කකුල චෛත්‍යයේද? ඔබේ හිතේ ද? – අමිල ජයකොඩි

0
723

පින්තූර කියවීම :-
මේ දිනවල ඉතා ද්වේශ සහගතව comments ලැබෙන පින්තූරයකි. කිහිප තැනකම මෙය දුටු නිසා මේ පිළිබඳව මගේ අදහස ඉතා මධ්‍යස්තව පහතින් තබමි…..

1. පින්තුරයට අනුව කකුල තැබීම නිරායාසයෙන් සිදුවීමක් ද , නොඑසේ නම් ආයාසයෙන් සැලසුම් සහගතව වූ සිදු වීමක් ද ?

2. දැන් මේ පිංතුරය නරඹමින් එයට ද්වේශයෙන් ප්‍රතිචාර දක්වන්නා ආයාසයෙන් සිදුකරගන්නේ කුමක්ද ?

මේ සිද්ධි දෙක වෙන් වශයෙන් ගෙන විමසීමේ දී වඩාත් අපවිත්‍ර වී ඇත්තේ ඒ කාන්තවගේ ක්‍රියාව ද ,
නොඑසේනම් ඒ පින්තූරයට ද්වේශ සහගතව ප්‍රතිචාර දක්වමින් සිටින නරඹන්නන්ගේ සිත ද ?

පාදය තැබීම නිරායාසයෙන් වූ සිදුවීමක් නම් චෛත්‍යයට නිගරු කිරිමට ඒ කාන්තාවට යම් චේතනාවක් තිබිය නොහැකිය.ඇය එය සිතා මතා කලානම් එය චේතනාව අනුව කර්මයකි.
නමුත් යමෙකුට නිරායාසයෙන් ද්වේශ සහගත චේතනා හටගන්නේ නැත. ද්වෙිශය හටගන්නේ ආයාසයෙනි.ද්වේශය සමග වෙහෙසක් පවතින්නේ එබැවිනි. දැන් මේ සිද්ධිය මුල්කොට ගෙන මේ දෙපාර්ශවයෙන් වඩාත් වෙහෙසට පත්වී ඇත්තේ කවුද ?

දහම සර්පයෙකු වැනිය. ප්‍රඥාවන්තයා එය වලිගයෙන් අල්ලා අනතුරෙන් මිදෙයි. මෝහයට පත්වූවෝ සර්ප හිස
මත අත තබන්නට යාමෙන් අනතුරට පත්වේ.

මේ පින්තූරය දකිමින් ද්වේශයට පත්වන්නන්ගෙ ප්‍රමාණය වැඩි වෙන්න , වෙන්න , මේ post එක අන්තර්ජාලයට එකතු කළ කවුරු හෝ කෙනෙක්ගෙ කර්ම ශක්තියට අතුරු අකුසල කර්ම ශක්තින් සිය ගණනින් බැර වේ.

හේතු සාදන්නෝ ඵලයේ හිමිකම් දැරුවෝය. වගා කරන්නා වපුරන්නේ තල ද ඔහු තල මිස වී අස්වනු එයින් නොලබයි.

යමකට දැඩිව ඇලෙමින් මිත්‍යදෘෂ්ටි ගත වීමේ අනතුර මෙයයි.
සමාජීය මාධ්‍ය තුළ ද්වේශයට හේතු සදන්නෝ සැබවින්ම පිරමීඩාකාර ක්‍රියාවලියක්ව ( ද්වේශය මුල්කොටගත් ) අකුසල කර්ම තොග පිටින් රැස්කර ගනී.

දහම රකින්නා දහම පළමුව තම භාවිතයක් කොට ගනී. ධර්මය රකින්නා ධර්මතාවය විසින් රැකෙන්නේ එලෙසිනි. ධර්මතාවයට පත් වූවෝ සංඛ්‍යාත්මකව වර්ධනය වූයේ කොතැනද ශාසනය එතැන නිරායාසයෙන් රැකේ.

එවිට අමුතුවෙන් යතුරු දමා , වැට ද ගසා , සීමා සලකුණු කොට , ගිවිසුම් ගසා , සීමා දමා ශාසනය රැකිමට අවශ්‍ය නැත. ශාසනය රැකෙන්නේ යමෙකු දහම තම ජිවිතය සමග භාවිතයට ගත් මොහොතේ සිට මිස ශාසනයේ නාමයෙන් දහම භෞතිකයක් ලෙස රැකිමට යාමෙන් නොවේ.
කොතරම් වන්දනාවේ ගියද , අටමස්ථාන වල නලල ඔබා වැන්ද , පන්සල් තුළ ජිවිවත් වුනද , ලක්ෂ ගණනින් මල් පූජා කළ ද , දහමට අනුව සිත සැකසී නොමැති නම් කොතරම් චෛත්‍යයක් වන්දනා කලද නිර්වාන මාර්ගය දුෂ්කරය.

චෛත්‍ය වන්දනාවෙන් සිත සමාධිගත කරගත යුතු අතරේ පිරිසක් චෛත්‍යයක් මුල් කරගනිමින් සිතක් අපවිත්‍රකර ගන්නා අයුරු කොතරම් ද ?
චෛත්‍යයම කුසලයටත් , අකුසලයටත් මුල් වන අයුරු පැහැදිලිය. වරද ඇත්තේ චෛත්‍යයයේ නොව , අති භක්තියක් මත භෞතික අයිතියක් මත පමණක් චෛත්‍යය ඇසුරු කල වන්දනා කරුවාගේය.

එසේ නම් මේ රූප කියවීම තුළ කකුල තබා ඇත්තේ කොහිද ?
කකුල තබා ඇත්තේ සැබවින්ම මෙය නරඹන්නාගෙ
සිතේ මිස චෛත්‍යයේ නොවේ.

එහි කකුල තබා අවසන්ය.
එබැවින්
දැන් ඒ කකුලෙන් ඔබේ සිත අහකට ගන්න……………..

– අමිල ජයකොඩි –

 

LEAVE A REPLY