ගෝත්‍රවාදය ඛේදවාචකයකින් ඔබ්බට…. – බුද්ධික ලසන්ත

0
86

ජීවිතය සම්බන්ධ අනතුර නොසලකා කුඩා ළමුන්ද රැගෙන මහමුහුද තරණය කරමින් යම් බිමකට ගොඩ පසින්නේ යම් පිරිසරණක් සොයාය.. ලාංකිකයෝද එසේ ගිය ඉතිහාසයක් තිබුණි.. තවමත් නැතුවා නොවේ. මියන්මාරයේ රෝගින්ග්‍යා මුස්ලිම්වරු දෙදහස් අට වසරේ සිට කිහිපවිටක් ලංකාවට මෙසේ ඇදී ආහ.. එක්සත් ජාතීන්ගේ සංවිධානය මැදිහත්ව මොවුනට තාවකාලික රැකවරණය දුන් අතර පසුව ඔවුන් ලෝකයේ වෙනත් රටවලට පිටත්කර හැරුණි..එහෙත් මේ කිසිදු මොහොතක කිසිවෙකු කලබල වූ බවක් පෙනෙන්නට තිබුණේ නැත..

පසුගිය දිනක ලංකාවට එසේ පැමිණි රෝගින්ග්‍යා සරණාගත කණ්ඩායමක් සම්බන්දයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙර මෙන්ම මැදිහත්ව කටයුතු කරමින් තිබුණි.. රජයද එය ප්‍රකාශ තිබුණි.. එහෙත් පෙර මෙන් නොව මෙදා තත්වය වෙනස්විය.. ලංකාව යනු ජාතිකත්වය විරසකයන් තුලින් ජන්ද සොයනා බිමකි.. ජාතිවාදයෙන් යැපෙනා දෙමළ,මුස්ලිම් මෙන්ම සිංහල ගෝත්‍රවාදීන් මේ පොළවේ ඕනෑ තරම් ඇත.. එයට කේවට්ටකම් කරන ජනතාවක්ද ඇත.. මෙවර පැමිණි සරණාගතයන් සදහා පෙරමෙන්ම කටයුතු කරමින් සිටියදී හදිසි කුලප්පුවීම් වාර්තාවන්නේ මෙවැනි පසුබිමකය.. මෙය රට ගැන ලෝකයට එක්කළේ කළු පැල්ලමකි.. ලෝකයට අප ගැනගියේ මනුස්සකමක් නැති ගෝත්‍රික ජනකොටසක් ලෙසිනි….

සෞදියේ මෙන්ම ඩුබායි,රුසියා,යුරෝපය වැනි රටවලද මුස්ලිම් ජනතාව වාසය කරයි.. එහෙත් මේ ජනතාවගේ එකිනෙකට වෙනස්කම් ඕනෑ තරම් ඇත.. ගෝත්‍රවාදය යනු අසාධාරණ,අසමානකම් පවතින දේශපාලන,සමාජ,ආර්ථික පසුගාමීකම් පවතින සමාජයක පිලිබිබුවකි.. සෞදියද එසේය.. සෞදියේ ගෝත්‍රවාදී පසුගාමිකම්වලට අප බැන වදින්නේ අපද ඔවුන් වගේවීමට නොවේ.. සැබවින්ම විය යුත්තේ එහෙයින් එහාගිය දියුණු සමාජ වටපිටාවක් මේ පොළවේ ගොඩනැගීමය… එහෙත් අද වෙමින් ඇත්තේ ගෝත්‍රවාදය මත පදනම්ව අපිද ඒ දෙසට රැගෙන යාමය.. ඒ ගෝත්‍රවාදය තුල ගෝත්‍රවාදය පෝෂණයවීමට සරුපස සැපයීමය…

කුමන වෙසින් ආවද ගෝත්‍රවාදය මානව සංහතියට කළු පැල්ලමකි.. එය මුස්ලිම් වුවත්, දෙමළ වුවත් සිංහල වුවත් පොදුය.. මේ බිමට අවශ්‍ය වන්නේ ජාතික සමගියෙන් බැදුණු පොදු මිනිස් හැකියාවන් අනාගතය අත්පත්කර ගැනීමට යොදනා ලාංකික ජාතියෙන් සමන්විත එකකි.. නැත්නම් වන්නේ මිනිස් ජීවිත වළලමින් හැමදාමත් මරා ගැනීමටය.. එහෙයින් බොරදියේ මාළු බානා ගෝත්‍රවාදී තක්කඩි කුමන වෙසින් සිටියද බැද දැමිය යුතුමය.

-බුද්ධික ලසන්ත

LEAVE A REPLY