මහා පිපිරුම්වාදය – රවිඳු යුගාන්ත

0
68

මේ වදන නිසා බොහෝ දෙනෙකු මෙම වාදය පිළිබඳව වැරදි ලෙස වටහා ගනී. විශ්වයේ ආරම්භය් ‘මහා පිපිරීමක්’ මගින් සිදු වුණු බවක් මෙම වාදයෙන් කියැවෙන්නේ නැත. ‘මහා පිපිරුම’ යන වදන බිහි වූයේ මෙම වාදය සොයා ගත් විද්යාඥයාට විරුද්ධ මතධාරී විද්යාඥයෙකු විසින් එල්ල කළ ඇනුම්පදයක ප්රතිඵලයක් වශයෙනි.

1900-1920 යුගය වන විට විශ්වයේ උපත පිළිබඳව ලොව පුරා පැතිරී තිබූ මතය වූයේ විශ්වය යනු ස්ථිතික ව්යුහයක් බවයි. එනම් විශ්වය අතීතයේදී පැවතුණු ආකාරයෙන්ම වර්තමානයේදීත් පවතින බවත්, අනාගතයේදීත් එය නොවෙනස් වන බවත් එකල විශ්වාස කෙරුණි. වෙනකක් තබා ඇල්බට් අයින්ස්ටයින් විසින්ද මෙම මතය පිළිගන්නා ලදී. (එහෙත් පසුව ඔහු විශ්වය ස්ථිතික නොවන බව පිළිගත්තේය.) කෙසේ හෝ මහා පිපිරුම් වාදයට මූලික පදනම වැටෙන්නේ 1912දී වෙස්ටෝ සිල්වර් නම් ගණිතඥයා විසින් සර්පිලාකාර මන්දාකිණියක ඩොප්ලර් ආචරණය නිරීක්ෂණය කිරීමෙනි. මෙහිදී ඔහු සොයා ගනු ලැබූයේ මෙම මන්දාකිණිය කෙමෙන් පෘථිවියෙන් ඈතට ගමන් කරමින් ඇති බවයි. පසුව 1922දී අයින්ස්ටයින්ගේම සාපේක්ෂතාවාදය උපයෝගී කර ගනිමින් ෆ්රීඩ්මාන් සමීකරණය ඉදිරිපත් කළ රුසියානු ජාතික විද්යාඥ ඇලෙක්සැන්ඩර් ෆ්රීඩ්මාන් විසින් ‘ස්ථිතික විශ්වය’ සංකල්පයට එරෙහිව පළමු වෙඩිමුරය දල්වන ලදි. විශ්වය ප්රසාරණය වෙමින් ඇති බවට තර්ක කෙරෙන ෆ්රීඩ්මාන් සමීකරණය ඇසුරු කරගන්නා බෙල්ජියම් ජාතික කතෝලික පූජකවරයෙකු හා විද්යාඥයෙකු වූ ජෝජ්ස් ලේමාටර් මහා පිපිරුම් වාදය ඉදිරිපත් කරන්නේ 1927 වසරේදීය.

මහා පිපිරුම් වාදයට අනුව ආරම්භක අවස්ථාවේදී මුළුමහත් විශ්වයම පැවතියේ ලක්ෂ්යාකාර වස්තුවක් ලෙසය. මෙය ලේමාටර් විසින් ‘ආදිකල්පික පරමාණුව’ (Primeval Atom) ලෙසින් හඳුන්වන ලදී. (වර්තමානයේදී මෙම අවස්ථාව Singularity ලෙසද හැඳින්වේ.) ආරම්භක අවස්ථාවට පෙර කිසිවක් පැවතුණේ නැත. අධික ඝනත්වයකින් හා අධික උෂ්ණත්වයකින් යුතු වූ මේ ලක්ෂ්යාකාර විශ්වය ඉතා ශීඝ්රයෙන් ප්රසාරණය වීම ආරම්භ වූ මොහොතේදීම කාලයද ආරම්භ වුණු බවට අනුමානයන් ඉදිරිපත් කෙරී තිබේ. ආරම්භක අවස්ථාවේදී සහ ඉන්පසු තවත් කාලයක් ගත වන තුරු විශ්වය තුළ පැවතියේ ‘හයිඩ්රජන් ප්ලාස්මාව’ නමින් හැඳින්වෙන උණුසුම්, සුදු පැහැ දුමාරයක් පමණි. කල් යත්ම කෙමෙන් විශ්වයේ ඝනත්වය හා උෂ්ණත්වය අඩු වූ අතර එහි තිබූ ප්රෝටෝන (ධන ආරෝපිත උප පරමාණුක අංශු) සහ ඉලෙක්ට්රෝන (ඍණ ආරෝපිත උප පරමාණුක අංශු) එක් වී නියුට්රෝන (උදාසීන උප පරමාණුක අංශු) බිහි වීම සිදු විය. වසර දහස් ගණනක් තිස්සේ පැවතුණු මෙවැනි සංකීර්ණ රසායනික ක්රියාවලීන් සමග කෙමෙන් කෙමෙන් ආකාශ වස්තූන්ද නිර්මාණය විණ.

