“මම අවර්ණයි” – දිනූ රාජගුරු

0
32

“මම අවර්ණයි” ……

මගෙ තුනී කටහඬ සෙන්ටිමීටර කීපයක් පෙරලි පෙරලි ගිහින් බිම විසිරුණා .

“මම නිල් පාටයි ” …..

එයාගෙ කටහඬ ජනෙල් රාමුවෙනුත් එහාට පැනලා ඊයක් වගේ සරල රේඛීයව ඉහළ නැංඟා………..
ඒ පස්සෙන් දුවන්න හිතුවත් මොකක්දෝ හේතුවකට මගෙ ඇස් දෙක බොහොම සන්සුන්ව ආපහු හිටපු තැනම හරි බරි ගැහිලා තැන්පත් වුණා .

ඔව්….
මට හොඳටම මතකයි ……….
ඇඟිල්ල කෙලින්ම දික් කරලා ඒ දවස හරියටම පෙන්නන්න පුළුවන් ……………
අපි ඉඳගෙන හිටියෙ වෘත්තාකාර කිළිටි මේසයක දෙපැත්තෙ මූණට මූණ බලාගෙන .ඇත්තටම කීවොත් වෙන බලන්න පැත්තක් තිබුණෙත් නෑ ………
මුක්කුවකට හේත්තු වුණු නාකි සින්ක් එකකුයි …අංශක බර ගානක් ඇලේට බිත්තියේ එල්ලුණු ආබාධිත කෝක් දැන්වීමකුයි කියන්නෙ ප්‍රේමය අවුළුවන්න පුළුවන් දහන පෝෂක නෙවෙයි .

ඇයි වදේ අර මේසෙ මැද්දෙ අටවලා තිබුණු මැසි උගුල …………
ස්පොන්ච් කෑල්ලක් උඩ කෙලින් අතට හිටවලා තිබුණු පැණි බීම බටේ ඇලවිලා හිටියා මැස්සො කන්දරාවක්…
උන් රැවටෙන්න ඇත්තෙ මොනාටද ?
සමහරවෙලාවට ඒ පැණිවලට වෙන්න ඇති ……….
තාමත් පණ තිබුණු උන් තමන්ගෙ ලොකු ඇස්බෝල රවුමට රවුමට කැරකුවා.

ඕඩර් කරපු පේස්ට්‍රි දෙකයි නෙස්කැෆේ දෙකයි ලැසි ගමනින් මේසෙට එනකං එයා කතා කලේ නිල්පාට ගැන …………..
සර – සර ගාලා පේස්ට්‍රියේ කෑලි බිම හැලෙන එක වළක්වගෙන , පලමු හමුවීමේ නිස්කලංක බවත් රැකගෙන ඒක කන විදිය ගැන මම බරපතළ අභ්‍යාසයක යෙදෙද්දිත් එයා කතා කලේ නිල්පාට ගැන ……………..
අර කරදරකාරි පේස්ට්‍රිය එක්ක එයා කියපුවා බාගයක්ම කිළිටි මේසේ උඩයි මගෙ ඔඩොක්කුවෙයි හැළුණා තමයි .ඒත් ඉතුරුවා නම් මට කරස් කරස් ගාලා හැපිලා ගිළුණා.සීනිවැඩි නෙස්කැෆේ එකේ අවසාන උගුරත් බීවට පස්සෙ මම හිතුවා නිල්පාට තමයි ලෝකෙ එතෙක් මෙතෙක් බිහිවුණු ආකර්ෂණීයම පාට කියලා………
හිතුවා විතරක් නම් බැරියැයි …,මම එහෙම කිව්වා .එයා ඒකෙන් කොච්චරක් සතුටු වුණාද කීවොත් මට පුදුම හිතුනා ආදරේ කරන එක මේ තරම් පහසුද දෙයක්ද කියලා .

මගෙ ලෝකෙ හිස්තැන් නොතියෙන්න වග බලාගන්න එක එයාගෙ ආදරණීය වගකීමක්ලු.
එයා කීවෙ මට මල් මහන්න ඉගෙනගන්න කියලා .
අනේ ………,
කොහොමද මම තෙතක් නැති හීනි ඉඳිකටු තුඩකින් පුංචි පුංචි රෙදි කෑලි පාරන්නෙ ?………
බෑ……..
ඒක නම් බෑ…..

පහුවදා එනකොට එයා ගෙනාවෙ පින්සලක්..
ඒක තමයි මම දැකලා තිබුණු රූමත්ම හුරුබුහුටි පින්සල .රෝස පාට කැටයමින් හැඩවුණු පුංචි මිටේ හීනි ඇල අකුරින් ලියලා තිබුණා “ආදරෙයි” කියලා ………
ඉතින් මට කොයිතරම් නම් සතුටක් ඇනුනද කීවොත් දෙවෙනි වතාවටත් පුදුම හිතුණා ආදරේ මේ තරම් පහසුයිද කියලා .

