කවුළු දොර- ඉරේෂා මධුවන්ති

0
41

අන්ධකාරයට දෑස් මානමින් රෑහි හඬ හා මුසුව වේදනාවෙන් විලි ලෑ රාත්‍රිය විසින් පාන්දර හිරු කිරණ වැටී එද්දී ⁣එක් කුඩා දියණියක බිහිකර උන්නාය.. පැරණි කඩමාල්ලක ඔතා උන් සිඟිත්තිය කුටිය දොරකඩ පඩියෙහි දුහුවිල්ල නැහැවෙමින් මහ හඬින් හඬමින් උන්නාය.. පාන්දර මාළු ඔලුවක් කුස්සියකින් ඩැහැගත් කපුටියක් ඒ හැඬුමෙන් තිගැස්සී තම දඬමස හොටින් ගිලිහුනෙන් ඈත අත්තික්කා ගසකට ඉගිල ගියේ බැනුම් වැස්සක් දැරිය මත හෙලමිනි.. අරුණැල්ල අතින් ගෙන එහෙ මෙහ ගිය සෙනග කුතහලය මුසු ඇස් බැලුම් දැරිය වෙත විසි කරමින් කඩිමුඩියේ ඇවිදිමින් දුහුවිල්ල අවුස්සා දැමූහ.. ඈ හැඬුවාය.. මහ හඬින් හැඬුවාය.. තම කඳුලෙන් පෙඟුනු කඩමාල්ලෙන් වහනය වූ දා සුවඳක් දැනී ඈ තවත් හැඬුවාය…

ලොවම නිහඬ වූ එක් මොහොතක…….,

දේවාලයේ දොර මදක් විවර විය.. සිඟිත්තිය දෝතින්ම ගත් ඔහු තමා මෙතෙක් වැඩහුන් පුවරුව මත ඈ තැබුවේය.. කාලාන්තරයක් තිස්සේම මිනිසුන්ගේ දුක් අඳෝනාවන්ගෙන් කම්පිත වූ හදවතට දැරිය වත්තම් කරගත්තේය.. මැට්ටෙන් තැනුන තම පිරිමි තන පුඩුව සිඟිත්තියගේ මුවට ළං කලේය.. මිනිස් වර්ගයාගේ දුක් බරින් ඉතිරී යමින් තිබූ හදවත උණු වෙමින් ගලන හඬ ඇහෙද්දී දැරිය තම සිහින් දෙතොලින් ඒ දැඩි තන පුඩුව කෑදර ලෙස උරා බිව්වාය.. කුඩා වටකුරු දෑස ඔහුගේ මිණි දෑස වෙත යොමු කර සිහින් මන්දස්මින්තයක් පෑවාය.. මටසිලිටි කිරිකැටි දෑතින් රළු බාහුවක් අල්ලා බැලුවාය.. දුකින්ම උපන් ක්ෂීරයෙන් තම කුස පුරවාගත් සිඟිත්තිය ඒ රළු දෑත මත සුවැති නින්දකට පිවිසුනාය…
ඉදින්..,
කාලය ගත විය…

හිරු එළඹ යලි ගිලුනි.. ගස්වල ගස්වල මල් පිපී ඵල දරා පත් හැලුනි.. යළිත් ළපලු පත් පිරී මල් පිපී ඵල දරා පත් හැලුනි.. යළි යළිත්… යළි යළිත් ලෝකය තමා වටාම භ්‍රමණය වෙමින් කෙලවරක් නැති ගමනක යෙදී උන්නේය..