විශ්වය කොතරම් ප්රසාරණය වුවද, ඒ තුළ ඇති ආකාශ වස්තු ප්රසාරණය වීමක් සිදු නොවේ. උදාහරණයක් ලෙස අප සිටින ක්ෂීරපථ මන්දාකිණිය සහ අසල්වැසි ඇන්ඩ්රොමීඩා මන්දාකිණිය සැලකුවහොත්, විශ්වය ප්රසාරණය වීමේදී මන්දාකිණි දෙක ප්රසාරණය වීමක් සිදුවන්නේ නැත. සිදු වන්නේ මන්දාකිණි දෙක එකිනෙකින් ඈත් වීම පමණි. මෙම ක්රියාවලිය උඳුනක පිපෙමින් ඇති කේක් ගෙඩියක් තුළ ඇති වියළි මිදි වලට සමාන කළ හැකිය.
මෙම වාදයට අනුකූලව විශ්වයේ අනාගතය ගැන පළ කෙරුණු මත කිහිපයක්ම ඇත. (වාදය සොයා ගත්තේ ජෝජ්ස් ලේමාටර් වුවද, පසුව විවිධ කාල වලදී විවිධ විද්යාඥයන් තම අදහස් හා සොයාගැනීම් වලින් එය පෝෂණය කළ බව අවධාරණය කරගත යුතුය.) ඉන් කිහිපයක් පහත දැක්වේ.

විශ්වය දිගින් දිගටම ප්රසාරණය වෙමින් පවතිනු ඇති අතර යම් අවස්ථාවක ප්රසාරණය විය හැකි උපරිම සීමාව පසු කරමින් සියළුම ආකාශ වස්තූන්ද සමග බිඳ වැටෙනු ඇත. (මෙය Big Crunch නමින් හැඳින්වේ.) ඉන්පසු එය නැවතත් ආරම්භක අවස්ථාවේදී මෙන් ඝනත්වයෙන් හා උෂ්ණත්වයෙන් ඉහළ තත්ත්වයකට පත් වී මහා පිපිරුම් ක්රියාවලිය නැවත පුනරාවර්තනය වනු ඇත.
විශ්වය දිගින් දිගටම එහෙත් අඩු වන වේගයෙන් ප්රසාරණය වෙමින් පවතිනු ඇති අතර එහි අවසානයක් හෝ බිඳ වැටීමක් සිදු නොවනු ඇත. නමුත් තාරකාවන් තම ජීවන අවධි පසු කරමින් ක්රමයෙන් නියුට්රෝන තාරකා, කළු කුහර හා වාමන තාරකාවන් බවට පත් වනු ඇත. මේවා අතර ඇති වන ඝට්ටනයන් මගින් වඩාත් විශාල කළු කුහර බිහි වී අවසානයේදී කළු කුහර වලින් පමණක් සමන්විත, ශක්තිය කිසිදු ආකාරයකින් සංසරණය කළ නොහැකි, උෂ්ණත්වය නිරපේක්ෂ ශුන්යයට (කෙල්වින් 0/ සෙල්සියස් අංශක -273) සමාන වූ විශ්වයක් ඉතිරි වනු ඇත. මෙම අවස්ථාව Heat Death ලෙස හැඳින්වේ.

තාරකා විද්යාඥ ෆ්රෙඩ් හොයිල් වරක් BBC ගුවන්විදුලිය සමග කළ සම්මුඛ සාකච්ඡාවකදී “ලේමාටර් කියන විදියට විශ්වය ඇති වුණේ මහා පිපිරීමකින් කියල විශ්වාස කරන්න පුළුවන්ද?” යනුවෙන් අපහාස මුඛයෙන් කතා කළේය. විශ්වයේ උපත පිළිබඳව ලේමාටර්ගේ වාදය ‘මහා පිපිරුම් වාදය’ වූයේ ඉන්පසුවයි. කෙසේ වෙතත් ඉන් වසර කිහිපයකට පසු එඩ්වින් පවෙල් හබල් තම නිරීක්ෂණ අනුසාරයෙන් ඉදිරිපත් කළ හබල් නියමය සහ 1964දී ඇමෙරිකානු තාරකා විද්යාඥයන් දෙපළක් වූ රොබට් වුඩ්රෝ විල්සන් හා අර්නෝ ඇලන් පෙන්සියස් විසින් සොයා ගනු ලැබූ අන්තරීක්ෂ ක්ෂුද්ර තරංග පසුබිම් විකිරණය (Cosmic Microwave Background Radiation) සමග මහා පිපිරුම් වාදය වෙනත් වාදයන් අභිබවා විද්යාත්මක ලෝකයේ පිළිගැනීමට ලක් වුණි.

#රවිඳු යුගාන්ත

LEAVE A REPLY