“නාකියා ..උඹ මැරිච්ච එකාගැන හිත හිතා ඉන්නවා.. දුව යනවා වේස කමේ…”- පුරහඳ කළුවරද?

0
695

ප්‍රසන්න විතානගේ අධයක්ෂණය කරනු ලැබූ පුරහඳ කළුවර සිනමා පටය ජෝ අබේවික්‍රම,ප්‍රියන්තා සමරවීර, නයනා හොට්ටිආරච්චි, කුමාර කරුණානන්ද, හර්ෂජිත් අබේසුන්දර, මහේනද්‍ර පෙරේරා වැනි ලාංකේය සිනමාවේ පතාකයින් පණ පෙවූ උත්කෘෂ්ඨ නිර්මාණයකි.

මෙහි දිග හැරෙන කතාව සංක්ෂිප්තව ගතහොත් මෙසේය. දෑස් අඳ වන්නිහාමිගේ එකම පුතු බණ්ඩාර හමුදා සෙබ‍ලෙකි. වන්නිහාමිගේ වැඩිමහල් දියණිය විවාහ වී වෙනම සිටියි. ඔහුගේ බාල දියණිය සුනන්දාගේ විවාහ කටයුත්ත කර දීමට හා ග්‍රාමසේකගෙන් මුදල් උගසට ලබාගෙන ඇරඹූ නව නිවසේ වැඩකටයුතු නිම කිරීමට මුදල් උපයා ගැනීමේ අරමුනෙන් බණ්ඩාර සේවයට ගොස් ඇත. ඔහු යුධ බිමේදී මරණයට පත්ව ඇතැයි කියමින් ඔහුගේ සීල් තැබූ මිනී පෙට්ටිය නිවසට ගෙනවිත් එහි අවසන් කටයුතු සිදු කරයි. බණ්ඩාර එවනු ලැබූ ලිපියක්ද ඒ අතර නිවසට පැමිනෙයි. තම පුතා මියගොස් නැතැයි විශ්වාස කරන වන්නිහාමි රජයේ වන්දි මුදල ද ප්‍රතික්ෂේප කරයි. පසුව මිනි පෙට්ටිය ගොඩ ගෙන බැලීමට වන්නිහාමි පෙළඹෙයි. එහි ඇත්තේ කෙසෙල් කඳන් හා ගල් කීපයක් පමණි.

අඩු දෙබස් ඛණ්ඩයන් සහිතව සෙමින් ගමන්ගන්නා සංකීර්ණ හා කලාත්මක රූපරාමුවලින් සමන්විතව දිවෙන මෙම සිනමා පටය ලාංකේය සිනමාවේ සංදිස්ථානයක් සනිටුහන් කරයි. මෙහි ජෝ අබේවික්‍රමයන්ගේ රංගනය අතිවිශිෂ්ඨය. සංකීර්ණ හැඟීම් පිළිබිමු කිරීම හා භාවෝද්දීපන හැකියාව එයට සාක්ෂි සපයයි.

1999 වර්ෂයේ ප‍්‍රංශයේ පැවති අමියොන් චිත‍්‍රපට උලෙලේ දී හොඳම චිත‍්‍රපටයට හිමි වන ග්‍රෝන් ෆී‍්‍ර සම්මානයත්, හොඳම ආසියානු චිත‍්‍රපටයට හිමි වන නෙට් පැක් සම්මානයත්, අන්තර්ජාතික ෆී‍්‍රබු චිත‍්‍රපට උලෙලේ දී අන්තර්ජාතික විචාරක සම්මානය හා එම වසරේ ම අන්තර්ජාතික සිංගප්පූරු සම්මාන උලෙලේ දී හොඳම නළුවාට හිම සම්මානය වන්නිහාමි චරිතයට පණ පෙවූ ජෝ අබේවික‍්‍රමයන්ටත් ලෙස සම්මාන හිමි වීමෙන්ම මෙම සිනමා පටයේ සාර්ථකත්වය මොනවාට පසක් වේ.

