ඇඳුමද නුඹේ ජීවිතයද මහන්නේ..?

0
185

“රෑ වැඩ මුරය අවසන් වන කණිසමට
නුඹෙ මුව පෙනෙයි පරවුණු කුසුමක් ලෙසට
අරුණළු කැරලි වැටෙනා සඳ අළුයමට
නුඹේ ලොවට රෑ වෙයි පෙර කල පවට

තුන් තිස් පැයේ දෑඟිලි නිදි වරන්නේ
නින් එළියටයි පෙති ගෝමර දැවෙන්නේ
මල් විය නොවෙද මේ දියකර හරින්නේ
මැසිමද හිතද මහ හයියෙන් හඬන්නේ

නුඹෙ කඳුලැලිද සයුරේ රළ නඟන්නේ
හද සුසුමන්ද පවනක් වී හමන්නේ
තනි නොතනියට හෙවනැල්ලද සිටින්නේ
ඇඳුමද නුඹේ ජීවිතයද මහන්නේ..”

පද රචනය: බන්දුල නානායක්කාරවසම්

සංගීතය: රෝහණ වීරසිංහ

ගායනය: සුනිල් එදිරිසිංහ

ජීවිතය යනු රැකියාවක් නොවන අතර රැකියාවක් යනු මුදල් ද නොවේ. ඒත් බොහෝ දෙනෙක් ජීවිතය තම රැකියාව කරගෙන රැකියාව මුදල් කරගෙන ජීවිත කාලය පුරා මියැදෙමින් සිටිති. ඒ අතරිනුත් බොහෝ දෙනෙක් යට කී දෑ සිදුකරන්නේ කැමැත්තකින් නොවේ. නමුත් ඔවුනට එසේ කරන්නට සිදු වී ඇත. අහිංසක ජනතාවගේ ශ්‍රමය සූරා කමින් මඩිය තර කරගන්නා පෞද්ගලික ක්ෂේත්‍රයේ රැකියාවන් අතර ප්‍රමුඛ ස්ථානය රඳවා ගනිමින් තිබෙන ඇඟලුම් කම්හල් එදා සේම අදත් පවතියි.

විඩාව නිවනට රාත්‍රිය එළඹෙයි. එය නිසංසලය.එය සෞම්‍යයය. සඳ කිරණ හැලෙන තරු පිරි අහස සැනසීම උත්කෘෂ්ටියට නංවයි. නිවසේ දරු මා පියන් එකට එක්වෙයි. දරුවන්ගේ සිනා කිකිණි රැව්දෙයි. රාත්‍රිය යනු මිහිපිට සුරලොවකි. අන්ධකාරය නුවන් පියවා සිත ගත වෙහෙස නිවාලයි. රැහැයි හඬ නැළවිලි ගී ගයයි.

එවන් රාත්‍රියක මුදු මොළකැටි ළඳුන් යකඩ අඬු දඬු අතර සිරවෙයි. ඒ ඔවුන්ගේ රෑ වැඩ මුරයයි. නොනිදන රාත්‍රිය පුරා දහදිය කඳුළු වගුරුවා ලබා ගන්නා සොච්චම තනි දිවියක් රක්ෂණයට සීමා නොවෙයි.

රාත්‍රිය නිමා කිරීමට හිරු කන්ද කපා එබෙන අළුයමයි.  කුරුල්ලන්ගේ කිචිබිචිය පියවුණු දෙනෙත් ඇහැරවයි. දසත මල් පිබිදෙන හිමිදිරියේ ඇගේ වත කුසුම මැළවෙයි. ඇගේ විඩාව නිවාගන්නට එක් නිමේශයක් එළඹී ඇත. “නුඹේ ලොවට රෑ වෙයි පෙර කල පවට” සොබාදහම විඩා නිවාගැනීමට දුන් කාලය හමාර වී ඇත. නමුත් ඇයට ඒ කාලය උරුම නොවීය. එය සැබෑවටම ශෝකාන්තයකි. ගීතයේ සෘජුවම එය ,“පෙර කළ පවට, යනුවෙන් හඳුන්වා ඇත්තේ බොහෝ තරුණියන් තමන්ගේ ශෝකාන්තය තේරුම් ගැනීමට පවා නොහැකි යන්ත්‍රයන් බවට පත්ව ඇති නිසා විය හැකිය.

