ඒ බලාපොරොත්තුවේ පැහැයයි

0
77

 

 චීනයේ කලබලැති නගරයක රැකියාවක නියුතු තරුණයෙකුට සිය ඈත පිටිසර ගම්මානයේ ගම්පතිවරයාගෙන් වේදනාබර ඇමතුමක් ලැබෙයි. ඒ ගම්මානයේ කුඩා පාසලෙහි එකම ගුරුවරයා ද වූ ඔහුගේ පියා මියගිය පුවතයි. ශීත සමයේ ඇද හැලෙන හිම කැටැතිවලින් පිරී ගිය මාර්ගය ඔස්සේ, සිය සේවාස්ථානයෙන් ලද රථයක නැගී ඔහු ගම්මානය බලා යයි. එහිඳී ඔහුට මුණගැසෙන්නේ, පියා සිය ප්‍රාණය දෙවැනි කොට සැලකූ පාසැල දෙස, ශීතයෙන් ගැහෙමින්, අනිමිසලෝචනයෙන් නෙත් දල්වා බලා සිටින, අහිමි වීමේ වේදනාව දරාගන්නට තැත් දරණ ඔහුගේ මවයි. පියාගේ අවසන් කටයුතු සූදානම් කෙරෙද්දී ඇය සිය පුතුගෙන් ඉල්ලා සිටින්නේ එක් සුවිශේෂ ඉල්ලීමක් පමණි. ඇය අතින්ම වියා නිමකරන ශ්වේත වර්ණැති සළුවකින් පියාගේ දෙන වසා, ඔහුගේ මරණය සිදුවූ රෝහලෙහි සිට ගම්මානය වෙත වන මං පෙත දිගෙහි මිනිසුන් විසින්ම ඒ ඔසවාගෙන ගෙන එන්නට කටයුතු සළස්වන ලෙසයි. එය ඉපැරණි චීන චාරිත්‍ර‍යකි. එමතුද නොව, මියගිය තම දයාර්ද්‍ර‍යාට සිය නිවස කරා එන මග අමතකව නොයන්නට සිදු කරන සෙනෙහසින් පිරුණු පිළිවෙතකි.

පුතුගේ විරෝධයද නොතකමින්, දැඩිව තමන් පෙළන වේදනාව හද දරාගෙන, මහළු මව තමන් වෙත වූ පැරණි පිළි වියන යන්ත්‍රයෙන් ශ්වේත සළුව වියන්නට පටන් ගනිද්දී තරුණ පුත්‍ර‍යා අසළ කුඩා කාමරයට වී ඔවුනගේ අතීත සැමරුම් වෙත නෙත් යොමයි. කළු – සුදු චිත්‍ර‍පටයක් ලෙස ඇරඹුණු සිනමා පටය, වෛවර්ණිත අතීතාවර්ජනය වෙත පිවිසෙන්නේ පුතුගේ මෙම මතක විමසුම් සමග ය. එතැන් පටන් අප අභියස මැවෙන්නේ ගම්මානයේ මිහිරතම පෙම් පුවතෙහි පුරාවතයි. දයි නමැති ඉතා සුන්දර අවිහිංසක තරුණියත්, ඇය රුව දැක වශීවන නගරයෙන් පාසැලක් අරඹනු පිණිස ගමට එන ලුඕ නමැති කඩවසම් තරුණයාත් අතර දළුලන ප්‍රේමය පිළිබඳ අති රමණිය කතාවයි. නැතිනම්, 2000 වර්ෂයේදී බර්ලින් සිනමා උළෙලේ රිදී වලසා සම්මානය සහ ජූරියේ ග්‍රෑන්ඩ් ප්‍රික්ස් සම්මානය ඇතුළු ජාත්‍යන්තර සම්මාන පෙළකින් ද, රන් සැවුලා (Golden Rooster) සහ දහසක් මල් (Thousand Flowers) ඇතුළු චීන දේශීය සම්මාන පෙළකින් ද පිදුම් ලද, ෂැං යිමෝ නමැති චීන පස්වන පරපුරේ ප්‍ර‍මුඛ සිනමා කතුවර පිරිසේ සාමාජිකයෙකුගේ ‘The Road Home’ සිනමා පටයේ කතා පුවතයි.

