සුදු මල් පොකුරේ සුදු මල් නොපිපී රතු මල් පිපුණේ ඇයි? – ‘සුදු අක්කා’ – තරුෂි නවංජනා ලියනාච්චි

0
271

සමාජය ඉදිරියේ මතු නොව නීතිය ඉදිරියේ ද වරදකාරියක වුණු සුදු අක්කලා එදා මෙන්ම අදත් සමාජයේ අඩුවක් නැතිය. මිල්ටන් ජයවර්ධන අධ්‍යක්ෂනය කළ සුගතදාස මාරසිංහ නිෂ්පාදනයක් වන ‘සුදු අක්කා’ 90 දශකයේ සිනමාවට එක්වූ තවත් සාර්ථක සිනමා කෘතියකි. ජෝ අබේවික්‍රම, සනෝජා බිබිලේ, වීනා ජයකොඩි, සංජය ලීලාරත්න, මහේන්ද්‍ර පෙරේරා,ප්‍රියා රණසිංහ, චන්ද්‍රා කළුආරච්චි ‘සුදු අක්කා’ හි රංගනයෙන් දායක වෙයි.

 ගැහැණු සිතේ අහුමුළු පීරාගත හැකි සංකීර්ණ හැඟීම් කැටි වූ සිනමා කෘතියකි සුදු අක්කා..සුදු අක්කා අනුකම්පා සහගත, ඉක්මනින් උණුවෙන ලයැති අහිංසක යුවතියකි. “ලේසියෙන් තම්බන්න බෑ “කියා සිටි ඇයද දුර දිග නොසිතා සිදු කළ ක්‍රියාවෙන් සමාජයේ රැවටීමට බඳුන් විය. කමල්ට ද අවසන අත්වූයේ මරණයයි. පන්සිල් සුරකින සමාජයක අවශ්‍යතාව හා අධ්‍යාත්මික ගොඩනැංවීම මොනවට ප්‍රතිදීප්ත කරන මෙම සිනමා කෘතිය කාමේසු මිච්චාචාරයේ ආදීනව මතු කරන බෞද්ධාගමික ඌරුවක් ගත් සිනමාත්මක නිර්මාණකෘතියක් බව විටෙක සිතෙයි. තවත් විටෙක එය ඉක්මවා යමින් ලෝකයේ  හා ස්වභාවධර්මයේ යථාව නිරූපණය කිරීමක් ලෙස හඳුනාගත හැකිය..

ගැහැණියක පතන සෙනෙහස ආදරය උපරිමයෙන් ලැබූ සුදු අක්කා එතරම් ආදරබර අහිංසක සැමියෙකුට පිටුපෑමට හේතුව කිම? කුලී නිවසක වුව තම දරුවන් දෙදෙනා සමඟ යකඩ පිරික්සම් කරන බාස් උන්නැහේ කෙනෙක් වූ තම සැමියාගේ පිරී ඉතිරෙන සෙනෙහස ඇයට ලැබුණි. සුදු අක්කාගේ මිතුරිය වූ තංගා නම් දමිල යුවතිය දරුවන් නොලැබීම නිසා තැවුලෙන් සිටිනතර සුදු අක්කාට දරු සම්පතින්ද අඩුවක් නොවීය. කමල් මල්ලී ඇගේ සිරුර ‘හැඩයි’ කියා කරනු ලැබූ ප්‍රකාශය සුදු අක්කාට ආරංචි වීම ඈ කුපිත කරවූවක් විය. නමුත් සිත යටින් ඇය එයට කැමතිය. සංස්කෘතියේ සදාචාරාත්මක බර කමල්ට දොස් කීමට ඈ පෙළඹවීය. සුදු අක්කා එම ප්‍රකාශය කන වැකීමෙන් පසු කිහිප වතාවක් කැඩපත ඉදිරියේ රැඳුනේ තම සිරුරේ හැඩ බැලීමටයි. පසු අවස්ථාවක ද සුදු අක්කා කමල් සමඟ ප්‍රකාශ කළේ ද “කියන්න තියෙන දෙයක් මටම කියන්න ඕනනෙ..එකෙක්කෙනාට කිව්වහම මං ගැන මොනවද හිතන්නෙ..” එම ප්‍රකාශය කමල්ට සුදු අක්කාගේ කාමරයේ යතුර තමාට ලැබුණාක් වැනි විය. ” එහෙනම් ආයෙත් කියනකොට සුදු අක්කටම කියන්නම්”යනුවෙන් කමල් පැවසුවේ එබැවිනි. එතැන් සිට කමල් පිළිබඳ අනුකම්පාවක් ඇගේ සිතේ වර්ධනය විය.