එදා ඉඳන් තමයි මම නිල්පාට සායම් එක්ක හෘදයාංගම ගනුදෙනුවකට ගිවිසුම් අත්සන් කලේ.
දන්නවද …..
නිල්පාට කුරුල්ලෝ,නිල්පාට මාළු ,නිල්පාට හඳ,
ඇයි ………..
නිල්පාට මිනිස්සු ………

ආ……
නිල්පාට කවි …..නිල්පාට හීන …….නිල්පාට රාත්‍රීන් ……නිල්පාට හාදු …

දවස් ගොඩක් ගෙවෙන්න ඇති……..
කොයිතරම් උවමනාවෙන් සහ ගැඹුරෙන් මම ඒ වැඩෙත් එක්ක ඒකාත්මික වෙලා බද්ධ වෙලා හිටියද කීවොත් අසල්වැසියෝ කීවා මගෙ ඇස්වල කනිණිකාව පවා නිල් පාටයි කියලා .
එයාලා හිතුවෙ ඒ හේතුව හින්දා මගෙ පෙනීම ක්‍රමයෙන් මට අහිමි වෙලා යනවා කියලා ………
විකාර ….
මට හොඳට පෙනුණා…..
අඩුම තරමින් හොඳට පේනවා කියලා මම විශ්වාස කලා………..

ඒක හිතන්නවත් බැරි විශාල පදාසයක්…………
වැඩි දිස්නයක් ගන්න දෙපාරක්ම සායම් ඇතිල්ලුවටත් පස්සෙයි අහම්බෙට දැක්කෙ පොළොවේ මධ්‍ය ලක්ෂ්‍යයට සමාන්තරව සිග්-සැග් හැඩයේ ගැඹුරු පැල්මක් නිර්මාණය වෙලා කියලා .

“මට ඔයාව රවට්ටන අදහසක් තිබුණෙ නෑ ” …..

බරත් නැති සැහැල්ලුත් නැති එයාගෙ වචන හෙවණැලි පොරොවගත්තු අහුමුළු අස්සෙ හැංඟුණා.ගෙදර අයගෙ මිසක් අළුත් තෝරාගැනීම එයාගෙ නෙවෙයිලු……
ඒ වෙනකොටත් පින්සලේ තැවරුණු නිල් සායම් තිබුණෙ තෙතට.
මම ඒක දෙකට තුනට නවපු ලුහුඩු දැන්වීම් කොලයක ඔතලා එයාගෙ සාක්කුවට එබුවා……..

කිසිම සෘතුවකට අයිතිවාසිකම් කියන්න බැරි දවස් තිබුණා .ඒවා ඇස්පනාපිටම මහළු වෙලා ක්ෂය වුණා …….
දිරාපත් වෙලා ගැලවුණු පිට කබොළු සුවඳ කළු පසේ කිඳිලා අතුරුදන් වුණා……
එක්තරා මද්දහනක නිකමට කණ්නාඩියට එබෙද්දි ඇස් කණිනිකාවල ඇලිලා තිබුණු අර අසාමාන්‍ය නිල දියවෙලා.
වර්ණාවලිය තෙත පොළොවේ වැතිරිලා සිඟිති කැලෑමල් පොහොට්ටු එක්ක බරසාර කතාබහක්…
…………..

“මම අවර්ණයි” …..

මාස දහතුනකට පස්සෙ හුරු කටහඬක් පීරිගාගෙන ඇවිත් කන්වල හැප්පෙද්දි මම ශමෙල් ජයකොඩිගෙ ප්‍රංශ පෙම්වතා කියවමින් හිටියෙ…………
මිටි පියස්සෙ අව්ව තපිමින් හිටපු පොල්කිචි රංචුව ආගන්තුකයා දැකලා ඈතට තටු ගැහුවා. මට මතක් වුණේ ඉස්සරෝම දවසක මමත් එහෙම කියපු බව.වර්ණයකුයි හැඩයකුයි අහිමි තැනක යමක් තියෙනවා…..
දන්නවද ?…….
ඒක හරි බරයි….
ඒ වගේම ශූන්‍යයි…..

කළු සීතල ප්‍රතිචාරයක් වෙනුවට මට තිබුණා අභ්‍යන්තර උණුහුමකින් තෘප්තිමත් වුණු කෙටි අභිමානවත් උත්තරයක්.

” මම වෛවර්ණයි” …….

(( දිනූ ))

LEAVE A REPLY