අහිමි උන ආදරය ක් හමුවෙ කෝච්චියට බෙල්ල නොතියා ජිවත්ව ඉන්නෙ කොහොමද?? – චාන්‍යා හේරත්

0
133

බොහොමයක් තරුණ තරුණියන් විඳින්නට තිබෙන ජිවිතය විඳවන්නෙ ආදරය නිසාය… ඔවුන්ට මුළු ජිවිතයම ආදරයයි.. ඉන් එහා කිසිඳු අරමුණක් හෝ ආදරය හැරුන විට වෙනත් වැදගත් යමක් මුළු ජිවිතය පුරාවටම නොදකිති…

ආදරය ජිවිතය කරගත් බොහො උන්ගෙන් බාගෙට බාගයක් නිවී සැනසිල්ලෙ පසු තැවෙති… හැමෝගෙම ආදර කතා වල යම් යම් පොදු ලක්ශණ ඇත.. මින් පෙර ලෝකයෙ ජිවත් වු සහ ජිවත් වෙන අනික් උන්ටත් ,උන්ට සිදුවු දෑම බොහො වාර ගණනක් ඒ විදියටම සිදු වී ඇති බව පිළි ගැනීමට ඔවුන් මැලි වෙති… බහුතරයක් සිතන්නෙ ලෝකයේ උත්කෘශ්ටම ආදරය කර තිබෙන්නෙ තමන් බවය… ලොවේ කිසිවෙක් ඔවුන් තරම් තම පෙම්වතියට පෙම්වතාට ආදරය කර නැත. ඔය කියන ආදරය මහ මෙරක් තරම් කලත් එය අහිමි වු තප්පරයේ පටන් ඔය හැම එකාම හිතන්නෙ ලෝකයෙ තිබෙන ලොකුම බූට් එක විකමින් ඉන්නෙ තමන් බවය…

නමුත් මෙලොව කිසිවක් ම අලුතින් සිදු නොවෙයි.., හැමදේම සිදු වන්නෙ නැවත නැවතයි… ආදරය හා විරහවත් එසේම නම් ඔබේම මානසික පීඩනය දරාගෙන ජිවිතය ජිවත් කල උන්ගෙත් ,ඒ හා සමානම මානසික පීඩනයකදී චිත්ත වේග දරා ගත නොහැකිව තමුන්ගෙම ජිවිතය මරා දැමීමට සිතන ඔබේත් ,පැහැදිලි වෙනසක් තිබෙනවා නේද?

වෙනස මේකය.. ඔබට පරාජයන් හමුවෙ අහිමි වීම් හමුවෙ පලා නොයා ඉන්නට කවුරුත්ම සහයක් වී නැත.., වචනයකින් හෝ ඔබට ජිවිත ආසාවක් ඇති කරන එක වදනක් දොඩන්නට කිසිවෙක් ලඟ පාතක ඉඳ නැත.. ඔබ වටේට සීයක් දෙනා උන්නත් ඔබ බොහොම හුදකලා වී ඇත.. ප්‍රශ්නය ඇත්තෙ එතනයි…

වේදනාව ,විරහව ප්‍රෙටල් වලට සමාන කලොත් හුදකලාව ගිනිකූරකි… හුදකලාවෙ ගිනිකූරෙන් ඔබව ගිනි තබයි… ඒ ගින්නෙන් ඔබට ඉතුරු වන කිසිවක් නැත.. සරලවම තේරුම් ගන්න විරහව විඳින ඔබට හුදකලාව අගුණය…

🔴විරහවට මුහුණ දෙන පලවෙනි තප්පරයෙ පටන් ඔබ සමාජශීලි විය යුතුය.. වෙනදාට වඩා දහස් ගුණයකින් දොඩමළු විය යුතුය.. කොටින්ම ඔබව අසා සිටීමට එකෙක් හෝ කීප දෙනෙක් ඔබ විසින් තෝරගත යුතුය.. සොයගත යුතුය…