තම පුංචි පුතු ප්‍රියන්ත අනතුරකට ලක් වූ අවස්ථාවේ දුවපැන කටයුතු කළේ කමල්ය. සුදු අක්කාගේ සැමියා වන ඩේවිඩ් ද එම අවස්ථාවේ පැවසූයේ ” හරි හොඳ ඉලන්දාරියා..⁣මේකෙ වෙන උන් වගේ නෙවෙයි ” ⁣යනුවෙනි. මෑතක සිට කමල් තුළින් අහිංසකයෙකු දුටු සුදු අක්කාට තම සැමියා ද එය පිළිගැනීම තුළ තව තවත් කමල් කෙරෙහි පැවති ප්‍රසාදජනක හැඟීම වර්ධනය කරන්නක් විය..

“ඔය කොච්චි සම්බෝලෙත් එක්ක කාලා බලනවකො.. තමුසෙ හැමදාම ඉල්ලයි..”ඩේවිඩ්ගේ චරිතයට පණ පොවන ජෝ අබේවික්‍රමයන් මෙම චිත්‍රපටය තුළ මැණිකක් දිලෙන්නා සේ අනර්ඝ රංගනකාර්යයි සිදු කරයි..සිනමා කෘතියේ ගුණාත්මක භාවය වෙනුවෙන් තම රංගනයෙන් වඩාත් සාධාරණයක් ඉටු කරන්නේ ඔහුය.

සුදු අක්කාගේ සැමියා වන ඩේවිඩ් සුදු අක්කාට වඩා බොහෝ වියපත් පෙණුමකින් යුතු අයෙකි. ඇයට ඔහුගෙන් බිඳුවක් නොඅඩුව, සෙනෙහස හා රැකවරණය ලැබුණ ද ඇගේ සිතැඟි පරිදි තරුණ වියේ ආශාවන් සංසිඳවා ගැනීමට ඇයට නොහැකි විය. මෙම චිත්‍රපටයේ එක් සිදුවීමක් මතකයට නැඟෙයි. එක් රාත්‍රියක සුදු අක්කා තම සැමියා අසල නිදා සිටිනතර ඇය ඔහුව ස්පර්ශ කරයි. අනෙක් පස හැරී සිටින ඔහු එලෙසම සිට සුදු අක්කාගේ අතක් වැළඳ නැවත නින්දට වැවෙයි. දවසේ දහදිය හෙලා සිදු කෙරූ වෙහෙසකර වැඩ කටයුතු ඔහුව රාත්‍රියේ තවතවත් නිදිබර කරවීය..සුද්දි ඩේවිඩ්ගේ කකුල මතින් කකුලක් ද⁣මා  ගත්තේ ඔහු හා ලිංගික එක්වීමකට ආරාධනා කිරීමටයි. නමුත් ඇගේ අරමුණ ඉටු නොවිනි.

එතැන් සිට සුදු අක්කාගේත් කමල්ගේත් සම්බන්ධය ඇරඹුනි.. මැරතන් තරඟයක් වෙනුවෙන් කැපවී පුහුණුවීම් කරන ජව සම්පන්න තරුණයා වූ,  තම කුලී නිවසේ හිමිකාරියගේ පුතණුවන් වූ, ඇගේ අසල්වැසියා වූ, ඇයට වඩා වයසින් බාල වූ කමල්ගේ කාම පහස සුදු අක්කාට ලැබුණි. ඇය එයට ලෝභ විය.

‘සුදා ..ඔයා සතුටින් ඉන්නවා දකින් මං හරි ආසයි..මම උදේ හිටන් රෑ වෙනකල් යකඩ තලන්නෙ උඹ වෙනුවෙන්.. මේකෙ ඉන්න හැම ගෑණියෙකුටම වඩා හොඳින් උඹව තියන්න..උඹ ඒක පිළිඟන්නවද?’

 

කමල් හා සුදු අක්කා අතර සම්බන්ධයක් ඇතැයි සැක සිතුණු ඩේවිඩ් තම බිරිඳට කතා කළේ එසේය. ඩේවිඩ් යනු කෙතරම් ඉවසිය හැකි, කාරුණික මිනිසත්කම් පූර්ණ වූ මනුෂ්‍යෙයක් දැයි එයින් වැටහේ. ප්‍රේක්ෂකයාට කඳුළු නංවන ලෙස භාවාතිෂය හැඟීම් කුල්ගන්වන රංගනයේ යෙදීමට ජෝ අබේවික්‍රම නම් අසහාය රංගන ශිල්පියා සමත්කම් දරයි. සුදු අක්කා හා කමල් අතර වර්ධනය වන සම්බන්ධයට සාපේක්ෂව ඩේවිඩ් සුදු අක්කාට දක්වන ආදරය පෙන්වන දර්ශන අභියස ප්‍රේක්ෂකාගාරය කුතුහලයෙන් වික්ෂෝප වෙයි.

