සිනහවකට වඩා කඳුළුවලට ආස වෙන්නෙ ඇයි?

0
111

“සිනහවකට වඩා ඔබේ කදුළු වලට
මං ආසයි..
මා වෙනුවෙන් නැගෙන කදුළු නම්..
කදුළු වලට වඩා ඔබෙ සිනහවකට මං ආසයි..
මා වටකර නැගෙන සිනා නම්..

සඳ එළියට වඩා සඳේ සඳ අදුරට
මං ආසයි..
සඳ අදුරෙ නුබ හමුවෙ නම්..
සඳ අදුරට වඩා සඳේ සඳ එළියට
මං ආසයි..
සඳ එළියේ නුඹ හමුවේ නම්..

ජිවිතයම දුකක් වුණත්..
ජිව්තයට මං ආසයි..
නුඹ ඉන්නෙ මා වෙනුවෙන් නම්

  • ගායනය : නෙළු අධිකාරී

  • පද රචනය : පී. එච්. කේ. රත්නසිරි

  • සංගීතය : රෝහණ වීරසිංහ

“මම ප්‍රාර්ථනා කරන්නෙ ඔයාගෙ සතුට විතරයි. හැමදාම සතුටින් ඉන්න” පෙම්වතුන්ගෙන් බහුලව අසන්නට ලැබෙන වදනකි ඒ. සතුට එළිදැක්වෙන එක් ආකාරයකි සිනහව. එසේ නම් ප්‍රේමවන්තිය සිනහවකට වඩා ඔහුගේ කඳුලකට ආශා කරන්නේ මන්ද?  තම සුහදා තමන් වෙනුවෙන් කඳුලක් හෙලීම සුහදිය අපේක්ෂා කරයි. එය ඇයට වටිනාකමක් දීමක් හා සදිසිව සළකියි. ප්‍රේමයේ උත්කෘෂ්ටියේ ආත්මාර්ථකාමී හැඟීම හා මමත්වය මේ ගීතයෙන් මොනවට හැඟෙන බවයි මාගේ විශ්වාසය. ප්‍රේමයේ සැබෑව ද මෙයයි. සියල්ලම සුහදා හෝ සුහදිය සිදු කරන්නේ තමා වෙනුවෙන්ය යන්න හැඟීයාම කෙතරම් ප්‍රීතියක්ද?. එය ප්‍රගතිශිලි, පරාර්ථකාමී, මානව හිතකාමී හැඟීමක් නොවන බව අපි දනිමු. එසේ නම් ප්‍රේමය යනු ආත්මාර්ථකාමීත්වයේම එක්තරා මුහුනුවරක් නොවේද? බොහෝ පෙම්වතුන් කැමති තම පෙම්වතිය ලොවම මෘදු ආලෝකයෙන් සනහන සඳක් කිරීමට නොව තමාට ආලෝකය දෙන නිවසේ පහනක් වනු දැකීමටයි. එය ආසියාතික සමාජ සංස්කෘතියේ පිරිමියා වඩාත් අපේක්ෂා කරන දෙයක් බවට පත්ව ඇත.

ඔහු ඇය අසළ සිටියි නම් සිනහව, කඳුල, දුක, සතුට, එළිය අඳුර යන එකිනෙකට ප්‍රතිපක්ෂ ප්‍රවාහයන් පවා ඇගේ ජීවිතයේ වදන් කිහිපයක් පමණක් බවට පත් වෙයි. ඇය සඳ එළියට වඩා සඳ අඳුරට කැමති වෙයි. ඒ ඔහු ඇය ළඟ සිටියොත්ය. ඇය සඳ අඳුරට වඩා සඳ එළියට කැමති වෙයි. ඒ ඔහු ඇය අසල හිඳියි නම් පමණි. ස්වභාදහමේ වෙනස්කම් දැනෙන සවිඥානය පිළිබඳ ඇයට තැකීමක් නැත. “ මා වෙනුවෙන් ” .. එනම් ඇය ඒ සියල්ලටම කැමති වනුයේ තමන් වෙනුවෙන් නම් පමණි.

“ජිවිතයම දුකක් වුණත්..
ජිවිතයට මං ආසයි..
නුඹ ඉන්නෙ මා වෙනුවෙන් නම්”

ජීවිතයම දුකක් වුණත් ඒ දුක අමතක කිරීමට ඇයට හැකි වන්නේ ඔහු නමින් උපන් ප්‍රේමය නිසාය. එය තම ප්‍රේමය පුද කිරීමෙන් නොනවතියි. ඇයට අවශ්‍යව ඇත්තේ ඔහුගේ ක්‍රියාකාරකම් උපරිමය තමා වෙනුවෙන් සිදු කරන ක්‍රියා බවට පත්කිරීමටයි. ඒ අනුව ප්‍රේමය යනු පරම පිවිතුරු හැඟීමක් නොව ආත්මාර්ථයෙන් වැසී ගිය ජීවිතයේ එක් ආරම්මණයක් පමණක් බව හැඟෙයි.

ඔබත් මමත් ,

“කඳුළුවලට වඩා ඔබේ සිනහවකට මං ආසයි”

යනුවෙන් කිව යුතුය. එය තමන් නිසා නැඟෙන සිනහවක් වීම සතුටක් බව දනිතත් එසේ නොවන අවස්ථා ද ඔහුට තිබිය හැකිය. ඒ දෙස බලා ඇය සතුටු විය යුත්තේ කෙසේ හෝ ඔහු සිනාවක් නැඟීම නිසාය. එහෙත්, පරම පිවිතුරු ප්‍රේමයක් අභිමුව සිනහවකට වඩා ඔහුගේ හෝ ඇයගේ කඳුලක් තමා වෙනුවෙන් වුවත් අනුන් වෙනුවෙන් වුවත් බලාපොරොත්තු විය යුතු නොවේ. මන්ද මෙහි කඳුල යන්න සතුටු කඳුලක් නොව දුක ශෝකය නිසා හටගන්නා කඳුලක් වන බැවිනි.

තම ආදරවන්තයාගේ හෝ ආදරවන්තියගේ කඳුළුවලට වඩා සිනහවට ආසා කරන්නේ නම් ප්‍රේමයෙන් වියරු වී මිනීමරාගැනීම් වාර්තා වීමට ඉඩක් නොමැත. ඒ අනුව මේ ගීයේ සඳහන් මුල් පද දෙක තුළින් නැගෙන සිනහවකට වඩා කඳුළුවලට ආස වීම ප්‍රේමයේ ආත්මාර්ථකාමී උන්මත්තක ස්වභාවයක්ම බවත් පෙම්වතුන්ගේ සැබෑ හැඟුම් කැටියක් බවත් සළකමි. අවසන අපට බහුලව අත්දැකිය හැකි ප්‍රේමය නම් ආත්මාර්ථකාමි ආශාවක් පමණකි.

සටහන – තරුෂි නවංජනා ලියනාච්චි

 

LEAVE A REPLY