ලබාදීමටයි……..තමා ලඟ ඇති දෙයින් ඇද ගත හැකි හොඳම දේ නිශ්පාදනය කිරීමට ඇති බැඳීම පිළිබඳව වගාව කතා කරයි. අත ඇති දෙයින් හොඳම දේ නිපදවීම පෙරළා රඳා පවතින්නේ සම්ප්‍රදායට පාරිකල්පනිකව සැළකීමට අප තුළ ඇති කැමැත්ත සහ හැකියාව මතය. සැබවින්ම, අපේම සමාජමය සැකැස්ම හොඳින්ම අවබෝධ කරගත හැකිකේ, කැනනයත් සමඟ පාරිකල්පනිකව ජීවත් වන්නට මුතුන් මිත්තන් ගත් උත්සාහයේ ප්‍රථිඵලය වශයෙනි. වගාව (එනම් න්‍යාය ගැන්වීම) සඳහා ඇති නිදහස, කැනන් හැමවිටමත් විමසුමට සහ අළුත් කිරීමට විවෘතය යන්නට ඇති හොඳම සහතිකයකි.”

(මහගම සේකර, පාරිභෝජනවාදය හා සංස්කෘතිය- කුමුදු කුසුම් කුමාර)

අර්ථකතනවේදී (Hermeneutical) දාර්ශනික හාන්ස් ජෝර්ජ් ගැඩමර් (Hans-Georg Gadamer) ආභාෂයෙන් සමකාලීන සමාජීය ගැටළු වලට සම්ප්‍රදායෙන් සහ සම්භාව්‍යය කෘති වලින් ලැබිය හැකි ආලෝකය අර්ථ ගැන්වෙන සමාජ අර්ථකතනීය මානයයක් සහිත විචාර ක්‍රමයක් මෙහිලා ඔහු වර්ධනය කරන බව පෙනේ.

යුරෝපීය පෙරටුගාමී කලාවට අයත් ඝනිකවාදයට සම්බන්ධ යැයි සමහරුන් හඳුන්වන මාෂල් ඩූෂාම්ප් (Marcel Duchamp)1917 දී නිදහස් කලා කරුවන්ගේ සංගමයේ ප්‍රදර්ශනයට “Fountain” වශයෙන් නම් කර ඉදිරිපත් කරන ලද කැසිකිළි බඳුන කලාව හමුවේ මතු කරන ලද ප්‍රශ්න ගණනාවකි.ඕනෑම දෙයක් කලාව වන්නේ ද?, ඕනෑම කෙනෙකුට කලා කරුවෙකු විය හැකිද?, කලාකරුවා යනු හුදෙක් යමක් අත්සන් කරන්නෙක් පමණක් ද ?,එසේත් නැතහොත් කලාව යනු අපි මුත්‍රකරන යමක් ද? එය හුදෙක් මහා පරිමාණයෙන් කර්මාන්ත ශාලාවක නිෂ්පාදනය කරන්නක් ද? එමෙන්ම මාෂල් ඩූෂාම්ප් සමග කලා ලෝකය අනෙක් සියළු බුද්ධිමය ලෝකයාට පෙර පශ්චාත් නූතනවාදයට මග හෙළි කල බව මතයක් පවතී. මෙහිදී සුප්‍රසිද්ධ කලා දාර්ශනිකයෙක් වූ ආතර් ඩාන්ටෝ (Arthur Danto)ගේ අදහස වූයේ වැසිකිළි බඳුන කලාගාරයේ ප්‍රදර්ශනය කල පසු කලාව යළි නිර්වචනය කිරීමට අවශ්‍ය බවයි.ඔහුගේ ස්ථාවරය වූයේ කලාවේ සාමාජිකයන් කලාව යැයි නිර්වචනය කරන කවර හෝ දෙයක් වේවා එය කලාව බවයි.රෝයි ටර්නර් “ඩිඩ් ඩූෂාම්ප්ස් යූරිනල් ෆ්ල්ෂ් අවේ ආට්”(Did Duchamp’s Urinal Flush Away Art?) යන රචනාවෙන් ඩාන්ටෝගේ ස්ථාවරය විවේචනය කරයි.ඩුෂාම්ප් ට පසුව කලාව නිශ්චය කිරීමේ එකම නිශ්චායකය ‘නම් කරනු ලැබීම’ බවට පත් කරමින් විචාරකයන් ‘සම්ප්‍රදායික’ කලාවේ තරාතිරම ප්‍රශ්න කර තිබීම රෝයි ටර්නර් මෙහිදී අවඥාවට ලක් කරයි.