ගමයි පන්සලයි වැවයි දාගැබයි නිර්මිත වූ පරිසරයක කුරුල්ලන්ගෙ කිචිබිය සමඟ උදා වන හිමිදිරිය කොයි තරම් මනරම්ද? පුර හඳ කළුවර සිනමා පටයේ පළමුවෙනි දසුන් පෙළ එයට සාක්ෂි සපයයි. එම සුන්දරත්වයට කැළලක් ඇති කරන සුළු ය ඈත සිට පැමිනෙන මෝටර් රථයේ දරුශනය. බල්ලෙකු පාර මාරු වීම ඈතින් දරුශනය වීමඑම අරුත තීව්‍ර කරයි. ශ්‍රව්‍ය දෘශ්‍ය නිර්මාණයක් වන සිනමාවේ අර්ථ බාහුල්‍යට සමත් සංකේතානුසාරි රෑප රාමු භාවිතය මෙම චිත්‍රපටය පුරාම දැක ගත හැකිය. එමෙන්ම කෘතිම ශබ්ද ප්‍රයෝගාදිය පසෙකලා ස්වභාවික පරිසරයේ හඪට සහෘද ප්‍රේක්ෂකාගාරය අවධි කිරීමට සමත්වන බවට තවත් උදාහරණ කුමකටද?

අසීමිත පීතෘ ස්නේහයේ සිට යුදමය සමාජ පරිසරයක ආර්ථික දර්ද්‍රතාවට පිළියම් සෙවිමට යොදා ගන්නා ක්‍රමවේදයන් හා ධනේශ්වරයේ ගැත්තන් මනුසත් කම් උගසට තැබීම හා පාලක පන්තියේ දීර්ඝ කාලීන රැවටීම්වලට බඳුන්වන අහිංසක ජීවිත පිළිබඳව කලාත්මක භාවිතයක් චිත්‍රපටයෙන් චින්තන දෘෂ්ටියට නතු කෙරෙයි.

වන්නිහාමි පා තබන්නේ දිය ඉල්ලා අහසට මුව විවර කර සිටින් කාශ්ටක පොළවටයි. ඔහු පා තබන ආකාරයෙන් දෑස් අඳ පුද්ගලයෙකු බව සිනමා පටයේ මුල් දර්ශන කීපයෙන්ම ප්‍රේක්ෂකයාට වැටහීමක් ඇති කරවයි.

“කිව්වනම් මං වතුර බූලියක් ගෙනැත් දෙනවනෙ..”

“උඹ හිතුවද බොල මට අංශභාගෙ කියලා?”

මියෙන තුරා ජීවිත සටන ධෛර්යයෙන් ගෙන යා හැකි පරිණත ගැමි පෟර්ෂයේ ස්වාධීනත්වයේ අධීපති ප්‍රකාශයකි එය. වන්නිහාමි දෑස් නොපෙනුනද හාත්පස පරිසරය පිලිබඳ සවිඥානය සාමාන්‍ය දෑස් පෙනෙන පුද්ගලයින්ට වඩා වඩා ඉහළ ස්ථානයක රැඳෙයි. වැසි වැටෙන දිනය ගැන පවා ඔහු කිසිම සැකයක් නැතිව විශ්වාසයෙන් අනාවැකි පල කරයි.

බණ්ඩාර කතාවේ ප්‍රධාන චරිතයකි.. නමුත් ඔහු කවුදැයි දැක බලා ගැනීමේ ප්‍රේක්ෂක කුතුහලය අවසනය තෙක් පවතින නමුත් අධ්‍යක්ෂකවරයා එය ඉටුකරන්නේ වෙනස් ආකාරයටය. ඒ බණ්ඩාර පිළිබඳ පරිකල්පනීය පෞරුෂය තුළින් ප්‍රේක්ෂක මනසේ ඔහුගේ රුව රසවින්දනයේ හා සිනමා පඨනයේ ස්වරූප අනුව විවිධාකාරයෙන් ඇඳී යෑමට අවකාශ සැළසීමෙනි.

තම එකම පුතණුවන්ගේ , තම පවුලේ බර කරට ගෙන පවුලම ගොඩ දැමීමට යුධ වැදුණු ආදරණීය පුතණුවන්ගේ මලසිරුර රැගත් මිනී පෙට්ටිය තම නිවසට ඇතුළු කිරීමට පිරිසක් උත්සුක වන ආකාරය, පහත් කරන්න ..පොඩ්ඩක් පස්සට ගන්න… වැනි ඔවුන්ගේ වචන සහ තම දියණිය සුනන්දාගේ නොනවතින හැඬුම වන්නිහාමිගේ සිතෙහි ඇති කළ කම්පනය ඉතාමත් භාවපූර්ණ රංගනයක් බව ඒ අවස්ථාවේ එම චරිතයට පණ පෙවූ ජෝ අබේවික්‍රමයන්ගේ මුහුනේ හැඟීම් කියාපායි.