 

“සුදා උඹට පුළුවන් නම් මාව සදාකාලික නින්දට පිටත් කරපන්..” ඩේවිඩ් මෙසේ පවසන්නෙ මහා බරක් ශෝකයක් සිත්හි තබා ගෙනයි. එම ප්‍රකාශය හා එය පවසන ස්වරය සහෘද ප්‍රේක්ෂක දෑසට කඳුළැලි එක් කරයි.

 

ඩේවිඩ් ට වෙනසක් නොකලද ඇය කමල් හා තදින් බැඳුනි. එය කොතරම්ද කියතොත් කමල්ට පෙම්වතියක් සිටින බව ආරංචි වූ මොහොතේ ඈ සිටි ස්ථානය සොයා ගොස් කෑගැසීමට තරම් සුදු අක්කා බොළඳ පෙම්වතියක් වී ඇත. මෙයින් කුපිත ⁣වන කමල් පැමිණ සුදු අක්කා වෙත බැණවැදුණු අවස්ථාවේ සුදු අක්කාත්, මෙතෙක් වේලා නැරඹූ ප්‍රේක්ෂකයාත් පුදුම කරමින් කමල් හිතූ තරම් අහිංසකයෙකු නොවන බව හැඟෙයි. විවාහ වී දරු දෙදෙනෙක් සහිත පවුලක් ඇති සුදු අක්කා⁣ට තම ජීවිතයට බලපෑම් කිරීමට,  තම අනාගත විවාහයට බලපෑම් කිරීමට ගත් උත්සාහයත් දුටු කමල් තව තවත් කොපයෙන් වියරු වැටෙන්නට ඇත.

කමල්ගේ වෙනස සුදු අක්කාට දරාගත නොහැකි කාරණාවකි.. තම ආදරබර ස්වාමියාගේ සෙනෙහසට පිටුපා කමල්ට මුලා වූවෙකු සේ සුදු අක්කාගේ හෘද සාක්ෂිය හඬාවැළපිනි. තම නිවසට වැටෙන ගල් ප්‍රහාරයට කමල් ද සම්බන්ධ වූ බව ඇසූ ඇය තව තවත් කම්පා විය.. “කමල් මට ගල් ගහල මදි”. ඒ ඇගේ පාපොච්චාරණයයි. අවසන ඇය සමඟ නිදිවැදුනු ඔහුත් ඇයට වේසිය යැයි ඇමතීය. එයයි පුරුෂෝත්තම වාදී සමාජයේ අවසන කාන්තා උරුමය.” තොගේ තියෙන වේසකමට ඒ කෙල්ල පලි නෑ යකෝ”සුදු අක්කා ගොස් තමාගේ අලුත් පෙම්වතිය හමුවීම නිසා කෝපයට පත් කමල් එසේ පැවසීය. අවසන ගමේ සියල්ලන්ම සුදු අක්කාට බැණ වැදිණි. ඔවුන් ඇයට ගල් ගැසූහ.

චිත්‍රපටයේ ආරම්භයේ සිටම මැරතන් තරඟයට පෙර පුහුණුවීම් කළ කමල්ගේ අවසාන තරඟය දින ඔහුගේ ජය කණුව අභියස ලේ විලක් කිරීම සුදු අක්කාගේ ඉවසීම පුපුරා ගිය අවස්ථාවයි. සුදු අක්කා සමාජයට, හෘද සාක්ෂියට, පමණක් නොව නීතියටද වරදකාරියක් විය. ඇය ඒ තත්වයට පත්වූ ආකාරය හොඳින් බලා සිටි ප්‍රේක්ෂකාගාරය ඇගේ හැඟීම් හා ඇයට මුහුණපෑමට සිදු වූ අවස්ථාවන් පිළිබඳව හොඳින් දැන සිටිති. සුදු අක්කාගේ අවසන් ඉරණම සිර ගෙයයි. ඇගේ රෝගී සැමියා හා අහිංසක දරුවන් දෙදෙනා තනි කර දමමින් ඇයට පිටත් වීමට සිදු විය. චිත්‍රපටය ආරම්භ වන්නේ මෙම දර්ශනයෙනි. ඇගේ ස්වාමියාගේ සමාව ඇගේ හිත තව තවත් පෑරීය.

සුදු අක්කාට වදනකින් හෝ සැනසීමක් ලැබීමට හැකිවූයේ දමිල ජාතික තරුණිය වූ තංගා නැමැති යෙහෙළියගෙනි. ජාතිය නොව අනුන්ගේ දුකට සංවේදී වන සහකම්පනය මනුෂ්‍යත්වය උත්තරීතර කරවන බව එයින් ගම්‍ය වේ. පලිගැනීම ‍වෛරය කෙළවර වන්නේ බියෙන්ය..ශෝකයෙන්ය.. සම්පූර්ණ කළු හෝ සුදු චරිත නොමැති සමජයේ අඩුවැඩි වශයෙන් කළු සුදු චරිත වෙසෙයි.

සටහන – තරුෂි නවංජනා ලියනාච්චි

LEAVE A REPLY