‘‘ හද පලුව තනි තරුව ‘‘

0
14

‘‘ හද පලුව තනි තරුව ‘‘ කෘතියේ නිර්මාණකරැ වූ නිශ්ශංක විඡේමාන්න එකී කෘතිය පිළිබදව ඔහුගේ දැක්ම මෙසේ කියා ඇත
===========================================
හඳ පළුව තනි තරුව කෘතියෙහි මා තැනක ලිවුවා පාලකයකුට ෆැසිස්ට්වාදය පතුරුවන්න ඕනෑම ප්‍රබල වන බලවේගයක් ආයුධයක් ලෙස ගන්න පුළුවන් කියලා. මේ දක්වා අපේ රටේ පාලකයන් ජනතාව ඔවුන්ගෙන් බලාපොරොත්තු වූ ආර්ථික සමෘද්ධිය හෝ සමාජ සුභසාධනය ළඟා කරදීම වෙනුවට කළේ ජාතිවාදය ආගම්වාදය අවුලපු එක. මේ කෘතියේ කතා තේමාව සෘජුවම ආගම්වාදයට හෝ ජාතිවාදයට විරුද්ධව නිර්මාණය නොවුණත් අපි විවිධ සංස්කෘතීන්ගෙන් අන්‍යොන්‍ය වශයෙන් පෝෂණය වී ඇති තරම මෙම නවකතාව හරහා මතුකිරීමේ වුවමනාවක් මට තිබුණා


මෑත කාලයේ සිදුවූ සමාජ-දේශපාලන සංසිද්ධීන් පුළුවන් තරම් මගේ නිර්මාණයන් තුළට ඇතුළත් කිරීමට මා උත්සාහ කරනවා. එම සිද්ධීන් සිදුවූ ආකාරයෙන්ම විස්තරාත්මව දැක්වීමට වඩා එහි ලාංඡනයන්, නැතිනම් එම සිද්ධීන් සලකුණු කර පෙන්වීමක් කිරීමට මා උත්සාහ කරනවා. එමගින් කියවන්නාට මතක් කරන්නේ මේ මොහොතේ අපි අනෙකාට සලකමින් සිටින ආකාරය පිළිබඳවයි. භික්ෂූන් වහන්සේලා අතළොස්සක් විසින් අප තුළ අපගේම අනෙකා පිළිබඳව ඇති කිරීමට උත්සාහ කරන මහා භීතිය ඉතාම හාස්‍යජනකයි. කෙසේවුවත් මාගේ මෙම කෘතියේ අරමුණ එම කෝලාහලය පිළිබඳව හරස්කඩක් පෙන්වීම නොවේ. මට අවශ්‍ය වන්නේ අපගේ අනෙකා කෙතරම් විචිත්‍රවත් මිනිසෙක්ද, ඔහුගේ ජනසමාජය අනෙකා සමඟ මිත්‍රත්වයට කෙතරම් ප්‍රිය කරන සමාජයක්ද යන්න පෙන්වීමටයි.

මෙහි මුල් කොටස මුරකාමිගේ ‘කෆ්කා මුහුදු වෙරළේ’ නම් කෘතියේ ආඛ්‍යාන රීතිය සමඟ යම් සමානකමක් දැකිය හැකි වුවත් ඉන් පසුව මා එය අතහැර දමනවා. මා විශාල ප්‍රමාණයක් කතන්දර එක් කොට තිබෙනවා. කතා දෙකක් අතර සම්බන්ධය ගොඩනගන්න නැතිනම් සරනේරුව විදියට මා පාවිච්චි කළේ මේ කතාව පුරාවටම සිටින යුවතිය. මෙලෙස කතා විශාල ප්‍රමාණයක් භාවිත කිරීමෙන් මට කියන්නට ඕනෑ වුණේ මුස්ලිම් සහ සිංහල ජනසමාජ දෙකක ජිවත්වන අප අතර කොපමණ එකසමාන කතන්දර තිබෙනවාද, මේ පවතින නුරුස්සනකම් පිටුදැකිය හැකි වන ආකාරයේ කතන්දර කොපමණ තිබෙනවා යන්නයි. අපි එක් ජනසමාජයක ඉපිද අනෙක් ජනසමාජයේ ජිවත්වන අපේම අනෙකාට වෛර කරමින් ජිවත් වෙලා ඔහු ගැන කිසිදු අවබෝධයක් නොමැතිව, ඔහුගේ චිත්‍රය කියවීමට කිසිදු උත්සාහයක් නොගෙන, එය මඟහැර යනවා.
==========================================
. 2016.09.11 රාවය පුවත්පතේ අනුරාධා කෝදාගොඩ නිශ්ශංක විඡේමාන්න සමග කල කතාබහක සටහනකින් මෙය උපුටා ගතිමි

සටහන – උපාලි ජයසිංහ

LEAVE A REPLY