පුරහඳ බැබළෙන පොහොය ඔවුන්ගේ ජීවිතවලට සෞම්‍ය ආලෝක කිරණ විදිදෙව්වේ නැත. බල්ලන් උඩු බුරන හැඬුම්බර මූසල රාත්‍රිෙයහි අඩු සීල් තැබූ මිනී පෙට්ටිය නිවැසියන්ට තම සහෝදරයා අවසාන මොහොතේ දැක බලා ආචාර කිරීමට ඇති අවස්ථාවද අවාසනාවන්ත ලෙස අහිමි කරනු ලැබීය.

“උන්ගෙත් බර ගාණක් ගිහිල්ලා..රූපවාහිනිය කිව්වා අපට වඩා උන්ට හානිවෙලැයි කියලා..” ග්‍රාමසේවකගේ එම වදනින් ධ්වනිත වන්නේ ඔහුට මැරුණු පුද්ගලයා පිළිබඳ සංවේගය දෙවැනි කොට පැණ නැගුණු සියුම් සංතෝශයයි. ඒ සතුරන්ගේ මිය යෑමේ ප්‍රමාණය පිළිබඳව රූපවාහිනි මිත්‍යාවයි. මානව ජීවිතයට ඒ තරම් අඩු වටිනාකමක් හිමිවීමේ ඛේදවාචකයයි ඒ. එමෙන්ම අධිපති බලවතුන් විසින් අහිංසක ගැමි තරුණයින්ගේ ජීවිත බිළගෙන අඩු තරමේ ඒවාට වටිනාකමක් වත් නොදීමේ ඛේදවාචකයයි.

වන්නිහාමිගේ අනාවැකිය සනාථ කරමින් මාස ගණනාවක නියඟයකින් පසු වැසි පතිත වූයේ  මිනී පෙට්ටියත් නොතෙම්මා ආරක්ෂා කිරීමට නොහැකි ආකාරයෙන්ය. දිළිඳු නිවසේ සිදුරු වහලෙන් නවස ඇතුළත තෙමී සේදී යයි. ඒ සියලු අවස්ථාවන්හි වන්නිහාමිගේ මුහුණේ ඇඳෙන භාවයන් ප්‍රේක්ෂක හැඟීම් අනුවේදනීය සීමාවෙනුත් ඔබ්බට ගෙන ගොස් හදවත රිදුම් නංවයි.

බණ්ඩාරගේ මරණය වෙනුවෙන් ආණ්ඩුවෙන් ලැබෙන රැපියල් ලක්ෂයක වන්දි මුදල ලබා ගැනීම බණ්ඩාරගේ නිවසේ කිසිවෙකුත් කැමති දෙයක් නොවේ.. නමුත් ආර්ථික දුෂ්කරතාව නිසා එම මුදල ලබා ගැනීමට වන්නිහාමිගේ දියණියන් දෙදෙනා , බෑනා සහ සෝමේ සිදුකරන උත්සාහය වන්නිහාමි ප්‍රබල ලෙස ප්‍රතික්ෂේප කරයි. වන්නිහාමිගේ ඇඟිල් අත්සන නොතැබීම හේතුවෙන් එම උත්සාහය ව්‍යයර්ථ වෙයි. තම පුතණුවන් තවමත් ජීවතුන් අතර සිටින බවට වන්නිහාමි දැඩිව විශ්වාස කරයි. ඔහුගේ එම විශ්වාසය තහවුරු වන සාධක ඔහු විසින්ම නිරන්තරයෙන් මතු කොටගනියි. අවමංගල්‍ය සිදු කර අවසාන වී දින කීපයකින් පසු බණ්ඩාගෙන් ලිපියක් ලැබීම, මරණය සීල් තබා තිබීම නිසා කිසිවෙකු මිනිය හඳුනාගෙන නොතිබීම ආදී සාධක නිසා ඔහුගේ විශ්වාසය තවත් දැඩි වෙයි. ජීවත්ව සිටින්නෙකු වෙනුවෙන් මරණ වන්දිය ලබා ගැනීම ඉතාම නින්දිත ක්‍රියාවක් ලෙසය වන්නිහාමිගේ හෘද සාක්ෂිය පවසනුයේ.. නමුත් ග්‍රාමසේවකට අවශයව ඇත්තේ වන්නිහාමිගේ මුදල ලබා දී වන්නිහාමි විසින් නිවසේ සැදීමට ග්‍රාමසේවකගෙන් ලබා ගනු ලැබූ උකස් මුදල පියවා ගැනීමයි. දුප්පතෙකුට හිමි විය යුතු මුදල ලබා දීම වෙනුවෙන් සිදුකරන සාධාරණ උත්සාහය නොව ධනපති ගැති ග්‍රාමසේවක මහතා තම මුදල අතට ගැනීමට වෙහෙසෙයි.