නමුත් ඒ සවන් දීමට තෝරාගන්නා පුද්ගලයාට ඔබට වඩා ජිවිත අත්දැකිම් හා ජිවිතයේ කොලීටීස් තිබෙන අයෙක් විය යුතුමය.ඔබව අසන්නට තෝරා ගන්නා පුද්ගලයා අසාර්ථක දිවියක් ගෙවන ජිවිතය අසමත් තවත් එක පීඩීතයෙක් වන තරමට ඔබේ විරහව අඩුවක් නොවේ තව තවත් වන්නෙ ඒ විරහවට ඒ පුද්ගලයා පොහොර දමා සරුසාර ගසක් කීරීමය. ඔබේ පීඩීත මානසිකත්වය එක වචනයකින් බිමටම පාගා දමා ඔබේ ඔලුව කන්ට නෙගටිව් අදහස් වලින් පුරවන්ට අහන් ඉන්න එකා ට පුලුවන… ඉතින් ඔබේ දුක් ගන්නාරාල තෝරා ගැනීමේදි සීයට දාහක් පරිස්සම් විය යුතුය..

අපේ ජිවිත වල සමහරුන් සිටිති.. ඔවුන්ට දුකක් පීඩාවක් උන කලෙක වරු ගණන් අපේ කාලය සොරාගෙන උන් අප හා දොඩමලු වෙති.. දුක කියති.. අඩති වැළපෙති. නමුත් එවන්ම දුකකට චිත්ත පීඩාවකට අප පත් වු කලෙක අපට ඔවුන්ව අවශ්‍ය ම වෙලාවෙ ඔවුන්ගෙ කාලය අපට සවන් දීමට තරම් පරිත්‍යාගශීලි නොවෙති.. අපව මඟ හරිති.. දුරකථන බිල් ගෙවාගෙන අප උන්ගෙ හිත් හදා ඇතිමුත් අපේ කඳුලු පිසින්නට ඔවුන් ඉදිරිපත් නොවිය හැක..

සමාජයෙ හැටි එහෙමය.. කාලය රන් හා සමානය.. හැමෝම අප මෙන් කාලය දන් දෙන වෙස්සන්තරලා නොවෙති.. ඉතින් ඔවුන් පසු පස ගොස් කල කිරවා නොගෙන ඔබව කරදරයක් නොවෙන අයෙක් වෙත යොමු විය යුතුය… මේ කෙනා ඔබේ යහලුවෙක්ම විය යුතු නැත.. ඒ ඔබෙ සහෝදරයා සහෝදරිය වන්නෙ නම් වඩාත් හොදය… ඔබේ මව පියා නම් තවත් හොදය… ඔබ රහසෙ කල ආදරයක් අහිමි වීමක් නම් අනිවාර්‍යෙන් එය අම්මා හෝ තාත්තා හෝ සමඟ. කිව නොහැක.. නමුත් ඔවුන් සමඟ එය නොකියා වෙනදාට වඩා හිතවත් ලීලාවෙන් රටේ තොටේ ඕපා දූප හෝ වෙනත් යමක් අරභයා හෝ ඔවුන් සමඟ වැඩි වැඩියෙන් ඔබ කතා කල යුතුය…

අදාල කාරනය ඔබේ නැති උන ආදරය වීම අවශ්‍ය නැත.. වඩාත් හොදත් වෙනත් දෑ ගැන ඔබේ අවධානය යොමු වීමය..

ඇතැම් විට ඔබේ ගෙදර අයට ඔබ සමඟ කතා කිරිමට බැරි තරම් කාර්‍යබහුල බව ඔබ සිතනවා විය හැක.. හැම විටෙකම සත්‍ය එය නොවේ… මාද වරක් ආදරය අහිමිවීමේ වේදනාව වින්දෙමි… නමුත් දුක බෙදා ගන්නට හරි හමන් යාලුවෙක් නොවිනි… මුලින්ම මන් මගෙ කන් දෙකට ඇසෙන්ට තනිවම කතා කලෙමි… ඇත්තෙන්ම එය වඩාත් හොද ක්‍රමයකි.. ඔබේ වේදනාව ඔබේ කන් වලටම අසන්නට දෙන්න.. නමුත් අනික් අයට විකාරයක් ලෙස නොපෙනෙන්නට එය කල යුතුය… ඔබම කතා කරන්න තනිවම කතා කරන්න..ඔබේ කන් වලට ඇහෙන්න ඔබේම දුක කියන්න.. තර්ක කරන්න ඔබේ කන් පුපුරන්න තර්ක කරන්න.. නමුත් යම් සීමාවකදී තනියෙන් කතා කිරීමට ඔබ ඇබ්බැහි විය හැක… ඒ අවස්තාව දක්වා නොයා වහාම ඊ ගාව පියවරට යන්න..