විප්ලවයෙන් පසු සමාජවාදී පිළිවෙතකට පිළිපන් චීන සමූහාණ්ඩුවේ අධ්‍යාපන තත්වය නගා සිටිවනු පිණිස ඈත පිටිසර දුෂ්කර ගම්මානවල ද පාසැල් ඇති කිරීමට එරට ආණ්ඩුව කටයුතු යොදයි. රැකියාවක් සොයමින් සිටින නාගරික තරුණයකු වන ලුඕ රැකියා පිරිනැමීමට සාදන නම් ලැයිස්තුවකට නම ලබා දෙන්නේ දුෂ්කර ගමක පාසැල් ගුරුවරයෙකු වන්නෙමැයි සිතමින් නොවේ. එහෙත් ඔහු වෙත ලැබෙන රාජකාරිය එයයි. පාසැලක් නොමැති ගම්මානයේ පාසැලක් අරඹනු පිණිස නගරයේ සිට ගම්මානය කරා වැටී ඇති මං පෙත ඔස්සේ දූලි වලා විහිදුවමින් අශ්ව කරත්තයකින් ඔහු පැමිණෙයි. ඔහු පිළිගන්නට පෙළ සැදී සිටින ගම්වැසියන් අතර රුවැති දයි ද වන අතර ඇය ඔහු නෙත ගැටෙන්නේ ගමට පිය තැබූ විගසම ය. හමුවන්නේ දෙදෙනාගේ දෙනෙත් පමණක් වුවත්, එකදු වදනක් හෝ හුවමාරු නොවුණත්, ඒ කාන්තිමත් දෙනෙතෙහි දීප්තිය දයි වෙත ආදරය පිළිබඳ හැඟුමක් තිළිණ කරයි. සිය දෙනෙත් අඳ මහළු මව සමගින් ජීවත් වන දයි උතුරා යන සතුටකින් නිවස කරා දිවයන්නේ තමන් වෙත ඇති හොඳම ඇඳුමින් සැරසී ලුඕ වෙනුවෙන් කටයුතු කරන්නට පටන් ගනියි.

ඉදිවන පාසැල් ගොඩනැගිල්ලේ වැඩ කරන ගම්මානයේ පිරිමින් වෙත ආහාර රැගෙන එන ගම්වැසි ගැහැණුන් හා එක්ව දයිද සිය රසවත්ම වට්ටෝරු තනන්නේ ලුඕ වෙත ඒ ලැබෙනු ඇතැයි යන සතුටින් සිත පුරවාගෙන ය. තමන් ගෙන එන භෝජන ගොඩනැගිල්ල තැනෙන බිමට ඈතින් තබා පිටව යන්නට ගැහැණුන්ට සිදු වුවද, බොහෝ නිවෙස්වලින් බොහෝ ආහාර භාජන ලැබුණ ද, ලුඕ වෙත තමන් අතින් පිළියෙල වූ ආහාරය ලැබෙනු ඇතැයි දයි සිහින දකියි.

