කැළඹේ.. දළ රළ.. කැළඹේ.. විසිරේ ‘විසි දැල’.. විසිරේ..- තරුෂි නවංජනා ලියනාච්චි

0
1631

ශ්‍රී ලංකාවේ යුධ සමයේ සමාජ ආර්ථිකය හා දේශපාලනය, රැකියා විරහිත තාරුණ්‍ය, දේශපාලන පලිගැනීම්, ලිංගිකත්වය හා සමාජ අසහනය, සදාචාරය හා සංස්කෘතික සිතැඟි හා නිර්ධනයින් කොරෙහි ධනපති පන්තියේ බලපෑම ආදි සමාජ කාරණා පුළුල් කෝණයකින් නිර්මාණාත්මකව සිනමාකරණය කළ“විසිදැල” මිනිසා තමා විසින්ම වියා ගත් දැලෙහි වෙලී පැටලී නිදහසක් නොමැතිව පීඩාවිඳිනාකාරය මනාව විචිත්‍රණය කර ඇත.

ඩබ්. ජයසිරි, අනෝෂා සොනාලි, ජැක්සන් ඇන්තනී, වසන්ති චතුරානි, මහේන්ද්‍ර පෙරේරා වැනි ප්‍රවීණ රංගවේදීන් රංගනයෙන් දායක වූ එච්. ඩී. ප්‍රේමරත්න නම් ප්‍රතිභාපූර්ණ සිනමා වේදියාගේ අධ්‍යක්ෂණයෙන් සිනමාත්මක වූ විසිදැල 1998 වසරේ එළිදැක්වුණු චිත්‍රපටයකි.

චිත්‍රපටය ආරම්භක දර්ශනයේ විසිදැලට හසුවී පණ ගසන මසුන් සේ ඔවුන්ගේ ජීවිත ද දැලට හසුවී පණ ගසන බව චිත්‍රපටය අවසන ප්‍රේක්ෂකාගාරය සිතාගනු ඇති.

 “ගොවිතැන වගේ වපුරලා බලන් ඉන්න ඕනයැ..දැල ගහපු ගමන් අස්වැන්න..අතේ පණ ගැහැන අස්වැන්න..”

ඒ පියදාසගේ අදහසයි.. තම භාර්යාවගේ වියෝවෙන් පසු දරු දුවෙකු හා පුතෙකු සමඟ තනි වූ පියදාස මත් ලෝලී අහිංසක ගැමියෙකි. ඔහුගේ මිතුරා සහ අසල්වැසියා වන ගුණපාලට දරුවන් නොමැතිය. තම බිරිඳ සමඟ එක්ව පවුල් ජීවිතය ගෙන යයි.

ගුණපාලගේ චරිතය දිවෙන අයුරු සළකා බැලුව හොත් හඳුනා ගත හැකි ලක්ෂණ කිහිපයකි. ඔහු තම බිරිඳට සතෙකුට සේ සළකයි. ඔහුට ඒතරම්ම ඇයව නුරුස්සයි.

“දුවපිය යන්න පට්ට වේසි මගේ යකා අවුස්සනැතුව.. “

යනුවෙන් අතට අහුවෙන යමක් වේද එයින් ගසා තම බිරිඳ එළවා ගැනීමට ඔහු නිතර උත්සාහ කරයි. ඇගේ ඇඟට කඩන් පැනීම ඔහුගේ පුරුද්දක් වී ඇත. කටකාර ගැහැණියක් වූ ඇයත් ප්‍රති උත්තර දෙමින් ඔහුගේ නිර්දය සැළකීම ඉවසන්නේ පුරුද්දට මෙනි.

දරුවන් නොමැති වීම ඔහුගේ කෘෘර ආමන්ත්‍රණයන්ට හේතු වන්නට ඇත. දරුවන් නොමැති වීම ගැහැණියගේ වඳ භායක් ලෙස මිස පුරුෂයන් එයට වගකිව යුත්තන් නොවන බව එදා පමණක් නොව අදද සමාජයේ ශේෂව පවතින මතයකි. පුරුෂාධිපති සමාජ වපසරියක එවැනි දේ ශේෂව පැවතීම පුදුමයක් නොවේ

