බර්ලින් තාප්පය – සහන් කසීර වික්‍රමසිංහ

0
77

වසර පණස් හයකට පෙර අද වැනි දවසක දේශ සීමාව වෙන් කරමින් බර්ලින් නගරය හරහා එක් රැයකින් කටු කම්බි වැටක් ඉදි විය.

හිරු උදාවන විට කම්බි වැටකින් වෙන්ව තිබුණේ සිත් පිත් නැති ගොඩනැගිලි සමූහයක් පමණකැයි පාලකයින් සිතුවද එය ජර්මානු වැසියන්ට දරාගත නොහැකි අත්දැකීමක් විය. ඒ නැගෙනහිර සහ බටහිර ලෙස බෙදා වෙන් කෙරුණේ හතළිස් ලක්ෂයක ජනතාව එක්ව ගෙනගිය ජීවන අරගලයයැයි ඔවුන් වටහා ගන්නා විට සියල්ල සිදු වී හමාරය. අනුකම්පා විරහිත කටු තුඩු විලිස්සා ගත් අවලස්සන කම්බි පරය සැතපු 103 ක් දිග ගල් පවුරක් බවට පත් වන්නේ මාස කිහිපයකිනි. එහි තැනින් තැන පිහිටවා තිබූ ආරක්ෂක කපොළු සංඛ්‍යාව තුන්සියයකට අධිකය. කොමියුනිස්ට්වාදය සහ ධනවාදය තාප්පයකින් බෙදා වෙන් කෙරුණේ මිනිසුන්ගේ හද ගැහෙනා රාවයට නෑසු කන් ඇතිවය.

සියල්ල ඇරඹෙන්නේ දෙවැනි ලෝක යුද්ධයෙන් අනතුරුවය. ලෝක යුද්ධය ජය ලැබූ පසුව මිත්‍ර පාර්ශවික රටවල් හතරක් එක්ව “පෝස්‌ට්‌ඩෑම් සමුළුව”( Postdam Conference) පවත්වනු ලැබිණ. එහි දී පනවන ලද කොන්දේසි වලට අනුව මිත්‍ර පාර්ශවික හමුදාවන්ගේ පාලනයට නතුව ඇති ජර්මනිය කොටස් හතරකට බෙදා වෙන් කර පාලනය කරනු ලැබිණ. එංගලන්තය, ඇමරිකා එක්සත් ජනපදය, ප්‍රංශය සහ සෝවියට් දේශය එම කොටස් හතරෙහි පාලනය දරන රටවල් විය. මෙහිදී බටහිර රටවල් තුන වන එංගලන්තය, ඇමරිකා එක්සත් ජනපදය සහ ප්‍රංශය එක්ව කටයුතු කළ අතර සෝවියට් දේශයට ජර්මනියේ පාලනය තමා වෙත ලබා ගැනීමේ අරමුණක් ද විය. මෙම බල අරගලයේ ප්‍රතිඵලයක් වශයෙන් 1949 වසරේදී බටහිර රටවල් ත්‍රිත්වය එක්ව තම පාලන කලාප එක් කොට “ජර්මන් ෆෙඩරල් සමූහාණ්ඩුව – Federal Republic of Germany” ලෙස නම් කරනු ලබන අතර එය එතැන් පටන් “බටහිර ජර්මනිය” ලෙස හඳුවනු ලැබිණ. ඒ අනුව සෝවියට් දේශය විසින් පාලනය කළ කලාපය “ජර්මන් ප්‍රජාතාන්ත්‍රවාදී සමූහාණ්ඩුව – The German Democratic Republic ” හෙවත් නැගෙනහිර ජර්මනිය ලෙස නම් කරනු ලැබිණ. නමුත් දෙපාර්ශවයන් අතර සම්මුතියක් වූයේ මුළුමනින්ම නැගෙනහිර ජර්මනිය තුළ පිහිටා තිබෙන “බර්ලින නගරය” ද බටහිර – නැගෙනහිර වශයෙන් දෙපාර්ශවයකට බෙදා පාලන බලය බෙදා හදාගත යුතු බවය. ඒ අනුව බෙදා වෙන් කෙරුණු රට දේශ සීමාවලින් තොරව පාලනය වන්නට විය.

නමුත් සෝවියට් පාලනය යටතේ දිවෙන නැගෙනහිර ජර්මනිය දිනෙන් දින ජරාජීර්ණ වන විට බටහිර ජර්මනිය බටහිර රටවල් ඇසුරෙන් පෝෂණය වී ශීඝ්‍ර දියුණුවක් ලබන්නට විය. නැගෙනහිර ජර්මනිය දියුණු කිරීම අරභයා සෝවියට් දේශයේ අවධානයක් නොතිබුණද ඔවුන් නැගෙනහිර ජර්මනියට අනෙක් බටහිර රටවල් සමගව මිත්‍රශීලීව කටයුතු කිරීමට අවසර ලබා දෙන්නේ ද නැත. මේ අනුව ජාත්‍යන්තරයේ ද හුදෙකලා වන නැගෙනහිර ජර්මනිය දිනෙන් දින සෝවියට් සමූහාණ්ඩුවේ නිසි කළමණාකරණයකින් තොරව අරාජික වන්නට විය. නමුත් එයට ප්‍රතිවිරුද්ධව ගමන් ගන්නා බටහිර ජර්මනිය ඇදහිය නොහැකි වර්ධනයක් ලබමින් ලෝක අවධානයට පාත්‍ර වන්නට විය. “ආර්ථික ආශ්චර්යයකින් – economic miracle” යුතු රටක් ලෙස හඳුන්වන්නට වූ බටහිර ජර්මනිය යනු නැගෙනහිර ජර්මානුවන්ගේ ගැලවුම් දේශය බවට පත් ව තිබිණ. ඒ අනුව දිළින්දන්ගේ සිට වෘත්තිකයන් දක්වාම පිරිස නැගෙනහිර ජර්මනිය අතැර බටහිර ජර්මනියට ඇදී යාමෙන් සෝවියට් පාලනය දැඩි අපහසුතාවට ලක් වේ.