ගෙදර ඉන්න බල්ලා පූසා සමඟ ඔබේ දුක කියන්න.. ඇතැම් විට මෙය විකාර රූපි විය හැක.. නමුත් හොදම මනෝවිද්‍යාත්මක ක්‍රමයකි… ජිවිතයේ හුදකලා වු බොහො තැන් වලදි මම නිවසෙ උන් බල්ලන් තුන් දෙනා වටකරගෙන අඬ අඬා දුක කියා ඇත්තෙමි… ඔවුන්ට මා තේරෙන්නෙ හෝ නොතෙරෙන්නෙ දැයි මා නොදන්නා මුත් ඔවුන් මා දෙස සාවධානව බලා සිටි.. මට ඇහුම්කන් දෙන බව පෙන්වයි… වඩාත් වැදගත් ඒකය.. ඔබව අසන්නාට ඔබව තේරුම් ගත නොහැකි වුවත් ඔබට අවශ්‍ය වන්නෙ ඔහුගෙ සාවධාන ඇහුම්කන් දීමයි.., ඇහෙන් කඳුලක් වැටෙන විට දිවෙන් ලෙව කා කඳුලු පිසින තරමට ලෙන්ගතු වීමට බල්ලෙකුට උනත් පුලුවන.. මා එය අත් විඳ ඇත්තෙමි.. මිනිසුන්ට වඩා සතුන්ගෙ හැඟිම් අව්‍යාජ හා අවංකය…

මුලින්ම මා සිතා උන්නෙත් කතා කරන්ට වෙලාවක් නැති තරම් මගෙ පියා කාර්‍ය බහුල බවයි.. ඒ නිසාම මම ඔහු සමඟ සමීප කතාවන්ට නොගොස් හැඟීම් අතින් හිතාමතාම දුරස් උනි.. නමුත් මා බරපතල ලෙස මානසිකව හුදකලා වු එක් අවස්ථාවෙක දෙකක මා තාත්තා සමඟ වෙනදාට වඩා රට තොටේ යම් කරුණක් ගැන සමාජීය ප්‍රශ්නයක් ගැන කතාවට වැටුනෙමි… ඔහොම දින කීපයක් සංවාදශීලි වු පසු මට පෙනී ගියේ තාත්තාත් මා මෙන්ම මානසිකව හුදකලා වී සිට ඇති බවකි.. ඔහුටත් මට මෙන්ම තම දරුවන් සමඟ සමීපව දොඩමලු වීමේ උවමනාවක් තිබී ඇත.. නමුත් ඔහු අපට කරදරයක් විය නොහැකි නිසාවෙන් හෝ අපට ඔහුට දෙන්ට කාලයක් නැතුව ඇතිය සිතා නිශශබ්දතාවය ප්‍රිය කර ඇත… ඇත්තෙන්ම ඔහු කතාවෙහි රුසියෙකි.. තාත්තා කියන පරණ රසකතා අතීත සිදුවීම් මට මගෙ මානසික පීඩාවන් අමතක කලේය.. ඉදිකට්ටෙන් පටන් ගෙන ඔබාමා හා ඇමරිකාව දක්වා ගොස් අල්ලපු ගෙදර කොල්ලාගෙ බාටා දෙක දක්වාම ඕපදූප අපි කතා කලෙමු.මා මෙසේ වෙනදාට වඩා සංවාදශීලි වෙන්ට හේතුව මා ඔහුට නොකීවත් ඔහු ඉවෙන් මෙන් එය තේරුම් ගෙන මට ගැලපෙන කතාම මා දහිරියමත් වෙන කතාම වැඩි වැඩීයෙන් කීවේය.. ඇත්තෙන්ම අප ගැන දෙමාපියන්ට තිබෙන ඉව පුදුමාකාරය.. ඔවුන් අපව තේරුම් ගනිති.. ඔබ විටෙක අත් හදා බලන්න??