සිඟිත්තිය ඔහු පාමුල නිරන්තරවම කෙලිදෙලෙන් උන්නාය.. අඳුරු කුටිය වටා ළපටි පතුල් නුහුරට තබමින් ඇවිද ගියාය. ඔහු පාමුල තිබුනු නිවුණු පහනට තම දෙනෙත් කැලුමන් ඉසිමින් එය දැල්වූවාය..ඔහු පයෙහි එල්ලෙමින් නැගී සිට කිරි දසන් දක්වා සිනා පෑවාය.. පුදසුන මත තිබුනු තද රතැති කොමඩු කෑල්ලක් ඔහු පයෙහි ඉලුවාය.. සුවඳින් කුටිය සරසන පිච්ච මල් ගෙන ඔහු වෙත දමා ගසා ඒවා යළිත් තම හිස මත පතිත වෙනු දැක මහ හඬින් සිනාසුනාය.. ⁣කුටියෙහි බිත්ති අතර ඒ සිනා හඬ රැවි පි ලිරැව් දෙන හඬට තවත් සිනාසුනාය…
ඔහුද….,

සහසක් මිනිසුන්ගේ ශෝකාලාපයන් උසුලා කම්පිත වූ හදවත මදින් මද උණුහුම් වනු දැනී වඩා විමසිලිමත් විය.. කළු බැඳී මකුලු දැල් පිරි දෙතොලින් නුහුරු සිනාවක් නැගීමට තැත් කලේය.. ඈත දොර කවුළුවෙන් එපිට මිනිසුන් දෙස බලා උන් දෑස කුඩා කුටියෙහි දුව ඇවිදින පැටවියටම යොමු කලේය.. පා පැකිල වැටී ඉකිලන ඈ තම පපුතුරේ හොවාගෙන නැලවිලි ගී කිව්වේය…
ඉනික්බිති….,

ඒ එක්තරා හිමිදිරිය එළඹිනි.. ඇය දුටුවාය.. මෙතෙක් ඔහු හා උන් කුටියට දොරක් ඇති වග දුටුවාය… පහන් සිලට වඩා විසල් ආලෝක ධාරාවක් ඊට එපිටින් ඇති වග ඈ දුටුවාය.. උළුවස්සට වාරු වූ ඈ ඈ දුටුවේ පිපුනු මලකටපවන් සලනා තුරුපත්ය… වර්ණවත් තටු විදා ඉගිලෙන සමනල්ලුය.. තම පුතුන් බඩතුරේ හොවාගෙන දුව පනින වැඳිරියන්ය.. නෙක රුවැති ඇඳුමින් හැඩව කෙලිදෙලෙන් ඇවිද යන හැඩකාර කෙල්ලන්ය..

ඈ හැරී කුටිය දෙස බැලුවාය…
එය අඳුරුය.. අන්ධකාරය තුල ගල් ගැහුනු ඔහුය.. ධූමයන්ගෙන් හා මලානික පහන් සිලෙන් පිරී ඇති කුටිය තුල සෘජුව සිටගෙන සිටින ඔහුය.. කල්ප කාලයක් තනිවම සිටින ඔහුය.. ගුලි ගැහුනු වේ රැහැ පමණක්ම නවතින මනුස්ස දුක් දොම්නසින් පිරී ගිය කුටියක දුකම කරපින්නා ගත් ඔහුය.. උත්තරීතර සෙනෙහසක් කිරට හැරවූ ඔහුය…

ඈ යළිත් බැලුවාය, ආලෝකමත් වූ කොලවරක් නැති මාවත දෙස.. හැරී බැලුවාය, මැට්ටෙන් නිර්මිත ඒ මුහුණ දෙස …
ඈ…

උළුවස්සට බර දී තමන්ගේම පා ඇඟිලි දෙස බලමින් කුඩා වටකුරු දෑස අගින් ගිලිහුනු කඳුළු බෝලයක් දොරකඩ පඩියෙහි දුහුවිල්ලට මුහුවන හැටි බලා උන්නාය.. ඈ යළිත් බැලුවාය.. ආලෝකය දෙස…. හැරී බැලුවාය, අඳුර දෙස… යළිත් තම දෙපය දෙස…

-ඉරේෂා මධුවන්ති-
(කිරිකවඩි කොදෙව්වක සිට)

LEAVE A REPLY