නුඹව මට මං නුඹට ලංකල එදා වැස්සම වැහැපුදෙන්-වින්ද්‍යා ඉෂානි

0
45

අතීත මතකයන්හි සෙවණැලි තවමත් හිත පුරා සිතුවම් අඳිමින් හිඳී..ඒවාගෙන් ආත්මයම පිරීගියද සෙවණැල්ල සෙවණැල්ලමය..ගුප්ත පැහැය ඇරෙන්නට වර්ණ රටා කොයින්ද?අඳුරු සෙවණැල්ලක් වර්ණවත් කරන්නට හැකිනම් එදිනට මේ කළු සුදු සහ අළුපැහැ මන්දාරම මා කෙරෙන් පළායනු ඇත…….

මා මිහිපිට පහළවූයේ අවර්ණව නොවූවත් ඔබ නිසාවෙන් ඇස් අස්සේ ගැලූ මහා ගංවතුර වාන් දමාලූයේ සියලු පැහැයන් දියකරමින්..අදටත් සෝදගෙන යාමට පැහැයක් නැතත් ඒ කදුළු මොහොතින් මොහොත අලුත් වෙයි…..

වැඩපළේ ඇණ මුරිච්චි හා මජං වලටද මට මෙන්ම පැහැයක් නැත.හරියටම කියනවානම් ඒවා අවපැහැය..දැන් මහ අනෝරා වැස්සකට තෙමුණද ඒවාට මෙන්ම මටද දියව යන්නට පාටක් නැත..ටකරං හා යකඩ ගොඩවල් මතට වැටෙන වැස්සට මා ද රිසිසේ තෙමෙමි..මට වැස්සට හංගන්නට දෙයක් නැති වුවද වැස්සට මාගේ ඉකිබිඳුම ලොවෙන් සැඟවිය හැක… ඇගේ ඉකිබිඳුම මටත් නෑසෙන්නට ඇයත් මේ වැස්සටම තෙමෙනවා ඇත… එකම අහසෙන් වැටෙන ඒ වැහිදියවැල් මඟින් හෝ අපේ බැඳීම එකට බැඳේනම්…

ඇතැම් ආම්පන්න මෙන්ම වාහන කොටස්ද කොන්ක්‍රීට් පොළව පුරා මළකඩ රටා මවා ගොසිනි….අපේ ආදරයද එසේ මළබැඳී ගොස්ද..නැත එය කෙතරම් මුවහත් වුවහත් ඒ මුවහත කෙතරම් හිත පෑරුවත් ඒ උතුම් ආදරය මළබැඳී යා දිය නොහැක…….

ඇය මගේ හිතේ ලැගුම් ගත්තේ නිවැසියෙකු ලෙස මිස අහිකුණ්ටකයෙක් ලෙස නොවේ..මා ද අහිකුණ්ටකයෙක් නොව ඇගේ නැවතුම්පොළේ හිමිකරුවාම පමණි..

වර්ණ සෙවනැල්ලක් වෙනුවෙන් වෙහෙසිය යුතුව ඇත..මා නැවතත් මජං රටා අතර වර්ණ සෙවණැලි සෙවීමට වාහනය තුළට එබුණෙමි.

නුඹම හිත ලඟ රැඳුනාදෙන්
හිතම මතකෙන් පිරුනාදෙන්
මතක කඳුලින් තෙමුනාදෙන්
ඒ කඳුල මගෙ ලඟ තිබුනාදෙන්…

නුඹව මට මං නුඹට ලංකල
එදා වැස්සම වැහැපුදෙන්
දැවී අලුවෙන මතක ගින්නේ
නිවී සැනහෙන්නට හිතාගෙන
මං වගෙම තනියෙන් නුඹත්
වහින වැස්සට තෙමුනාදෙන්..

නවාතැන්පල නුඹට ඉදිවුන
නැවතුනාදෙන් එහිම නුඹ තව
මැකී නොයනා හිතේ හැංගෙන
සොඳුරු යටගිය මතකයන් මැද
මගෙ වගෙම නුඹෙ හිතත් රහසින්
අතීතය රිදවාපුදෙන්….

– Vindya Ishani –

LEAVE A REPLY