සිරිමා යනු පියදාස පවුලේ එකම දියනියයි. මවගේ වියෝවෙන් පසු පාසල් ගමන නතර කළ ඇය ද රැකියා විරහිතව නිවසේ රැඳී සිටින අහිංසක තරුණියකි. ඇගේ සොහෙයුරා වන නිමල් පොලිසියේ ලොකු මහත්තයාගේ බංගලාවේ සේවයට ආරාධනා ලැබ ඒ සඳහා පටත්ව යයි. ඔහුගේ එකම ආශාව පොලිස් නිළධාරියෙකු වීමයි. විටෙක ඔහු පොලිස් නිළදරුවන් සඳහා පුහුනුවක් දෙස ආශාවෙන් බලා සිටින්නෙ එවැනි අවස්ථාවක් තමාට හිමිවන්නේ නම් කෙතරම් අගනේදැයි සිතමිනි. නමුත් ඔහුව එවැනි රැකියාවකට බඳවා ගැනීමට පොලිස් ඕ අයි සී මහතා හෝ ඔහුගේ භාර්යාව කැමති වන්නේ නැත. නිර්ධනයින් පාගා දැමීමට ධනපතීන් නිර්නතරයෙන් උත්සාහ ගනියි. පන්සල් ගොස් මල් පහන් පූජා කර පිං පතන ඕ. අයි.සී මහතාගේ බිරිඳ නිමල් පොලීසියට සම්බන්ධ වීමට අකමැත්ත පල කරයි. එය සියුම් උපහාසයකි. පසුව ග්‍රාමාරක්ෂක නිළධරුවෙකු ලෙස පොලිස් සේවයට සම්බන්ධ වීමට නිමල්ට හැකියාව ලබා දෙන්නේ වර්ධනය වූ යුධමය කලබල තත්වය නිසා එයට විකල්පයක් ලෙසය. පොලිස් ඕ. අයි. සී මහතාගේ වැඩිමහල් දියණිය නිමල්ට ඉතා කාරුණිකව සලකයි. ඔහු පොලිසියට සම්බන්ධ වීමට දැක්වූ ආශාව හැඳිනගත් ඈ ඔහුට අවස්ථාව ලබා දීමට කැප වී කටයුතු කරයි. නිර්ධන හා ධනපති පන්තීන්හි වෙනස උගත් තාරුණ්‍ය විසින් ප්‍රත්ක්ෂේප කිරීම එමඟින් සංකේතවත් වේ.

ඇඳිරිනීතිය ක්‍රියාත්මක වීම්, පොලිස් ස්ථානයකට පහර දීම සේම රටේ කලබල පිළිබඳව චිත්‍රපටය පුරාම දෙබස් දිව යයි. එය පවතින යුධ වාතාවරණය හා දේශපාලන පලිගැනීම් සමාජවාදී තරුණ කණ්ඩායම් අත්තඩංගුවට ගැනීම්., මනුෂ්‍යයින් ටයර් මත පුළුස්සා ඝාතනය කිරීම් නිසා මෙම කතාව සිදුවන සමාජ පරිසරයේ තිබූ පීඩාත්මක ස්වභාවය හඳුනා ගත හැකිය.

තම බිරිඳගෙන් ලිංගික ආශාවන් සංසිඳුවා ගන්නා ගුණපාල එයින් නොනැවතී නෑඹුල් තාරුණ්‍යයේ සිටින හැඩකාර අහිංසක යුවතිය සිරිමා වෙත රාග සිත් අවුළුවා ගනියි. ගුණපාල මාමා  එවන් අදහසක් සිත්හි තබා සිටින බවක් සිනමාවේ මධ්‍යය වන තුරු සිරිමාට නොවැටහෙයි.

ගුණපාල – කොහොමද කීරාල?

කීරාළ – මේවා දකින කොට අම්මා.. බඩ පපුව දාලා යනවා

ගුණපාල – බම්බු ගහන් නැතුව ගිහින් පටව ගනින් කීරාළ

කීරාළ – නෑඹුල් පල කිරි රහයි ගුණපාලයෝ.. අනේ අපිට වාසනාව නැතුවා..

ගුණපාල පමණක් නොව ගමේ රියදුරෙකු වන කීරාළ ද සිරිමාට වශී වී සිටියි. ගුණපාලව තව තවත් සිරිමා කෙරෙහි ආශා වීමට පොළඹවනු ලැබූයේ කීරාළ නැමැත්තායි.