ඉකි ගසා හොටු පෙර පෙරා අඩපු කඳුලු එක්ක විතරක්ම ගණුදෙනු කල අමිහිරි අතීතයක් මටත් තිබිනි… බඩට කන්නට හිතුනෙ නැති තරම් ය.. කෑම රුචිය මා කෙරෙන් පලා ගියේ විරහවට පුරුදු වු දා ඉදන් ය.. වේල් හත අට එක දිගට හාමත් වෙන තුරු නොකා මගෙන් ම පලි ගත්තෙමි… දවස් දෙක තුනකටවත් කාමරෙයෙන් එලියට නොබැස්සෙමි… මූහුණක් කටක් සේදුවෙ නැත.. කවුරුන් හෝ බලෙන්ම නාන කාමරයට තල්ලු කරන තෙක් දවස් ගණන් එකම ඇඳුම ඇදන් උඩ බිම බලාගෙන කඳුලු හල හලා කල්පනා කලෙමි… ඇඳුම් මාරු කරනවා තබා දින ගනනනික් බාත් රූම් යන්නටවත් මතක් උන් නැතිය. හැමෝමව නොරිස්සුවේය.. මා සමඟ කතා කරන්ට එන උන්ගෙ කණට දෙකක් ගසා එලියට ඇද දමන්ට සිත් විය… මගෙ හුදකලාවෙ නිහඬ බව එකෙක් හෝ බිඳින්ට තැත් කලොත් මට යක්ශාවේශ විය… ආදරයේ විරහව ඒ ආකාරය ය… ඒ විරහව කාටත් පොදුය..

අත්තනායක එම් . හේරත් ගුරුතුමානන් වරක් මෙහෙම කතාවක් කීවේය.. එතුමාටත් ඒ කාලයේ පටන් යමෙකු සමඟ අමනාප උනොත් අහාර වර්ජනය කිරීමේ පුරුද්දක් තිබුනෙලු.. රාත්‍රී ආහාරය නොගෙනම ගෙදර උන්‍ටත් පාට් එක දමා නිදා ගන්නෙලු.. නමුත් ගෙදර උන් අනික් සහෝදරයින් ඔහු තරහෙන් සිටින තරමට කැමතිලු.., කුමක් නිසාද යත් එතුමා නොකන නිසා ඉතුරු වන්නෙ එක රොටියද, ඒ රොටිය ඔවුන් අතර සමසේ බෙදෙන නිසාලු ඒ සතුටට හේතුව.. කලක් ගිය පසු එතුමාට මේ වැඩේ තේරුනේලු.. මගෙ රොටිය හෝ මා වෙන උන්ට කවන්නෙ අහවල් කාරියකටදැයි සිතු එතුමො එදා පටන් තරහ ගිය සෑම විටෙම අනුන්ගෙ පංගුවත් උදුරාගෙන කන්ට පුරුදු උනේලු… ඇත්තටම අර හිතුවක්කාරකමට වඩා මේ හිතුවක්කාරකම එක අතකින් හොදය.. අපට දැන් එහෙම කෑමෙන් බීමෙන් එතුමලාට තරන් අහේනියක් නැති නිසාම මේ අයුරින් අපි කෑමට ගෑස් පෙන්වමු.. නමුත් ඔය අපතේ හරින එක බත් ඇටයක් හෝ හම්බ කරන්ට අපේ රත්තරන් දෙමාපියන් හෙලන දඩියෙහි වටිනාකමක් අපට නැතිද? අපිට වටින්නෙ අප වෙනුවෙන් එක කදුලක් නොහැලු උන් නිසා ඇති වන තරහවද???

🔴මා ඔබට මුලින්ම කීවෙ විරහව ඉදිරියේ ඔබ දොඩමළු විය යුතුය.. ඔබ ඊ ලගට විරහව ඉදිරියේ අතිශයම කාර්‍ය බහුල විය යූතුය…