ඉදිවන ගොඩනැගිල්ලේ ඉහළ බාල්කයේ බඳින්නට නියමිත රක්ත වර්ණැති ධජය ගම්මානයේ රූමත්ම තරුණිය අතින් නිම විය යුතු හෙයින් එය තමන් වෙත භාර වද්දී ද ඇය එය ඔහු වෙත පුද කරන තිළිණයක් ලෙසම ගනියි. එමතුද නොව ඉදිවූ පාසැල් ගොඩනැගිල්ලෙහි ලුඕගේ ගැඹුරු හඬින් නැගෙන පාඩම් හඬ අසන්නට ඒ අසලින්, තම නිවසට බොහෝ දුරින් වන ළිඳ වෙත යාමට ද ඇය පටන් ගනියි. පාසැල නිම වී කුඩා දරුවන් නිවෙස් කරා හැරලන්නට ගම්මානයේ සුන්දර මිටියාවත අතරින්  ලුඕ පැමිණෙන තෙක් ඇය වන රොද තුළ හෝ තණ බිමෙහි කෙළවර සැඟවී සිටියි. අප්‍ර‍කාශිත ප්‍රේමයක අරුමැති සුන්දරත්වයකින් ක්‍ර‍මිකව වැසී යන ගම්මානයේ සුන්දර භූමිය එහි වන ආහ්ලාදය නෙක් විසිතුරු වර්ණ හා මුසු කොට අප වෙත තබයි.

නාගරිකයා වෙත එක් නිවසකින් එක් දිනකට බැගින් පිරි නැමෙන දිවා භෝජනය තමන් වෙත භාර වන දිනය, වදනකින් නොවූව ද, සෙසු සියල්ලෙන් දෙදෙනා වෙත වන උතුරන ප්‍රේමය ප්‍ර‍කාශ වන දිනය බවට හැරේ. සිය ඉස්තරම්ම කෑම වට්ටෝරුව ඔහු වෙනුවෙන් තනා ඔහු එන තෙක් ඇය මග බලා හිඳී. එදිනම රාත්‍රී භෝජනයට ද ඇය ඔහුට ආරාධනා කළ ද නගර කාර්යාලයෙන් ලැබෙන ඇමතුමක් මත ඔහු ගම්මානයෙන් පිට වෙයි.

හදිසියේ පිටවන ලුඕ වෙත, ඔහු තිළිණ කළ කොණ්ඩ කටුව ද පැළඳ ඇය දිව යන්නේ සාදන ලද ආහාර බඳුන ලබා දෙන්නට ය. ඈතට ඇදෙන අශ්ව කරත්තය ලුහු බඳිනු වස් ඇය වන පෙත් මං ඔස්සේ දිව ගියද අවසන සිදුවන්නේ ලිස්සා වැටී බඳුන ද බිදී යෑමයි; ඊටත් වඩා ප්‍රේමයේ එකම තිළිණය වූ කොණ්ඩා කටුවද නැති වීමයි.

තරුණ ප්‍රේමය පිළිබඳ සංවේදනා රැගත්, විශ්මය දනවන තරම් අගනා රූප රචනයකින් යුතු, ‘ද රෝඩ් හෝම්‘ වැනි සිනමා පටයක් සමකාලීන සිතුවම් අතර ඇත්නම් ඒ අතලොස්සක් විය යුතු ය. නගරය වෙත යන ලුඕ යළි පෙරළා එන තෙක්, ශරීර ගල් කරවන තරම් බිහිසුණු ශීතලෙහි ගැහෙමින්, ඇය මං පෙත දෙස බලා සිටියි. ඔබ විසින්ම විමසා විදින්නට ආරාධනා කරන එහි අපූර්ව අවසානය ඈ ඒ බලා සිටින මං පෙත ඔස්සේම යළි ඔහුගේ මෘත ශරීරය රැගෙන එන්නට උත්සාහ කරන මහළු දයිගේ අවසන් කැමැත්තයි. රැකියා සොයා නගර කරා සංක්‍ර‍මණය වී ඇති තරුණ පිරිස හේතුවෙන් මිනිසුන් අඩු ගම් පියස වෙත මේ චාරිත්‍ර‍ය ඉටු කරනු පිණිස, සැතපුම් ගණනක පාගමනට කවුරුන් එක් වේ ද? ‘ද රෝඩ් හෝම්‘ අන්තර්ජාලයෙන් විමසා නැරඹීම එයට පිළිතුර සාදනු ඇත

උපුටාගැනීම

සෙනෙහසේ මං පෙත

(රිවිර සිනමා කොලම- 18)

LEAVE A REPLY