ගුණපාල විනෝද ගමනක් සංවිධානය කරමින් සිරිමාව ඩැහැ ගැනීමට උපක්‍රම යොදයි. එය සාර්ථක වෙයි.

“ගැමියා – මං මේ කියන්නෙ ගමිණි කොලුගෙ ගෙදර හැමදාම ගමේ ගැටව් ටික රැස් වෙනවනේ..මේ වගේ දවස් වල එහෙම රැස් වෙන එක හොඳ මදි..

ගුණපාල – ඇයි ඒ..

ගැමියා- ඇයි බං මේ රටේ තොටේ වෙන දේවල් උඹ දන්නෙ නැද්ද?

ගුණපාල – දන්නවා.. ඉතිං උඹ කියන්නෙ උන්ට එකට එකතු වෙලා කතා නොකර ඉන්න කියලද? ඇයි උඹලා අපි එකට එක්කහු වෙලා කතා කරලා නැද්ද?

ගැමියා – ඒ කාලෙ අපි කතා කරා වගේ නෙවේලුනේ.

ගුණපාල – කවුද කියන්නෙ..

ගැමියා – ඕවා මේ ලොකු මහත්තුරු පත්තර රේඩියෝ වල කියන දේවල්..

ගුණපාල – ඒ ගොල්ලන්ගේ වැඩේ කතා කර කර ඉන්න එක.. උඹලගේ වැඩේ උදේ ඉඳල හැන්දෑ වෙනකල් ඒවා අහන් ඉන්න එක… අහ අහම හිටපන්.. ඒ ගොල්ලො හම්බවෙන හැම එකකින්ම කතා කරනවා..උඹලා අහන් ඉන්නවා..උඹලත් දයුණු වෙනවා..රටත් දියුණු වෙනවා..වැඩක් පලක් කරන්න එපා..”

ගුණාපාලගේ සමාජාවබෝධය හා ප්‍රගතිශීලී දැක්ම එම දෙබසින් ප්‍රකට වේ. එමෙන්ම එමඟින් එල්ල වන සමාජ උපහාසය 90 දශකයට වඩා අදට අදාළ වෙයි.

“- සේනෙ මාමලයි කඩේට පොලීසියෙන් ආවා කියන්නෙ ඇත්තද ශ්‍රියා..?

– ඔව් තුවක්කුවකුයි පතරොම් වගයකුයි තිබිලා හම්බ වෙලා..ඒ අස්සෙ කඩේ පත්තර වලට ගෙනාපු පොත් වගේකුත් ගෙනහිල්ලා..

– හරි වැඩේනෙ.. මොන පොත් ද?

– මම දන් නෑ.. අපේ අම්මා ඒක අහලා මගේ පොත් සේරම ගිනි තිබ්බා..

– පාඩම් පොත්.. හහ් හහ්..”

ගැමියන්ගේ භීෂන විරෝධය හා බියත් එමෙන්ම පාඩම් පොත් ගිනි තැබීමට පවා යොමු වීමෙන් දුර්වල සමාජාවබෝධය හා අහිංසකත්වය පැහැදිළි වේ.. පාඩම් පොත් ගිනි තැබීම පිළිබඳ සිරිමාගේ මුවට සිනහවක් නැගුනේ ඇය යම් තාක් දුරට ලබා ගත් අධ්‍යාපනය පිටිවහලක් වී සමාජය පිළිබඳව ඈ සතු දැනුමයි..

ගුමු ගුමුව වදුලේ- සිලි සිලිය සුළඟේ

මුණු මුණුව නදියේ..කසු කුසුව ගඟුලේ

අදයි මට ඇසුනේ…

විහඟ මිහිරාවී- මුදු හඬින රාගී..

කොතන තිබුණි ද ඒ

අද ගයන මේ ගී

 

හඳ බඳුන ඉතිරි

ගලන මී මිහිරී

කොතන නම් සැඟවී

තිබුණි දැයි සොයමී..

 

රෝහණ වීරසිංහයන් සංගීතවත් කළ සමිතා මුදුන්කොටුව ගයන ගුමු ගුමුව  ගීය කෙතරම් චමත්කාරයක් මෙම සිනමා කෘතියට එක් කළේද යන්න අමුතුවෙන් කිව යුතු නොවේ..භාව පූර්ණ සුමිහිරි ගායනයට දෙවැනි නොවන රංගනයක් ද චිත්‍රපටය තුළ වේ. යොවුන් වියේ මිහිරියාවත්, පිබිදෙන නැවුම් හැඟුම් සොබා දහම සමඟ මුසු කොට තැනූ ගී පද සංකල්පනාව සංගීතයේ විශ්වීය ගුණය ප්‍රකට කරමින් අදටද සහෘද ප්‍රේක්ෂකයින්ගේ කැමතිම ගීතයක් බවට පත්ව ඇත.