වන්නිහාමි ගමේ පොළට ගොස් තම පුතණුවන් වෙනුවෙන් කමීසයක් මිලදී ගැනීම ප්‍රෙක්ෂක මනස සහකම්පනයේ හිනිපෙත්තට ගෙන යයි. මේ වන විට පුතා මැරී ඇතැයි යන්න විශ්වාස නොකිරීමට ප්‍රේක්ෂකයාට අවස්ථාවක් එළඹෙන්නේ නැත. වන්නිහාමිගේ විශ්වාසය පුත්‍ර ස්නේහයට සම්බන්ධ කොට සිතා ප්‍රේක්ෂක ලතැවුල තවත් වැඩි වෙයි.

“ඔය පිංකමට කලින් ඒකා ගෙදර එනවා අපේ හාමුදුරුවනේ..”

තුන් මාසෙ දානෙ ගැන විමසූ පන්සලේ හිමිනමට වන්නිහාමි පිළිතුරු බඳින්නේ ඒ අයුරිනි.

වන්දි මුදල ලබා ගැනීම සම්බන්ධයෙන් පියාගේ අකමැත්ත හමුයේ ඔහුගෙන් ඒ පිළිබඳව ප්‍රශ්න කිරීමට තරම් ධෛර්යමත් නොවන පියාගේ හැඟීම් හොඳින් තේරුම්ගත් , වන්නිහාමිගේ බාල දියණිය සුනන්දා ඇඟළුම් කර්මාණ්ත ශාලාවක රැකියාවකට යයි. ඒ පිළිබඳව කෝපයට පත්වන ඇගේ පෙම්වතා වන සෝමේ ගේ මෙම වදන සිනමාපටය පුරා ඇති එකට උද්වේගී වැකියයි.

“නාකියා ..උඹ මැරිච්ච එකාගැන හිත හිතා ඉන්නවා.. දුව යනවා වේස කමේ…”

“මං වේස කමේ ගියේ නෑ.. මං ගියේ රස්සාවකට..”

“උඹ රස්සාවකට යන්න ඕන නෑ..”

ඇය රැකියාවකට යෑම පිළිබඳ තම සෙනෙහෙවන්තයා අකමැති වන්නේ ඇයි? ඇගේ වෙහෙස වීම නිසා හටගත් අනුකම්පාව,තම අනාගත බිරිය ආරක්ෂා කරගැනීම ආදී හේතු කාරණා මත සිදුකරන ප්‍රකාශයක් මතු නොව පිරිමියාගේ ලිංගික ඉරිසියාව මුල් කොට ගත් පුරුෂාධිපත්‍ය එළඹුමයි.

පන්සලේ ස්වාමීන් වහන්සේත්, ග්‍රාමසේවක මහතා ප්‍රමුඛ ගැමියන් පිරිසක් වන්නිහාමිගේ නිවසට පැමිණ පවසන්නේ බණ්ඩාර වෙනුවෙන් බස් හෝල්ට් එකක් සෑදීමට සූදානම් වන බවයි..වන්නිහාමි පවසන්නේ , “කවුරු වෙනුවෙන් හරි එහෙම ඒවා නම් කරන එක හොඳයි අපෙ හමුදුරුවනේ..” යනුවෙනි.

