‘අතීතය’ සහ ‘ඉතිහාසය’ යනු පර්යාය පදද? – තිළිණ සමරසූරිය

0
91

‘අතීතය’ සහ ‘ඉතිහාසය’ පර්යාය පද ලෙස සැලකීම සහ/හෝ විශ්වාස කිරීමම මිථ්‍යාවකි. අවිද්‍යාවකි. ‘ඉතිහාසය’ බහුලවම වාර්තාකෙරෙන්නේ වාචිකව නැතහොත් මුඛ පරම්පරාගතවය. එනම්, පුද්ගල මතක ගබඩාවල රැුස්ව තිබූ අන්තර්ගතය යම් කාල ප‍්‍රාන්තරයකට පසු යළි ස්වරවලට නැංවීමකි (re-vocalization). අතීත දත්ත වඩා විධිමත්ව වාර්තාගත (record) කිරීම, ලේඛනගත (document) කිරීම යනාදී ක‍්‍රියාකාරකම් වර්ධනයවන්නේ පසු කාලවලදීය. එහෙත් එසේ වඩා තිරසරව රඳවාගැනීමේ පහසුකම් බහුලවූ වත්මනෙහිදී පවා එසේ විධිමත්ව දත්ත ගබඩාකෙරෙන්නේ සෑම තැනෙකම, සෑම විටෙකම නම් නොවේ. සියල්ලම ද නොවේ. ඇසී නෑසී යන, පෙනී නොපෙනී යන බොහෝ දෑ තවමත් අඩු වැඩි වශයෙන් රැුඳෙන්නේ කාගේ හෝ මතකයක පමණක් වීමට පුළුවන.

අතීත සිදුවීම, ක‍්‍රියාව හෝ ක‍්‍රියාදාමය පුද්ගල විඥානය විසින් ග‍්‍රහණය කරගන්නේම සීමාකාරී සාධකවලට යටත්වය. සංජානන ධාරිතාව, මනෝභාව, විචාර බුද්ධිය, විචක්‍ෂණ භාවය… එබඳු සාධක අතරින් කිහිපයක් පමණි. ප‍්‍රතිග‍්‍රහණයට බලපාන තවත් පුද්ගලානුබද්ධ පමණක් නොව ඉන් පරිබාහිර සාධක ද ගණනාවක් තිබිය හැකිය. මෙසියල්ලෙහි ආචරණවලට යටත්ව පුද්ගල මතකයෙහි සංචිතවන ‘අතීතය’ යනු කිසිදු ව්‍යයවීමකින්, ඌනනයකින් හෝ විපරීතවීමකින් තොරව සංශුද්ධ අන්තර්ගතයක් වශයෙන් රඳවාගන්නා දත්ත සමූහයක් නොවේ. සේයාරූ-සදිසි මතකයකින් (photographic memory) සහ/හෝ ආශ්චර්යවත්/ප‍්‍රපංචමය (phenomenal) මතක ධාරිතාවකින් ආශීර්වාද ලද්දෝ ඕනෑම ජනගහණයක් තුළ විරල වෙති. එබැවින් සාමාන්‍ය ස්මෘති ශක්තියෙන් යුත් මිනිස් මතකයක අතීත සිද්ධි, ක‍්‍රියා හෝ ක‍්‍රියාදාම මුළුමනින්ම ගබඩාවන්නේ ද නැත. රැුඳෙන්නේ යම් ප‍්‍රතිශතයක් පමණි. රඳවාගෙන සිටි පුද්ගල මනස අනුව ඊට අඩු, වැඩි වශයෙන් විකරණ (modifications) සිදුවීම වැළැක්විය නොහැක්කකි. එසේ රැුඳෙන ‘අමු’ දත්ත හෙවත් යථා කරුණු ප‍්‍රමාණය ද කල් ගතවීමේදී අපේරණය (aberration), අපගමනය (deviation), විකෘතවීම (distortion/mutation), ක්‍ෂයවීම (depletion) යනාදී නානාවිධ විකරණවලට ලක්වනවා පමණක් නොව ඉච්ඡුානුග විකෘතිකිරීම්වලට (mutilation) ද නොයෙක් විට ගොදුරුවෙයි. මතකයෙන් මැකීයන කොටස හැරුණුවිට ඉතිරිවන තතු යළි ලේඛනගත කිරීමේදී ද ඒ ශේෂමාත‍්‍ර අන්තර්ගතය තවදුරටත් විකරණය වෙයි.