එමෙන්ම චිත්‍රපටයේ අර්ථය හා ග්‍රණාත්මකභාවය තව තවත් තීව්‍ර කොට ප්‍රකට කිරීමට ඉහත ගීය සමත් වූවා සේම ගුණපාලගේ චරිතය අළලා නිර්මිත අනෙක් ගීතයත් එයට නොදෙවෙනි ලෙස ගුණෝත්පාදනය කරයි.

බිඳුනා.. දැහැන් බිඳුනා

මිදුනා.. සිරගත ආශා

කැළඹේ දළ රළ.. කැළඹේ

විසිරේ විසි දැල.. විසිරේ..

වියරුයි හදවත වියරුයි

පිබිදෙයි ඉඳුරන් පිබිදෙයි

ගොදුරු ලොබින් ලංවෙමී

ළං වී වැලඳ ගනිමි

දියපිට තරඟ නගමි

දිය තුළ කිමිද මියෙමි..

ගුණදාස කපුගේ ගේ භාවපූර්ණ හඬ පෞරුෂයෙන් සුගැයුණු ඉහත ගීතය සමස්ථ චිත්‍රපටයේම අර්ථය සංධ්වනිත කරලයි. පෘතග්ජන මනුෂ්‍යයාගේ කෙළෙස් සිත අවධි වන අයුරු මෙන්ම සංසාර දැළ නමැති උගුලට හසුවී තාවකාලික ආශාවක් සංතර්පණය කිරීමට දිවි පවා නොතකා තරඟ කරන ගොදුරු සොයන මනුෂ්‍ය ඉරණම මා මෙයින් කියවා ගනිමි.

ඉඳුරන් පිබිදී හද වියරු වීමත් දිවි නොතකා ආශාවන් පසුපස හඹා යාමත් “දිය තුළ කිමිද මියෙමී” යන්නෙන් දැන දැනම වරදට පෙළඹීමත් අර්ථවත් කෙරෙයි.

“ සිරිමා – අයියා එහෙම මේ වගක් දැනගත්තොත් ඉඳලා ඉවරයි..දැනටමත් එමලින් නැන්දා දාන්නවා..තාත්තටත් තේරිලා ඉවරයි..

ගුණපාල – පියදාසයා මේවා අයියගෙ කණේ තියන් නෑ.. මට ඒක හොඳටම විශ්වාසයි..”

පියදාසගේ එකම දියණිය සිරිමා තමාගේ වයසේ සිටින වියපත් පුරුෂයා විසින් දූෂණය වීම පියදාස ඉවසයි. ඔහුට ඊට එරෙහිව නැඟී සිටීමට නොහැකි වූයේ අරක්කු බෝතලයට වහල් වීම , බීමත්කම, ගුණපාලට ණය වී සිටීම වැනි හේතු සාධක විය හැකිය. “ ඔව් කාසිවලින් කට වහලනෙ..ඒකනේ..” යනුවෙන් සිරිමා ද පවසයි.

පළමු වරට ගුණපාලගෙන් දූෂනයට ලක්වීමෙන් පසු ගුණපාල හා සිරිමා එක් වන අවස්ථාවන්හි සිරිමා එතරම් විරුද්ධත්වයක් පෙන්නුම් නොකරයි. සිරිමාගේ පෙම්වතා යුධ වාතාවරණය තුළ අතුරුදහන් වීම හා ඇගේ ප්‍රථම ලිංගික අත්දැකීම ගුණපාල වීම වැනි හේතු සාධක නිසා ඇගේ විරුද්ධත්වය යම් පමණකට සීමා වූවා විය හැකිය.  ඈ බොල පරට්ටියෙ තොට වත් තේරෙන්නැද්ද මේකෙ ආනිසංසෙ..” යනුවෙන් විටෙක ගුණපාලගේ බිරිඳ එමලින් ප්‍රශන නගන්නේ සිරිමාගෙනි. සිරිමාත් ගුණපාලත් වැළඳගෙන සිටිනු දකින එමලින් මෙසේ තම හැඟුම් ප්‍රකාශ කරයි.