තරුණියන්ගේ මොළකැටි සුකොමල බව අතීතයේ වර්ණනා වූ සෑම තැනකම පෙති ගෝමර ගැන කියැවෙයි. එය ඔවුන්ගේ සුන්දරත්වයේ සළකුණකි. නමුත් අපගේ මාතෘකාවට බඳුන්වන තරුණියන්ගේ පෙති ගෝමර දැවී යන බව ගීතයේ සඳහන් වෙයි. ඒ කම්හලේ නොනිවා දැල්වෙන නියොන් ආලෝක පහනින්ය. එම ආලෝකය පෙති ගෝමර දවාලීමෙන් නතර නොවෙයි. දෑසට සහ සමට මෙන්ම මනසටද හිතකර නොවන ආලෝකයකි එය. ඔවුන්ගේ දෑඟිලි තුන් තිස් පැයේ නිදිවරන බව පැවසයි. මෙය කෙතරම් අපූරු පද සංකලනයක්ද? තුන් තිස් පැයේ ඔවුන් නිදි වරයි. ඔවුන්ගේ දෑස් නිදිවරයි. එහෙත් දෑඟිලි ? ඒ සුකොමල රතැඟිලි කිසි විටෙක නිවාඩුවක් සැනසිල්ලක් නොලබයි. එයයි ලංකාවේ ඇඟලුම් රැකියාවේ ස්වභාවය.

ජීවිතයේ හොඳම අවධිය වන තාරුණ්‍යය මැෂිමට දියකර හැරීමට ඔවුන්ට සිදු වී ඇත. දරුවන් හා මව්පියන් සමඟ සතුටු සාමීචියේ යෙදීමට, සුන්දර ස්ථානයක් නැරඹීමට යෑමට, චිත්‍රපටයක් හෝ ටෙලිනාට්‍යක් නැරඹීමට, විලාසිතා කිරීමට, සංගීත ප්‍රසංගයක් නැරඹීමට, උද්‍යාන අලංකරණ කටයුතු,යහළුවන් සමඟ විනෝදවීම්, ආගමික කටයුතු, විනෝදයෙන් විවේකයෙන් කාලය ගත කිරීම්, නව දැනුම සෙවීම් හා අත්දැකීම් ලබාගැනීම් ආදියෙන් යුත් සමනල යොවුන් වියේ විඳින සිහින මොවුන්ට බොහෝ ඈතිනි පවතින්නේ. ඔවන්ට එවන් දේ තහනම් වචන වී හමාරය. එතකුදු නොවී මෙවැනි අහිංසක තරුණියන්ගේ හැඟීම් යොදා ගනිමින් බොළඳ පොත පත ආදිය විකුණා ගැනීමට තැත් කරන වෙළෙන්දන් ද සිටීම අභාග්‍යයකි.

ගීත රචකයා ඔවුන්ගේ ශෝකාන්තය හොඳින් අවබොධ කරගෙන සිටියි. මන්ද ඇගේ කඳුලැලි සාගර දියට සම කිරීම තුළ ඔවුන්ගේ දුක කෙතරම්දැයි වැටහෙයි. ඇගේ සුසුමන් පවනක් තරම්ය. ඇගේ පිහිටට කියා කිසිවෙක් නොමැත. කම්හල ඇගේ ශ්‍රමය සූරා ගනියි. ඇගේ සිහින, බලාපොරොත්තු ගැන සිතීමට පවා කිසිවෙකු නොසිටියි. “තනි නොතනියට සෙවණැල්ලද සිටින්නෙ..” යනුවෙන් චිත්තරූප මවන පද සංයෝජනයකින් ගීතය පැබැඳී ඇත. මෙහි අවසාන පදය සියල්ල කැටි කොට කියන හද කම්පා කරවන කතාවයි. ගී පද රචකයාගේ උත්කෘෂ්ට පද සංයෝජනයේ කූටප්‍රාප්තිය අවසන් පද පෙළයි.

“ ඇඳුම ද නුඹේ ජීවිතයද මහන්නේ..”

ඔවුන් මහන්නේ තමන්ගේ ජීවිතයයි. කැටයම්, පාට, බතික්, මෝස්තර නොමැති ජීවිතයයි. ඝෝෂාත්මක මැෂින් ශබ්දය තරුණියන්ගේ හද අභ්‍යන්තයේ සැඟවෙන විලාපයට සමකිරීම තුළ සහෘදයාගේ හද ද ඈ නමින් හැඬවෙයි. මහ හයියෙන් හඬන්නේ ඇගේ හිතයි. නමුත් සියල්ලන්ටම ඇසෙන්නෙ මැෂිමේ හඬ පමණකි.

සුනිල් එදිරිසිංහයන්ගේ භාවපූර්ණ හඬ පෞර්ෂයෙන්ද, බන්දුල නානායක්කාරවසම්ගේ අපූර්ව පබැඳුමෙන්ද , රෝහණ වීරසිංහයන්ගේ සංගීත සංයෝජනයෙන්ද නිර්මාණකරනය වූ මෙම ගීතය ඇඟලුම් කම්හල් මතු නොව ශ්‍රම සූරා කෑම් සිදුවන බොහෝ කර්මාන්තයන්ගේ යකඩ සපත්තුවට පෑගෙන සුවහසක් තරුණ තරුණියන්ගේ ඉරණම සානුකම්පිත දෘෂ්ටිකෝණයෙන් ලොවට හඬ ගා කියන රැඩිකල් ගීයක් ලෙසයි මා හඳුන්වන්නේ..

ගීතය මෙතනින්

සටහන – තරුෂි නවංජනා ලියනාච්චි

LEAVE A REPLY