මතකයක රැඳුණු අතීත තොරතුරු ‘ඉතිහාසය’ වශයෙන් ලේඛනගත කිරීම සහ වාර්තාකිරීම යනු බහුල වශයෙන්ම වරණීය (selective) ක‍්‍රියාවලි වේ. එකී වරණය සෑමවිටම සිදුකෙරෙන්නේ හුදෙක් විෂයානුබද්ධ (objective) එළඹුමක් අනුව යයි කිසිවිටෙකත් සහතිකවීම් අපේක්‍ෂාකළ නොහැකිය. ඒ වෙනුවට ප‍්‍රායෝගිකව සිදුවන්නේ පුද්ගලානුබද්ධ (subjective) දෘෂ්ටිකෝණ ඔස්සේ අතීත තොරතුරුවලට දෙන අර්ථකථන ලෙස ඒවා ලේඛනගතවීම සහ වාර්තාකරණයයි. එහිදී අතීත තථ්‍ය කරුණුවලට (facts) සෑමවිටම සාධාරණය ඉෂ්ටවීමේ විශාල සම්භාවීතාවක් නැත. එසේ ඉෂ්ටවන්නේ යයි කිසිදු සහතිකවීමක් ද අපේක්‍ෂාකළ නොහැකිය. අගති (biases) ආංශිකතා නැතහොත් පක්‍ෂග‍්‍රාහීත්ව (partialities) යනාදී පුද්ගලානුබද්ධ සාධකවල බලපෑම් සහිතව වාර්තාගතවන අතීත තතු බොහෝවිට ‘ඉතිහාසය’ ලෙස ග‍්‍රාහකගත කෙරේ. එහෙත් ඒවා සැබෑ කථාපුවතෙහි විවිධ අනුවාද හෙවත් පාඨාන්තර (versions) පමණි. ඒ අතරින් එකක් ඇතැම්විට නිල අනුවාදය (official version) ලෙස සුජාතකරණය වෙයි. අවිවාදයෙන් පිළිගැනෙයි. බහුතරයක් එයට යළි අභියෝග කරන්නේ නැත. එහෙත් කටුක යථාර්ථය නම් මෙයයි: එබඳු නිල අනුවාද තරම් සත්‍යයෙන් ඈත්වූ අන් කිසිවක් බොහෝ විට නොමැති බවයි.

ඉන්දික ජයරත්න මහතා සිය Facebook පිටුවෙහි සටහන්කර ඇති “ඉතිහාසය සටහන්තැබීම” සම්බන්ධ ලිපියෙහි සෙසු කොටස් ගැන මම අටුවා ටීකා ටිප්පණී නොකියමි. එහෙත් තිලක් ජයරත්න මහතා ගැන කර ඇති සඳහනෙහි සාවද්‍ය තතු ඇත.

තිලක් තම සේවා කාලයේ අවසන් අදියරේදී ජාතික ගුවන්විදුලියේ අභ්‍යාස ආයතනයේ අධ්‍යක්‍ෂ තනතුරට අතිරේකව සිංහල සේවා අධ්‍යක්‍ෂ ලෙස ද කටයුතු කළේය. එහෙත් එයට පෙර 1994 වසරේදී ජාතික ගුවන්විදුලියේ එවකට පාලනාධිකාරිය තිලක්ට අභූත චෝදනා එල්ලකරමින් අයුක්ති සහගත ලෙස ඔහුගේ වැඩ තහනම්කොට ඔහුව පිටමංකළේ ඔහු අධ්‍යාපන සේවයේ පාලක තනතුරේ කටයුතු කරමින් සිටියදීය. වසර දෙකකට වැඩි කලක් ගෙවීගිය පසු සියලූ වගවිභාග නිමවා සියලූ චෝදනාවලින් ඔහු ගෞරවාන්විතව නිදොස්කොට නිදහස්කරමින් ජාතික ගුවන්විදුලිය තිලක් නැවත සේවයට කැඳවාගත්තේ ගුවන්විදුලි අභ්‍යාස ආයතනයේ අධ්‍යක්‍ෂ ධුරයේ කටයුතු ඔහුට භාරදෙමිනි. ඊට අතිරේකව නොබෝ දිනකින් තිලක්ට සිංහල සේවා අධ්‍යක්‍ෂ තනතුරෙහි රාජකාරි ද භාරගන්නැයි පාලනාධිකාරිය කළ ඇරයුම පිළිගත් තිලක්, ගරාවැටෙමින් තිබූ සිංහල ස්වදේශීය සේවය යළි ගොඩනැංවීමට නායකත්වය දුන්නේය.

මළවුන්ගෙන් සාක්‍ෂි විමසීම උගහට බව සැබැවි. එහෙත් ගුවන්විදුලි නව අධ්‍යාපන සේවයේ තීරණාත්මක ක‍්‍රියාකාරීත්වය පැවති ඒ අතීතයෙහි යම් ජීවමාන සාක්‍ෂිකරුවන් මෙන්ම සක‍්‍රියව දායකවූවන් ද අදත් නැත්තේම නොවේ. සත්‍යේක්‍ෂණය කළ, ලේඛනගත යථා කරුණු පාදකවූ දත්ත ද නැත්තේම නොවේ. නව අධ්‍යාපන සේවයේ මෙකී ශ‍්‍රාවක-කේන්‍ද්‍රීය, සහභාගීත්ව සන්නිවේදන එළඹුම ප‍්‍රධාන ධාරාගත කිරීමේ ප‍්‍රයත්නය දේශීය ගුවන්විදුලි ක්‍ෂේත‍්‍රයේ මුල්බැසගෙන තිබූ සාම්ප‍්‍රදායික ඒකපාර්ශ්වික සන්නිවේදන එළඹුමට අභියෝග කළ පුරෝගාමී මෙහෙයුමක් විය. ලංකාවේ විශ්වවිද්‍යාලවල නව දැනුම සම්පාදනය කෙසේ වෙතත්, ජාත්‍යන්තර මාධ්‍ය අධ්‍යයන ෙක්‍ෂත‍්‍රයෙහි ප‍්‍රාමාණික හැදෑරීම් කළ පර්යේෂකයන් විසින් හඳුනාගත් පරිශීලන මූලාශ‍්‍ර ලෙස ඒ මෙහෙයුමෙහි තතු සැලකියයුතු ප‍්‍රමාණයක් වාර්තාගත කර ඇත්තේ නිරවද්‍ය, තථ්‍ය කරුණු ලෙසය.