“හත්දෙයියනේ.. මේවා කොහොමෙයි විශ්වාස කරන්නෙ?”

“තෝ මොකද වේසියෙ මෙතන කරන්නෙ..හොර අල්ලන්න ආවද? උඹෙ අම්මට..”

යනුවෙන් බැන ගල් ගසා ඇයව එළවා ගැනීමට තරම් කෘෘර මිනිසෙකි ගුණපාල..ඔහුට තමාගේ ක්‍රියාවේ වරද ඉතා සුළුය.. ඔහු එමලින් ගමෙන් පන්නා දමා සිරිමා තම නිවසේ පදිංචි කර ගැනීමට කටයුතු කරයි.. ඒ වන විටත් සිරිමාව ඇගෙන් දරුවෙකු පිළිසිඳ ඇත. ආදරයට වයස බාධාවක් නොවෙයි. නමුත් මෙය රාගය නිසා හට ගත් කැමැත්තක් පමණි.

එමලින් පොලිසියට ගොස් සියලු සිද්ධි සිරිමාගේ සොහොයුරා වන නිමල්ට පවසයි. නමල්ගේ අවසාන තීරණය ත්‍රිපුද්ගල ඝාතනයකි. ගුණපාල ,කීරාළ පමණක් නොව තම පියාද ඝාතනය කිරීමට හදිසි ආවේගය නිසා නිමල් පොළඹවයි. නිමල්ගේ එකම අරමුණ වූයේ තම පණ මෙන් රැකි ගත් සොයුරියගේ අනාගත සාර්ථකත්වය පිළිබඳ සිහිනයයි. එය දඩයක්කරුවෙකුට පාවා දීම නිසා නිමල්ට ඔහුගේම පියා වූ පියදාසත් යක්ෂයෙක් මෙන් පෙනෙන්නට ඇත.

මෙම චිත්‍රපටයේ අවසාන භාගයේ කීරාළගේ ලොරි රථයේ නැගී යක්ෂාවේශයෙන් යන නිමල් සමඟ කතා බහට එක්වීමට තනන කීරාළට කිසිඳු පිළිතුරක් නිමල් ලබා නොදී තිබියදීත්, රෙදි කඩකින් ඔතනු ලැබූ තුවක්කුවක් යැයි සිතිය හැක්කක් නිමල්ගේ අතේ තිබියදීත් කිසිදු චකිතයක් නොපෙන්වීමත් මෙම චිත්‍රපටයේ අභව්‍ය දර්ශනයකැයි සිතමි.

ගුණපාලත් , කීරාළත් ඝාතනය කළ පසු පියාට කතා කළද ඔහු ගෙතුළ සැඟවී සිටීමෙන් සිදු වූ පමාවට එතැනට පොළිසියෙන් පැමිණ පොළිස් සාජන්වරයෙකුගේ අත්තනෝමතික වෙඩි ප්‍රහාරයකින් නිමල් ද මරමුවට පත් විය.

අවසන සිරිමාට තම එකම ආදරණීය සොහොයුරාද නොමැති විය. දඩයක්කරුවා මිය යෑමෙන් ඇයට සෙතක් වූවාද නැතහොත් එවැනිම තවත් දඩයක්කරුවෙකුගේ ගොදුරක්ි බවට පත්වූයේදැයි අප නොදන්නෙමු. යුද්ධය මිනිසුන් අසරණ කර සිටින වටපිටාවක සිදුවූ අවාසනාවන්ත අතුරු කතාව මෙම චිත්‍රපටයේ ප්‍රධාන කතාව වෙයි. ගැමි පරිසරය, දුගී භව, අසම්මත ලිංගික හැසිරීම්, ධනපති පන්තියේ සමාජ හැසිරීම, යුද්ධය ආදී බොහෝ ක්ෂේත්‍රයන් සංස්පර්ෂ කරමින් නිර්මාණිත ‘විසිදැල’ ප්‍රේක්ෂක කුතුහලය මොනවට තබා ගනිමින් අපූරු වියමනක් සේ අවසානය තෙක් දිග හැරෙන යථාවාදී සිනමාත්මක ප්‍රවේශයකි..

සටහන – තරුෂි නවංජනා ලියනාච්චි 

 

LEAVE A REPLY