ඔබ හුස්ම ගන්නට පවා අමතක වන මට්ටමට කිසියම්ම හෝ වැඩක යෙදිය යුතුය..ඔබේ සිහිය දහවල් කාලය තුල අසීමිත ලෙස වැඩට කැප කිරීම විරහවට සාර්ථක බෙහෙතකි.. ඇතැම් විට ඔබ රැකියාවක් නොකර නිවසට වී අලසව ගත කරන්නෙකු විය හැක.. එහෙනන් මේ වේදනාව මාරන්තිකය.. පිරිමින්ට නම් රස්තියාදුවට වැටී රවුමක් දෙකක් ගසා දවල් දවසත් ශේප් කර ගත හැක.. ඔබ කෙල්ලක් නම් ඔබ ගෙදර කොණක ඉදන් අස් පස් කරන්ට පටන් ගන්න.. අස් කරන්ට දෙයක් නැත්තම් ගෙදරම තිබෙන කිලිටු රෙදි ටික එකතු කරගෙන හෝදන්න වනන්න..එහෙමවත් වැඩක් ඔබට නැත්‍තම් ඔබේ මුලු ඇඳුම් අල්මාරියම බිමට හලාගන්න.. හලාගෙන කොනක ඉදන් සේරම ඇඳුම් පිලිවෙලකට නවා අඩුක් කරන්න.. මේ වැඩේට ඔබට පැයක් දෙකක් ගත වේ.. අල්මාරියම පිලිවෙලක් කර ගෙන බලන්න ඔබේ හිතත් ඒ කාලය තුල පිලිවෙලකට අඩුක් වී තිබේ.. කොටින්ම මේක ගෑණු ලමයින්ට කල හැකි හොදම භාවනාවයි.. මානසික එකාග්‍රතාවය රදවා ගත හැකි වැඩක් ඔබට නැත්තම් එහෙම වැඩක් ඔබම කෘතිමව නිර්මාණය කරන් ඒ වැඩෙහි ඔබ යෙදෙන්න..

ඔබේ රූප ස්වභාවය ගැන මේ දිනවල වැඩියෙන් උනන්දු වෙන්න.. ඕනාවට වඩා ඇඩීමෙන් ඇස් අවපැහැ ගැන්වී විරූපි වන බව නිතර නිතර සිහියට ගන්න ..

ඔබ දවල් දවස කොයි ආකාරෙයෙන් හෝ ගෙවා දැම්මත් ඇත්තටම විරහවෙ උච්චතම අවස්ථාව රාත්‍රියයි… ඇත්තටම රාත්‍රියේ අදුරත් සමඟ ඒ දරාගත නොහැකි නිහැඬි හුදකලාවත් එක්ක ඔබට සටන් වැදිය නොහැකි තරම් ය.. ඔබට තිබෙන ලොකුම ප්‍රශ්ණය රාත්‍රියට නින්ද නොයෑම නේද? පැයක් දෙකක් අමාරුවෙන් නිදා ගත්‍තත් ඒ අඩ නින්දෙන් ඔබ ඇහැරෙන්නෙ බියපත් අමිහිරි සිහින ඔලුවෙ හොල්මන් කරන නිසාය…

විරහවට හොඳම බෙහෙත මනස නිදි ගැන්වීමයි.. නින්ද ඔබ ලබා ගත යුත්තෙ කෙසේද??

බොහොමයක් දෙනා විරහව විදින සමයට විරහා ගීත වැඩි වැඩියෙන් අසා තව තවත් විරහවෙහි ගිලෙති කිමිදෙති.. මාද මුලින් ඒ වරදම කලේය.. ඔබ සිටින්නෙ ආදරයෙන් පැරදී නම් විරහා ගීත අසන එක අවුරුදු දෙක තුනකටවත් අත් හිටු විය යුතුය.. එය ඔබේ මනසට ඉතාම අහිතකරය..

මා සාමාන්‍යයෙන් ප්‍රිය කරන්නෙම 70-90 අතර පරණ විරහ ගීත වලටමය.. නමුත් මම වහාම ඒ ආශාව පාලනය කරගෙන මගෙ අවධානය ඝෝශාකාරී රොක් සංගීතයට රෙගෙ හා රැප් සංගීතයට ලබා දුනිමි.. ඔබට සිතන්නටවත් පුලුවන්ද මා ලෝකයෙ තිබෙන විවිධ රැප් ගීත හොය හොයා ඇසූ බව… හුදකලා නිහඬ සන්සුන් සංගීතය විරහවට ඇලජික් ය.. ඔබ මේ කාලය තුල ඇසිය යුත්තෙ කෙස් වැටිය මුදාගෙන පිස්සුවෙන් මෙන් දැඟලිය හැකි පිස්සුම පිස්සු ශබ්දකාරී සංගීතයකි… ඔබ නර්තනය දැන සිටිය යුතු නැත.. දහඩිය පෙරෙන තෙක් ඔබටම එපා වෙනතෙක් පිස්සුවෙන් මෙන් දැඟලීමෙන් හිතේ තිබෙන මානසික පීඩනයෙන් 75% ක් ඔබට මුදා හැරිය හැක.. මා මේ සියල්ල කියන්නෙ මගෙ අත් දැකීමෙනි..

