2016 Rio ඔලිම්පික් උළෙලේ ශ්‍රී ලාංකික ක්‍රීඩා තරු 9දෙනා පිළිබඳ ඔබ දැන ගත යුතු දේ

0
451

බ්‍රසීලයේ රියෝ ද ජෙනයිරෝ නුවර පැවැත්වෙන 2016 ගිම්හාන ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා මේ වන විට සියලු කටයුතු සූදානම්. අගෝස්තු 05 වැනිදා අති උත්කර්ෂවත් අන්දමින් ඇරඹෙන මේ උළෙල අගෝස්තු 21 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි. ඔලිම්පික් ක්‍රීඩා වර්ග 38කින් සමන්විතව ලෝ පුරා කෝටි සංඛ්‍යාත ප්‍රේක්ෂකයන්ගේ අවධානය දිනාගන්නා මේ තරඟාවලිය සඳහා අපිටත් බලාපොරොත්තුවේ පුංචි ගිණිපුපුරු 9ක් තිබෙනවා.

මැරතන් (පිරිමි හා කාන්තා), හෙල්ල විසිකිරීම, බැඩ්මින්ටන්, ජූඩෝ, බර ඉසිලීම, පිහිණුම් සහ ඉලක්කයට වෙඩි තැබීම යන ක්‍රීඩා ඉසවු අටක් නියෝජනය කරමින් අපේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 9දෙනෙක් මෙවර ඔලිම්පික් උළෙල සඳහා තරඟ වැදීමට නියමිතයි.

සුවහසක් ශ්‍රී ලාංකීය ක්‍රීඩා ලෝලීන්ගේ අපේක්ෂාවන්,සුබපැතුම් සහ ආශිර්වාදය කැටුව ඔලිම්පික් භූමිය විජයග්‍රහණය කරන්නට සැරසෙන අපේ ඒ ක්‍රීඩා වීරයෝ 9 දෙනා ගැනයි මේ සටහන.

මෙවර ඔලිම්පික් ක්‍රීඩා උළෙල ජාතික රූපවාහිනිය සහ චැනල් අයි නාලිකා ඔස්සේද, Star Sports කේබල් නාලිකා ඔස්සේද ඔබට නරඹන්නට පුළුවන්.

1. අනුරාධ ඉන්ද්‍රජිත් කුරේ – මැරතන්

හොඳම කාලය – පැය 02.17.47

ජාතික වාර්තාව – පැය 02.17.47

ලෝක වාර්තාව – පැය 02.02.57 – ඩෙනිස් කිමෙටෝ (කෙන්යාව)

සහභාගිව ඇති ඔලිම්පික් උළෙලවල් ගණන – 2 (2004,2012)

තරඟ ඉසවුව පැවැත්වෙන වේලාව – අගෝස්තු 21 වැනිදා ශ්‍රී ලංකා වේලාවෙන් සවස 6ට

38 හැවිරිදි මැරතන් ධාවන ශූර අනුරාධ කුරේ ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයද උසුලනවා. මැරතන් ඉසවුවෙන් ශ්‍රී ලාංකික වාර්තාවටද හිමිකම් කියන ක්‍රීඩකයා වන්නේද අනුරාධ කුරේයි. ගියවර ලන්ඩන් ඔලිම්පික් උළෙලේදීද ශ්‍රී ලංකාව නියෝජනය කල ක්‍රීඩකයෙක් වන අනුරාධට එහිදී හිමිවූයේ 55 වැනි ස්ථානයයි.

කෙසේ නමුත් පසුගිය වසරේදී තමන්ගේ ක්‍රීඩා දිවියේ හොඳම දස්කම් අතරට පිවිසෙන්න අනුරාධ සමත් වෙලා තිබෙනවා. තරඟකරුවන් 38000 ක් සහභාගි වූ 2015 ලන්ඩන් මැරතන් තරඟයේදී 14 වැනි ස්ථානයට පත්වෙමින් තම ක්‍රීඩා දිවියේ හොඳම කාලය වාර්තා කරන්නට ගිය වසරේදී අනුරාධට හැකියාව ලැබෙනවා. මේනිසා අනුරාධ කියන්නෙ මැරතන් ඉසවුවෙන් අපිට බලාපොරොත්තුවක් රඳවාගත හැකි ක්‍රීඩකයෙක්.