“සාම්ප්‍රදායික ව බැලූ කල් හි කලා කෘතියක් “අත්‍යන්ත වශයෙන් අර්ථකථනය කළ හැකි බවත්, එහි නියමාකාර පරිසමාප්තිය යනු එය විචාරය සඳහා ඉදිරිපත් කරන්නා වූ සාරවත් බවේ පරිසමාප්තියක් වීම බවත්” ස්පා’ශොට් අපට පවසයි (The Theory of the Arts, 1982). අර්ථකථනය හැමවිටම විවෘතය, මන්ද, ස්පා’ශොට්ගේ වචනවලින් කිවහොත් “සිතුවමක නිරීක්ෂණය කර සොයා ගත හැකි ඕනෑම දෙයක් වේ ද එය අදාළ ය….. සිත්තම්කරුවාට පවා ඔහුගේ සිතුවම තුළින් අනාවරණය විය හැකි දේ කල් තබා නිශ්චිත වශයෙන් නම් කළ නොහැක.” ස්පා’ශොට් මෙහි දී ඉස්මතු කරන්නේ කලාවේ සුවිශේෂීයත්වය පමණක් නොව, එනමුත් එහි ගම්‍යාර්ථය හරහා, කලාව අත්දැකීමේ සූවිශේෂීයත්වයක් ය. මෙහි දී කේන්ද්‍රීය වන්නේ, සංස්ථායිකවාදීන් ඉදිරිපත් කළ එම නොපැහිදිළි තැනැත්තා නොවේ – එනම්, සිය දෑස් පතිත වන ඕනෑම දෙයක් කලාව වශයෙන් නම් කිරීමට බලය ලත් එම ‘කලා ලෝකයේ සාමාජිකයා‘ නොවේ; එසේත් නැති නම්, සිය කෙළවරක් නැති දාර්ශනික ගැටලු කලා කෘතියෙන් බොහෝ ඈතට විහිදුවන දාර්ශනිකයා ද නොවේ; කේන්ද්‍රීය වන්නේ, විවිධ වූ දැනුම් හා විදග්ධ මට්ටම්වලින් කලාව වෙත එන, කලා ලෝකයේ හදවත වන්නා වූ, ලුව හා උෆීසි වෙත පැමිණෙන ප්‍රේක්ෂයන් ය. පශ්චාත් ඩුෂාම්පියානු කලාව උච්චතම ස්ථානයකට පත් වූ පසුව වුවත්, ‘සාම්ප්‍රදායික කලාව’ වශයෙන් කතාබහට ලක් වන්නේ බොහෝ මහජන කලාගාරවල දක්නට ලැබෙන දේ ය. කෙළින් ම කිවහොත්, මෙම ලෝකයට අවශ්‍ය වන චිත්‍ර ශිල්පීන්ට, මූර්ති ශිල්පීන්ට හා ඔවුන්ගේ කලා කෘති නරඹන්නන් හට කලාව පිළිබඳ දර්ශනවාදයකින් තොරව ඉතා හොඳින් පැවතිය හැක.”

(ඩුෂාම්ප්ගේ කැසිකිළි බඳුන කලාව සෝදා හැරියේ ද? – රෝයි ටර්නර්)

සම්භාව්‍ය සම්ප්‍රදායෙන් පෝෂිත රෝයි ගේ විචාරක්ෂිය නූතන ලෝකය තුළ කලා කෘතිය සහ කලාගාරයේ අදාළත්වය පිළිබඳ කරුණ බාරදුර ලෙස සළකා බැලූ අවස්ථාවක් ලෙස මෙම රචනාව සැළකිය හැක.