අනිත් වැදගත්ම දේ ඔබ රාත්‍රියට මේ කාලයේ ෆිල්ම් බලන්නට හුරු වීම හොඳය.. නමුත් ඔබ ලව් ස්ටෝරියක් ගෑවිලාවත් තිබෙන හොටු හූර හූර අඬන ෆිල්ම් නම් කිසි විටෙකවත් නොබලන්න.. ක්‍රියාදාම හා ත්‍රිලර් ෆිල්ම් , හොරර් හෙවත් ත්‍රාජජනක අද්භූත කතාම හොය හොයා බලන්න.. හොද ටී . වී සිරීස් දෙක තුනක් හොයාගෙන රැය පහන් කරන්න.. මා නන් කලේ cN එකේ කාටුන් ටික සේරම බැලීමය.. අඩුම ගානේ මා කාටුන් 50 ක්වත් එකරාත්‍රියකට බැලුවෙමි.. අවසන මා බොහොම විඩාපත් වී ඇත… මට නිකම්ම හොඳ නින්දක් ලැබෙයි… සමාජ ජාල භාවිතයට හුරු වීමත් නරක නැත.. මා පවා 2008 පටන් ෆේස් බුක් උන්නත් වඩාත් ක්‍රියාකාරි ලෙස හැසිරුනෙ ඉන් පසුකාලීනවය..

පොත් කියවීමත් සාර්ථක ක්‍රමයක් නමුදු මෙවන් අවස්තාවක මනස එකතැනක තබාගෙන පොතක් කියවීම මදක් අපහසුය..විරහවෙන් අත් මිදීමට කලහාකාරි වින්දනාත්මක ක්‍රම වඩාත් වටින බව මම සොයා ගතිමි..

ඇත්තෙන්ම නිවස පවා නිහැඬියාවෙ ගිලී තිබෙන විට ඒ මූසල නිහඬකම නිසා ඔලුව පුපුරන්නට විය.. නිවස පවා මා විසින් ඝෝශාකාරි තැනක් කරගෙන ඒ ඝෝශාව තුල වේදනාව සඟවා දැමුවෙමි..

ඔබට මෙහි අමාරුම කාරිය හොද නින්දක් ලබා ගැනීමයි.. ප්‍රතිඵල එකවර ලබා ගත නොහැකි උනත් ක්‍රම ක්‍රමයෙන් නින්ද වැඩිපුර ලබා ගත යුතුය..

අනික් කාරණය ආගමික විශ්වාස හා ඇදහීම් කුමක් උවත් පන්සලකට පල්ලියකට යෑමෙන් උවත් ඔබේ මනසට සැහැල්ලුවක් දැනේ නම් එය කරන්න.. දවසේ වැඩි කාලයක් මිතුරු ඇසුරේම ඉන්න.. වැඩි වැඩියෙන් විනෝද චාරිකා හෝ ගමන් බිමන් වල යෙදෙන්න.. ඔබ ට අතීතය සිහිපත් වන කිසිම ස්ථානයකට ඔබ නොයෑමට පරිස්සම් වන්න..

තවත් එක් ක්‍රමයක් ආදරයේ විරහව ඔබට අමතක කරවනු ඇත..කාමයට මදක් සිතක් නැබුරු කිරිමත් මේකට ඉතා සාර්ථක ක්‍රමයකි.. ඇත්තෙන්ම ඒක මානසික ප්‍රයෝගයකි.. රාගයට සිත නැවෙන මොහොතක ආදරය නිතැතින්ම පලා යයි.. නමුත් මෙහිදි සුක්ශම විය යුත්තෙය.. මෙහි අර්ථය වැරදියට ගැනීම ට යමෙක්ට පුලුවන් වුවද මේ ක්‍රමය කුමක්දැයි ඔබත් අපත් දනිමු..තිත්ත බේතක් නම් උගුරට හොරා හෝ බීවාට කමක් නැත.. ලෙඩේ සනීප වෙනවා නම් ඔය කොයි ක්‍රමයත් අත් හදා බැලිමෙහි වරදක් නැත.. එක අතකට අපි සියල්ලොම ලිංගිකත්වය ප්‍රිය කරන ජීවින් ය..