2. නිලූකා ගීතානි රාජසේකර – මැරතන්

හොඳම කාලය – පැය 02.40.07

ජාතික වාර්තාව – පැය 02.40.07

ලෝක වාර්තාව – පැය 02.15.25 – පෝලා රැඩ්ක්ලිෆ් (එංගලන්තය)

සහභාගිව ඇති ඔලිම්පික් උළෙලවල් ගණන – ප්‍රථම වතාව

තරඟ ඉසවුව පැවැත්වෙන වේලාව – අගෝස්තු 14 වැනිදා ශ්‍රී ලංකා වේලාවෙන් සවස 6ට‍

2015 හොංකොං මැරතන් තරඟයේදී 5 වැනි ස්ථානයට පත්වෙමින් ඇගේම ශ්‍රී ලංකා මැරතන් වාර්තාව අභිබවා යන්නට මෑතකදී නිලූකා සමත්වීම විශේෂයි.

ඉන්පසුව පැවැත්වුණු බීජිං මලල ක්‍රීඩා ලෝක ශූරතා තරඟාවලියේදී යම්කිසි පසුබෑමක් පෙන්නුම් කලත් ඈ නැවත තම දක්ෂතා අතරට පැමිණෙනු ඇති බව ශ්‍රී ලාංකික ක්‍රීඩා ලෝලීන්ගේ ප්‍රාර්ථනාවයි.

3. සුමේධ රණසිංහ – හෙල්ල විසි කිරීම

හොඳම දක්ෂතාවය – මීටර 83.04

ජාතික වාර්තාව – මීටර 83.04

ලෝක වාර්තාව – 104.80 – යුව් හොන් (ජර්මනිය)

සහභාගිව ඇති ඔලිම්පික් උළෙලවල් ගණන – ප්‍රථම වතාව

තරඟ ඉසවුව පැවැත්වෙන වේලාව – අගෝස්තු 18 වැනිදා අලුයම 2.15 පමණ සිට මූලික වට ඇරඹීමට නියමිතයි

ලංකාවේ හෙල්ල විසිකිරීමේ ජාතික වාර්තාවට හිමිකම් කියන 25 හැවිරිදි සුමේධ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුවෙක්. 2015 වසරේ දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලාංකික හෙල්ල විසිකිරීමේ ශූරයා බවට සුමේධ පත්වන්නේ ඒ වනවිට පැවති ශ්‍රී ලාංකික වාර්තාව මීටර 4කින් පමණ අභිබවා යමින්.

ඉන්පසුව මේ වසරේ පැවැත්වූ දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදීත් රිදී පදක්කමක් දිනා ගැනීමට සුමේධට හැකියාව ලැබෙනවා. හෙල්ල විසිකිරීමේ ඉසවුවෙන් කෙටි කලක් තුළදී කැපීපෙනෙන දස්කම් රැසක් දිනාගැනීමට සමත් ව ඇති සුමේධත් අපි අවධානයෙන් සිටිය යුතු ක්‍රීඩකයෙක් වනවා.

4. නිලූක කරුණාරත්න – බැඩ්මින්ටන්

ලෝක ශ්‍රේණිගත කිරීම – 95 ස්ථානය

ලෝක ශ්‍රේණිගත කිරීමෙන් අංක 1 – ලී චොං වෙයි (මැලේසියාව)

සහභාගිව ඇති ඔලිම්පික් උළෙලවල් – 1 (2012)

තරඟ ඉසවුව පැවැත්වෙන වේලාව – අගෝස්තු 11 වැනිදා සවස 4.30 සිට

බැඩ්මින්ටන් ශූර නිලූක කරුණාරත්න කියන්නෙ ක්‍රිකට් ක්‍රීඩාවට පිටින් ගත්තහම ලංකාවෙ ඉන්න ජනප්‍රියම ක්‍රීඩකයෙක්. අවුරුදු 31ක් වයසැති නිලූක 2012 ලන්ඩන් ඔලිම්පික් උළෙලේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයද දරණු ලැබුවා. ඒ තරඟාවලියේදී ලෝකයේ අංක 8ට ශ්‍රේණිගතව සිටි ජපන් බැඩ්මින්ටන් ක්‍රීඩක කෙනිචි ටාගෝව වට 2ට 0 වශයෙන් පරාජය කරමින් ක්‍රීඩාලෝලීන්ව විශ්මයට පත් කරන්නටද නිලූක සමත් උනා.