රෝයිගේ පසුකාලීන මැදිහත්වීම් සමාජ විචාරයක් දෙසට වූ ඔහුගේ නැඹුරුව විශද කරයි. හෛඩගර්,ගැඩමර් මෙන්ම ප්‍රධාන වශයෙන් හනා අරෙන්ඩ්ට් (Hannah Arendt) ගේ චින්තනයේ ආභාෂයෙන් පාරිභෝජනවාදය, අධ්‍යාපනය හා පුරවැසි ප්‍රජාව පිළිබඳ තියුණු අන්තර් දෘෂ්ටීන් සහිත පුළුල් විචාරයක් පසුකාලීනව ඔහු ගොඩ නගයි.ලිබරල් ශාස්ත්‍ර සහ අධ්‍යාපන විද්‍යාව(pedagogy) පිළිබඳ සාකච්ඡා කරමින් රෝයි පෙන්වා දෙන්නේ ලිබරල් ශාස්ත්‍ර අධ්‍යාපනය තුළ යමෙකුට හමුවන්නේ හුදෙක් පාරිභෝගිකයෙක් නොව කිසියම් ප්‍රජාවක වගකිව යුතු සාමාජිකයෙක් ලෙස අධ්‍යාපනය ලැබූ සහ එම ප්‍රජාවේ යහපත වෙනුවෙන් සිතා බලා කටයුතු කල හැකි පුද්ගලයෙකි.මෙහිදී අධ්‍යාපන විද්‍යාව ස්වයං ආණ්ඩුකරණ ප්‍රජාවක් වෙනුවෙන් විනිශ්චයන් පල කල හැකි නිදහස් පුරවැසියෙක් පුහුණු කරන බව ඔහු සඳහන් කරයි.ඇතන්ස් හි පෞර රාජ්‍යයේ අධ්‍යාපනය පැවතියේ ප්‍රජාවේ කටයුතුවලට සම්බන්ධ වන පුරවැසියන්ගේ විනිශ්චයන් දියුණු කිරීමටය. රෝයි පෙන්වා දෙන්නේ මෙම අදහස් සාකච්ඡාවට ගෙන ඒමේ වැදගත්කමය.

මෑත කාලයේ රෝයි ටර්නර්ගේ අන්තර් දෘෂ්ටිය විශද කර දක්වන පුළුල් සාකච්ඡාවක් අප හමුවේ තබන රචනාවක් වශයෙන් “මොඩර්නිටි ඇන්ඩ් කල්චරල් අයිඩෙන්ටිටි” (Modernity and Cultural Identity: Is there an Alternative to the ‘loose confederation’ of Shopping Malls? – Canadian Issues) ගත හැක.හුදු සාම්‍යත්වයම පෝෂණය කරන, අනාගතය ගොඩනැගීමේ ලා තාක්ෂනික බලය මතම විශ්වාස තබන පාරිභෝජන සමාජයක් ලෙස ගත් නුතනත්වය පිළිබඳ අදහස පිළිබඳ රෝයි තම නිර්දය විචාරය මෙහිදී පල කරයි. සාප්පු සංකීර්ණයන් වටා බැඳුණු මහජන ලෝකයක සංස්කෘතික අනන්‍යතාවයේ ඉරණම පිළිබඳ සාකච්ඡාව ඔහු අප හමුවේ තබයි.රෝයිට අනුව සාප්පු සංකීර්ණය පිළිබඳ අදහසම මහජන ලෝකය පිළිබඳ වටහා ගැනීමක් තුළින් පැන නගින්නකි.