 එය කොතරම් උත්ප්‍රාසජනක ප්‍රකාශයක්ද? වන්නිහාමිගේ නිවැසියන් කටුමැටි ගෙයි වහල හෙවිලි කර ගැනීමට වෙහෙස වෙද්දී ඔවුන් බණ්ඩාර වෙනුවෙන් යැයි පවසමින් බස් නැවතුමක් සෑදීමට යයි. එය සන්දර්ශනයක් මිස මැරුණු බණ්ඩාර වෙනුවෙන් අවංකව සිදු කරනුලබන සත්කාර්යයක් නොවේ.. මන්ද ඔහුගේ නිවැසියන්ගේ දුක මදක් තුනී කිරීමට කිසිවෙකු උත්සාහ කළ හොත් එයයි බණ්ඩාර වෙනුවෙන් කළ හැකි උපරිමය.. මෙහිදී බණ්ඩාර රැකියාවට ගියේ රට බේරා ගැනීමටද? නැතිනම් පළමුව තම පවුල බේරාගෙන සිටීමටද යන්නට පිළිතුර ඔබට ලැබෙනු ඇත.

“අප්පච්චි හදන්නෙ ජීවත්වෙලා ඉන්න එවුන්වත් නැති කොරන්ට..,”

සැරයටිය තබමින් ඉදිරියට ඇදෙන වියපත් දෙපා මොහොතක් නතර කරවීමට එම වදන ප්‍රබල විය.. වන්නිහාමී පුතාගේ සොහොන අසලට ගොස් ඇලවෙන්නේ ඉන් පසුවයි. නිවසට රැගෙන ගොස් දෙහි කැපීමේ ශාන්තිය වන්නිහාමිට සිදුකරන්නෙ වන්නිහාමි කිසියම් ආවේසයකින් සිටිනවා යැයි ගෙදර අය සිතන නිසා විය යුතුයි. නමුත් එකඳු වදනක් නොදොඩා වන්නිහාමි ඒ සියල්ල ඉදිරියේ ඉවසා කරබා සිටියි. නමුත් ඔහුගේ චින්තර ධාරා ඈතට පැතිර පවතින බව වන්නිහාමිගේ මුහුණේ ගැඹුරු භාවයන් සාක්ෂි සපයයි.

වන්නිහාමි උදැල්ල කර තියාගෙන බණ්ඩාරගේ සොහොන වෙත ඇදෙන්නේ ඒ විප්ලවය සිදුකීරීමේ එඩියෙනි.. ඒ කවරක්ද? පුතාගේ මිනී වල හාරා එහි තම පුතා සිටිනවාදැයි හඳුනාගැනීමටයි. එය දැක එතැනට ගැමියන්ද එකතු වෙයි. “මාමට ඕන බලන්නනෙ.. මං ඒක ඇරලා පෙන්නන්නම්”සෝමේ පෙට්ටිය ඇර පෙන්වයි. එහි තිබෙනුයේ කුමක්ද..ගල් ගෙඩි සහ කෙසෙල් කොටන් පමණි. එකඳු අස්ථි කොටසක් හෝ එහි නොමැත..ගැමියන් ඒ දෙස බලා සිටිනු විනා වදනිකුදු නොදොඩයි..ග්‍රාමසේවකට ඇති වූ එකම පැනය වන්දි මුදල ලබාගැනීමයි..’ මොකද්ද තමුසෙලා මේ කරගත්තේ.. දැන් කොහොමද වන්දි මුදල ගන්නෙ..”මුදලම අරමුණු වූ මනුසත්කම සෝදාපාලුවට ලක් වූ පරම්පරාවක පුරුකකි ග්‍රාමසේවක මහතා.

අරම්භයේ සේම වන්නිහාමි සැරයටිය ඇණ ඇණ පා තබමින් දියට ඇදෙයි..බලාපොරොත්තුවේ අහඹු වැස්සක් ඇද හැලෙන්නේ දිය නාමින් සිටින කුඩා පිරිමි ළමුන් පිරිසකගේ සිනා හඬත් සමඟයි. එය වන්නිහාමිට තම පුතුගේ අතීතය සිහි කරවූවා විය හැකියි.. එමෙන්ම අනාගතයේ පුතනුවන්ගේ සම්ප්‍රාප්තිය පිලිබඳ බලාපොරොත්තුව විය හැකියි. පුරහඳ කළුවර වීම අරුමයක් නොවේ.. මෙය හුදෙක් යථාර්ථයේම ප්‍රතිනිර්මාණාත්මක එළඹුමකි.

සටහන –තරුෂි නවංජනා ලියනාච්චි

LEAVE A REPLY