5. චාමර ධර්මවර්ධන – ජූඩෝ

ලෝක ශ්‍රේණිගත කිරීම – 323

සහභාගිව ඇති ඔලිම්පික් උළෙලවල් – ප්‍රථම වතාවට

තරඟ ඉසවුව පැවැත්වෙන වේලාව – අගෝස්තු 8 සවස 6.30 සිට

ශ්‍රී ලංකා ක්‍රීඩා ඉතිහාසයේ පළමු වතාවට තමයි ඔලිම්පික් ජූඩෝ ඉසවුවක් සඳහා ශ්‍රී ලාංකීය ක්‍රීඩකයෙක් ඉදිරිපත් වෙන්නේ. ඔහු නමින් චාමර ධර්මවර්ධන. ජාතික ඔලිම්පික් කමිටුව විසින් ජාත්‍යන්තර ජූඩෝ සම්මේලනයෙන් කරන ලද ඉල්ලීමකට අනුව තමයි චාමරට මේ වරම හිමිවන්නේ.

දකුණු ආසියානු සහ පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලවල් දෙකකදී ශ්‍රී ලංකාව නියෝජනය කර ඇති චාමර පසුගිය දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී කිලෝග්‍රෑම් 73 බරපන්තිය යටතේ රිදී පදක්කමක්ද දිනාගන්නට සමර්ථ වූවෙක්.

6. මංගල සමරකෝන් – ඉලක්කයට වෙඩි තැබීම

සහභාගි වී ඇති ඔලිම්පික් උළෙලවල් – 1 ( 2012)

තරඟ ඉසවුව පැවැත්වෙන වේලාව – අගෝස්තු 8 වැනිදා සහ 12 වැනිදා සවස 5.30 සිට

මංගල සමරකෝන් මෙවර ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගි වන්නේ ඔහුගේ ක්‍රීඩා දිවියේ දෙවැනි වතාවටයි. මෙවර සහනදායී පදනම හෙවත් Wild Card යටතේ තමයි මංගලට ඔලිම්පික් වරම හිමිව තිබෙන්නේ. මීටර් 10 වායු රයිෆල් සහ මීටර් 50 බිම වැතිර වෙඩි තැබීමේ ඉසවු වලට තමයි මංගල ක්‍රීඩා කරන්නේ.

මේ වසරේ මුල් භාගයේ පැවති දකුණු ආසියානු ක්‍රීඩා උලේලේ මීටර 50 වායු රයිෆල් ඉසවුවෙන් ලෝකඩ පදක්කමක් දිනාගන්නටද මංගල සමත් වූ අතර එහිදී ඔලිම්පික් ශූරයන් සමග කරට කර ගැටෙමින් ඔහු ලැබුවේ විශිෂ්ට ජයග්‍රණයක්.

7. මැතිව් අබේසිංහ – පිහිණුම්

හොඳම කාලය – තත්පර 50.53

ජාතික වාර්තාව – තත්පර 50.53

ලෝක වාර්තාව – තත්පර 46.91 – සීසර් සියැලෝ (බ්‍රසීලය)

සහභාගිව ඇති ඔලිම්පික් උළෙලවල් – ප්‍රථම වතාවට

තරඟ ඉසවුව පැවැත්වෙන වේලාව – අගෝස්තු 9 වැනිදා රාත්‍රී 9.30 සිට

මැතිව් අබේසිංහ රියෝ නගරය කරා යන්නේ ශ්‍රී ලංකා ක්‍රීඩා ඉතිහාසයට සුවිශේෂී සටහනක් එක් කරමින්. එනම් ඔලිම්පික් සුදුසුකම් ලැබීමේ පරිසාධන මට්ටම සම්පූර්ණ කල පළමු ශ්‍රී ලාංකීය පිහිනුම් ක්‍රීඩකයා හැටියට සුදුසුකම් ලබමින්. මීටර 100 නිදහස් ආර පිහිනුම් ඉසවුවෙන් තත්පර 50.53ක කාලයක් වාර්තා කරමින් තමයි මැතිව් මේ සුදුසුකම ලබන්නෙ. මින් පෙර පිහිණුම් අංශවලින් ඔලිම්පික් සුදුසුකම් ලැබූ අපේ ක්‍රීඩකයන් සියල්ලක්ම සහනදායී පදනම (Wild card) යටතේ ඉදිරිපත් වූ අය වනවා