” සාප්පු සංකීර්ණය විශිෂ්ට ලෙසින් මහජනමය වේ …මහජන ස්ථානයක් වශයෙන් සාප්පු සංකීර්ණය පිරිනමන්නේ සමාජශීලීත්වය හෝ සංවාදය නොව සමූහචාරීත්වයයි.එනම්, ජෝන් බ්‍රින්කර්හෝප් ජැක්සන් හොඳින් විස්තර කළ අංග ලක්ෂණය වන අනන්‍යතාවක අමුද්‍රව්‍ය සොයා තම පෞද්ගලික ගවේෂණයේ නිරත බොහෝ දෙනා එකවර පැමිණීමයි “ඉක්මනින් හෝ පසුව හෝ තමන්ගේ වෙන්වූ මාර්ගයන්ගේ ගමන් කරන විෂමජාතීය වූ මහජනතාවක් විසින් හවුලේ භුක්ති විඳිනු ලබන අවකාශීය අත්දැකීමක් ඉන් පිරිනැමේ.” තථ්‍ය ලෙසම දේශපාලන භූමිදර්ශනයක් ලෙසින් ගත් මහජන චතුරස්‍රයෙන් ජැක්සන් මෙය වෙසෙසි කොට දක්වයි, මෙහිදී, මහජන චතුරස්‍රය ට “පැමිණෙන්නවුන් තමන් සියල්ලන් ප්‍රජාවේ සාමාජිකයන්, වගකීම් සහිත පුරවැසියන් බව සහ කලින් කලට ඔවුන් මහජන සාකච්ඡා වලට සහභාගී වනු ඇති සහ ප්‍රජාව වෙනුවෙන් ක්‍රියාවට බසිනු ඇති බව දැනටමත් හොඳින් දන්නේය යන්න උපකල්පනය කෙරෙයි …….ජැක්සන් පවසා සිටින්නේ ශක්තිමත් ජාතියක් ඕනෑම තැනක තම මහජන අවකාශය නිර්මාණය කරගැනීමෙහි ලා සමත් බවය, මක් නිසාද, ශක්තිමත් ප්‍රජාව ට “මහජන” යන්නෙන් සඳහන් කෙරෙන්නේ, — කොහෙත්ම වෙතොත් — එක්රැස්වීම සහ එක්ව පෙනීසිටීමට වඩා, දේශපාලන ප්‍රජාවට එහි ජීවිතය ඇති පථය වශයෙන් හනා ආරන්ඩ්ට් අපගේ අවධානය යොමුකරන මෙම සංකල්පීය අවකාශය ය.”

(නූතනත්වය සහ සංස්කෘතික අනන්‍යතාව:”සාප්පු සංකීර්ණයන්ගේ ලිහිල් සන්ධානය” ට විකල්පයක් තිබේ ද ? – රෝයි ටර්නර්)

නූතනත්වය වැළඳ ගැනීම හෝ ප්‍රතික්ෂේප කිරීම වෙනුවට එයට ප්‍රතිරෝධය දැක්වීමෙන් ප්‍රයෝජනවත් යමක් (සංස්කෘතික අනන්‍යතාවය )ගොඩ නගා ගැනීමට රෝයි යෝජනා කරයි.ඒ සඳහා සම්ප්‍රදාය වෙත ආපසු හැරිය යුතුය. සම්ප්‍රදායට පාරිකල්පනික ලෙස සැළකීමට හැකි විය යුතුය. නූතනත්වය තුළ හිඟ දෙය මෙයය.

අවුරුදු ගණනාවක් තිස්සේ අනේකවිධ ශාස්ත්‍රීය ධාරාවන් ඔස්සේ ලෙළ දුන් රෝයි ටර්නර්ගේ බුද්ධිමය සප්තරංජනය යළි දිස්වන්නේ නැත.එහෙත්, නුතනත්වය තුළ සිතිවිලි සකස් කරගත් පෘතග්ජන අපගේ ලෝකය තුළ ඔහුගේ උරුමයේ සදාතන බව සැමදා දැනෙනු ඇත.

යොමු

රෝයි ටර්නර් – ඩුෂාම්ප්ගේ කැසිකිළි බඳුන කලාව සෝදා හැරියේ ද?

රෝයි ටර්නර් – නූතනත්වය සහ සංස්කෘතික අනන්‍යතාව:”සාප්පු සංකීර්ණයන්ගේ ලිහිල් සන්ධානය” ට විකල්පයක් තිබේ ද ?

කුමුදු කුසුම් කුමාර – මහගම සේකර, පාරිභෝජනවාදය හා සංස්කෘතිය
Roy Turner – Friends and Enemies of the Canon

Roy Turner –Ethics Made Easy: ‘Feel Good, Do The Right Thing’
Dmitri Shalin – Interview with Roy Turner about Erving Goffman

Kumudu Kusum Kumara – unpublished interview with Roy Turner (2015)

 

LEAVE A REPLY