‘සුභාරතී’ යනු පළමු වරට සිංහල ස්වදේශීය සේවයේ අනන්‍යතාව රැුකීම උදෙසා ජනදාස පීරිස් මහතාගේ සංකල්පයක් අනුව තිලක් ක‍්‍රියාවට නැංවූ වැඩසටහනකට අලූතෙන් තැබූ නමක් නොවේ!! එය ජාතික ගුවන්විදුලියේ 1994 වසරේදී සාහසික ලෙස ඝාතනය කරන ලද, එවකට මෙගහර්ට්ස් 95.6 ඔස්සේ ගුුවනට මුදාහළ ‘නව අධ්‍යාපන සේවය’ නම්වූ සමස්ත විකාශනයේ සංඥානාමය ලෙස සුචරිත ගම්ලත් මහැදුරුතුමන් සකසා දුන් නාමයයි. එවකට විෂයය භාරවූ ලොකුබණ්ඩාර ඇමතිවරයා කිසිදු පදනමකින් තොරව අකමැතිවී “නරකද ඕකට ගුවන් තක්සලාව කියල නම දැම්මොත්?” යයි යෝජනා කිරීමෙන් අනතුරුව තිලක් ප‍්‍රමුඛ අධ්‍යාපන සේවයේ අප කණ්ඩායමේ ස්ථාවරය වූයේ “අපේ නම ඇමතිට එපා නම් ඇමති දෙන නමත් අපට එපා” යන්නයි. නාලිකාව ‘නව අධ්‍යාපන සේවය’ ලෙස හැඳින්වීමට අපි එකාවන්ව තීරණය කළෙමු.

එහෙත් අප ‘සුභාරතී’ යන නම මුළුමනින්ම ඉවත දැමුවේ ද නැත. තථ්‍ය කරුණ නම්, නව අධ්‍යාපන සේවයේ සෑම දිනකම උදෑසන 0530 සිට 0800 දක්වා ආරම්භක ගුවන් කාලය හැඳින්වූයේ ‘සුභාරතී’ නමින් බවයි. ස්වකීය අරමුණු ඉටුවූවා යයි නව අධ්‍යාපන සේවයේ අලූගෝසුවන් කෙටිකාලීනව සව්දිය පිරූවත්, නව අධ්‍යාපන සේවා විකාශනයේ මළගමින් එපිටට නානාවිධ හැලහැප්පීම් ද පසුකර, කාලාන්තරයක් මුළුල්ලේ ස්වදේශීය සේවයේ ‘සුභාරතී’ වැඩසටහනේ අනන්‍යතා සලකුණ ලෙස තවමත් වාදනය කරන්නේ 1993 නව අධ්‍යාපන සේවයේ රාජකාරියේ නියුතුව සිටි අමරසිරි පීරිස් සංගීතවේදියාගේත් ඉන්දීවරී අබේවර්ධන සංගීතවේදිනියගේත් හඬින් පටිගත කළ ‘දැනුම ලබාගමු උදෑසනක සේ…’ ගීතමය කෙටි නිවේදනය (jingle) වීම උත්ප‍්‍රාසයකිි.

වාර්තාගත නිල ඉතිහාසයම පියවි අතීතය ලෙස පිළිගන්නවුන් කෙබඳු මිථ්‍යාවක නිමග්නව සිටියත් මට කම් නැත. එය ඔවුන්ගේ නිදහසයි. එහෙත් අතීතය වටහාගැනීමේ සියලූ ප‍්‍රයත්න කාමුකත්වයට ලඝුකළ හැකි යයි මම කිසිසේත් විශ්වාස නොකරමි. එක් පසෙකින් අතීතය ලේඛනගත කරන හෝ වාර්තාගත කරන පාර්ශ්වවල අරමුණු ඔවුන්ට පුද්ගලානුබද්ධවන අතර අනෙක් පසින් ඒ ශේෂමාත‍්‍ර අතීත ස්මෘති යළි සංජානනය/පරිභෝජනය කරන්නන් ඊට දෙන වලංගුකරණ (validations) කාමුකද නැතහොත් වෙනත් ස්වභාවයකද යන්න එකී දෙවන පාර්ශ්වයට පුද්ගලානුබද්ධය.

විචාරශීලී, විවෘත මනසින් යුතුවූවන්ගේ යථාවබෝධය උදෙසා මෙසේ සටහන් තබමි.

LEAVE A REPLY