වැදගත්ම කාරණය ඔබව දමා ගිය උන් පසු පස වැඳ වැඳ නොයන්න.. මනුශ්‍යයෙක් ලෙස ඔබට ආත්ම ගෞරවයක් ඇත.. දමා යන උන්ගෙන් ඉදිරියෙ ඔබ ලබන ආදරය කුමක්ද?? යන උන් හිතින් අත් හරින්න.. මා මෙතෙක් කීවේ ඒ අත් හරින්නට මනස සකස් කරන හැටිය.. ඔබව දමා ගිය උන් ගැන ආරංචි සෙවීමෙන් ඕපාදුප සෙවීමෙන් ෆේස්බුක් මගින් ඔහුව හෝ ඈව ලුහු බැඳීමෙන් වලකින්න.. ඔබේ සිතට ඔබම තහංචි දමා ගන්න.. අද දවස ඇතුලත මා ඔහුගෙ දුරකථන අංකය ඩයල් නොකරමි.. එසේ කලහොත් මගෙ මවට පියාට කරදරයක් වේය කියා බුදුන් ඉදිරියෙ දිව්රන්න.. ඔබ කුමක් කීවත් එය හොදම ක්‍රමයකි.. ඔබව පාලනය කර ගත හැක්කෙ මෙවැනි ලද බොලද දිව්රීම් ඔබටම දී ගත්තොත් විතරයེ. ඇත්තටම මේවා ටාගට් ය.. ඔබ මේ ටාගට් ටික සපුරා ගත හොත් විරහව ඔබට පරාද කල හැක

” මූදේ ඉන්නෙ එක මාලුවද තව මාලුවෙක් අල්ල ගනිම්” කියා ඔබේ මොට්ට යහලුවන් ඔබට උපදෙස් දෙනු නියතය.. අන්න ඔබ ඇන ගන්නෙ ඔතනය.. කිසි විටෙකත් බිඳුනු සිතක් සහිතව තවකෙකුට ලන් නොවන්න. බිඳුනු සිතකින් තවකෙකුට අවංකව ආදරය කල නොහැක.. බිඳුනු හිතකින් ආදරයක් බලාපොරොත්තු වීමත් විහිලුවකි.. මුලින්ම ඔබ ඔබේ සිත යාථා තත්වයට පත් කරගන්න.. ඒ සදහා සැලකිය යුතු කාලයක් ගන්න.ඉන් පසු ඔබට නැවත ආදරය කල හැක.. තෙල් ඉවර උන වාහනයකට තෙල් නොගසා තව දුර ගමන් යා නොහැක… අනික් අතට ඔබ එක බස් එකකින් බැස තව බස් එකකට පිස්සෙක් මෙන් නැගිය යුතු නැත.. මේක ඔබේ ජිවිතය නිසා යන ගමන දැනගෙන යා යුතුය..

විරහවට මූණ දෙන ආකාරය ගැන මට පොතක් ලිවීමට තරම් කරුණු ඇත.. දේශන මාලාවක් උවත් කර කියන්ට දේවල් තිබේ.එක ලිපියකින් A-z කියන්ට කොහෙත්ම බැරිය.. මේ සියල්ල මා අත් හදා බැලු ක්‍රමය.. ඇතැම් ක්‍රම වෛද්‍ය වරුන් මට නිර්දේශ කල ප්‍රතිකාරය..නමුත් මේවා හැමෝමට හරි යන්නෙත් නැත. වේදනාවෙ ස්වරූප විවිධය.. මේ සියල්ලෙනුත් ප්‍රගතියක් නැත්තම් ඔබ විශාදයෙ ගොදුරක් වී තිබෙන්නට පුලුවන..

ලිව්වේ-ෙChanya Herath

LEAVE A REPLY