පෙබරවාරි මස පැවති දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී පිහිනුම් ඉසවු වලින් රන් පදක්කම් 7ක් දිනාගන්නට මැතිවු අබේසිංහ සමත් වූ අතර. දකුණු ආසියානු ක්‍රීඩා උළෙලකදී ක්‍රීඩකයකු වාර්තා කරන ලද වැඩිම රන් පදක්කම් සංඛ්‍යාව වන එය දිනා ගන්නට මැතිවු සමත් වන්නේ තවත් ශ්‍රී ලාංකික ක්‍රීඩකයකුට හිමිව තිබූ වාර්තාවක් බිඳ හෙළමින්. ඒ 1991 වසරේදී තවත් ශ්‍රී ලාංකීය පිහිනුම් ශූරයෙකු වූ ජුලියන් බෝලිං තැබූ රන් පදක්කම් 6 වාර්තාව අභිබවා යමින්.

8. කිමිකෝ රහීම් – පිහිණුම්

හොඳම කාලය – විනාඩි1:03.78

ජාතික වාර්තාව – විනාඩි 1:03.78

ලෝක වාර්තාව – තත්පර 58.12 – ජෙමා ස්පොෆරේත් ( මහා බ්‍රිතාන්‍ය)

සහභාගිව ඇති ඔලිම්පික් උළෙලවල් – ප්‍රථම වතාවට

තරඟ ඉසවුව පැවැත්වෙන වේලාව – අගෝස්තු 7 වැනිදා රාත්‍රී 9.30 සිට

ඉන්දියාවේ පැවැත්වුණු දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී මැතිවු අබේසිංහ පිහිනුම් රන් පදක්කම් 7ක් දිනාගනිද්දී එම ක්‍රීඩාවේම කාන්තා අංශයෙන් රන් පදක්කම් 5ක් දිනාගනිමින් කිමිකෝ රහීම්ද අපට ආඩම්බරයක් ගෙනදුන්නා ඔබට මතක ඇති. මෙවර ඔලිම්පික් උළෙලට සහනදායී පදනම හෙවත් Wild card යටතේ තමයි ඇය සුදුසුකම් ලබා තිබෙන්නෙ. කාන්තා මීටර 100 පසුපස ආර ඉසවුවෙන් තමයි ඇය තරඟ වදින්නේ.

පිහිණුම් පවුලකින් පැවත එන කිමිකෝගේ සොහොයුරියන් දෙදෙනා වන මයුමි සහ මචිකෝත් ජාත්‍යන්තර පිහිනුම් තරඟාවලි වලදී ශ්‍රී ලංකාවට කීර්තියක් ගෙනා ක්‍රීඩිකාවන් වනවා.

9. ඇන්ටන් සුදේශ් පීරිස් – බර ඉසිලීම

සහභාගිව ඇති ඔලිම්පික් උළෙලවල් – ප්‍රථම වතාවට

තරඟ ඉසවුව පැවැත්වෙන වේලාව – අගෝස්තු 8 සවස 6.30 සිට

බර ඉසිලීමේ කිලෝග්‍රෑම් 62 බර පන්තිය යටතේ තමයි සුදේශ් පීරිස් ඔලිම්පික් වරම් හිමි කරගන්නේ. ඔහුටත් මේ අවස්ථාව සහනදායී හෙවත් Wild card ක්‍රමය යටතේ තමයි හිමිව තිබෙන්නේ.

2010වර්ෂයේ ඉන්දියාවේ පැවැත්වූ පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී බර ඉසිලීමෙන් ලෝකඩ පදක්කමද, 2014 ස්කොට්ලන්තයේ පැවති එම තරඟාවලියේදී රිදී පදක්කමද දිනාගැනීමට සුදේශ් සමත් වී තිබෙනවා. මෑතකදී පැවත්වනු ලැබූ දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී කිලෝග්‍රෑම් 62 බර පන්තිය යටතේ බර ඉසිලීමෙන් දිනාගනු ලැබූ රන් පදක්කමද සුදේශ් ලැබූ විශේෂ ජයග්‍රහණයක්.

LEAVE A REPLY