1961 අගෝස්තු 13 වන දා රැය පහන් වේ. බර්ලින වැසියන් දකින්නේ නැගෙනහිර සහ බටහිර රටවල් වෙන්කළ කටුකම්බි වැටය. මාස කිහිපයක් ගතවන විට එය සවිමත් තාප්පයකි. ඒ අනුව බටහිරට ගොස් සිටින කිසිවෙකුට හෝ නැගෙනහිරට යළි පැමිණීම තහනම් වන අතර නැගෙනහිර සිට බටහිර ට පලා යාමට උත්සාහ කිරීම වෙඩි ප්‍රහාරයකට ලක් වීමට හේතුවකි. ඒ නැගෙනහිර පාලකයින් බුද්ධි ගලනය වැළැක්වීම උදෙසා ගත් හිතුවක්කාර පියවරය. එහි ප්‍රතිඵලයක් ලෙස බොහෝ ඥාති හිතමිත්‍රාදීන් මේ මහා පවුරෙන් වෙන්වූ අතර නැගෙනහිර සිට කෙසේ හෝ පවුර තරණය කර පැමිණෙන්නන් පිළිගැනීමට බටහිර ජර්මනිය කටයුතු කළහ. මනුසත් කුලයක් දෙකඩ කළ මේ බර්ලින් තාප්පයට එරෙහිව ජාත්‍යන්තරයට කිසිදු පියවරක් ගැනීමට නොහැකි වූයේ එය ඉදිකර තිබුණේ නැගෙනහිර දේශ සීමාව තුළ නීත්‍යනුකූලව වන බැවිනි.

නමුත් නැගෙනහිර වැසියන් බටහිරට පලා යාමේ උත්සාහය අත් නොහැරි අතර තම රට අතැර පලා යන්නන් හට වෙඩි තැබීමට ද මුරභටයින් නොපැකිළුණහ. වෙඩි පහර කා මියගිය ගණන 133 ක් බවත් කෙසේ හෝ ජීවිතය බේරාගෙන බටහිරට පලාගිය පිරිස 5,000 ට අධික බවත් පැවසේ. පිරිසක් උමං හාරා බටහිරට පලා යන විට තවත් සමහරු නැගෙනහිර උස් ගොඩනැගිලි වල සිට පැරෂුට් ආධාරයෙන් බටහිරට පියඹා යාමට සමත් වූහ. තාප්පය අවට වැළලූ බිම්බෝම්බ , ස්වයංක්‍රීය තුවක්කු පද්ධති වලින් පලා යන්නන් ගේ ඉරණම තීරණය කරන්නට නැගෙනහිර පාලකයින් උත්සාහ කරන්නේ එබැවිනි.

28 වසරකට පසුව , එනම් 1989 වසර වන විට සෝවියට් දේශයේ බිඳ වැටීම සනිටුහන් වූ අතර නැගෙනහිර ජර්මනිය ද උණුසුම්ව පවතින්නට විය. ක්‍රමක්‍රමයෙන් නැගෙනහිර ජර්මනියට ස්වයං තීරණ අයිතිය පවරන්නට සෝවියට් දේශය කටයුතු කරනු ලැබූ අතර ඔවුන්ට විසඳා ගැනීමට තමන්ගේ කියා ප්‍රශ්න රාශියක් තිබිණ.

1989 නොවැම්බර් 9 වැනි දා නැගෙනහිර ජර්මානු නායකයා විසින් මෙතුවක් දෙරටක් වෙන් කළ තාප්පය වෙන් කිරීමට අවසර ලබා දීමත් සමගම කුළුගෙඩි සහ ආයුධ රැගත් නැගෙනහිර ජර්මානුවන් තාප්පය බිඳ දමන්නට වූහ. ඒ ප්‍රීතිඝෝෂා මධ්‍යයේය. බටහිර වැසියන්ද මේ සඳහා දායක වූ අතර අද වනවිට ඉතිරිව ඇත්තේ කිලෝමීටර තුනක පමණක් දුරකින් යුතු තාප්ප කොටසකි. ඒ අනාගත පරපුරට සිහිවටනයක් ලෙසය.

තාප්පය බිඳ දැමූ පසුව බටහිර වැසියන්ගේ ගෘහ අලංකරණය සහ දෛනික පරිභෝජන ක්‍රමය දැක නැගෙනහිර වැසියන් විමතියට පත් වූ බවත් තාප්පයෙන් එහා ලෝකයේ එවැනි සැපවත් ජීවිතයක් තිබියදී තමන් ගත කළ ජීවිතය පිළිබඳ කම්පා වූ බවත් පැවසේ.

බොහෝ පවුරු බිඳ දමන තුරු අපි යථාර්ථය නොදකින බවත් එහි ඡායා මාත්‍රයකුදු හෝ නොදකින බවත් අපට පසක් කර දෙන්නේ බර්ලින් පවුරය.

– සහන් කසීර වික්‍රමසිංහ –

LEAVE A REPLY