”උඹ මහ එකා හින්ද ද දෙකක් උඹේ ගොඩට දා ගත්තෙ?”- මහින්ද ගුණවර්ධන.

0
45

රෑ වෙන්න ආසන්න වෙලාවක කොල්ලො දෙන්නෙක් අඹ වත්තක පැනලා අඹ සොරා ගෙන ගෝනියක දමාගත්තා. උන් දෙන්නා එ්වා බෙදා ගන්න ආවේ කනත්තට. ලොකු එකා කපටියා. පොඩි එකාත් ඊට නො දෙවෙනි එකෙක්.
”උඹට එකයි, මට එකයි. උඹට එකයි, මට එකයි.” ලොකු කොල්ලා බෙදනවා. පොඩි එකා රණ්ඩු කරනවා.


”උඹ මහ එකා හින්ද ද දෙකක් උඹේ ගොඩට දා ගත්තෙ?”
”හිටහං යකෝ. තොට තව එකක් දීල තමයි මං ආපහු එකක් ගන්නෙ.”
හොර වැඩක් වුණත් සද්ද බද්ද නැතුව කර ගන්න හැටි කොල්ලො දෙන්න දන්නෙ නෑ. හයියෙන් කතාව.
කනත්ත අසලින් පා පැදියකින් යමින් සිටි තරුණයෙකුට මේ කතාව ඇහුණා. ඔහු බය වුණා.
”එකත් එකට ම දෙයියොයි යක්ෂයයි මිනී බෙදා ගන්නව ඇති.”
තරුණයා බයිසිකලය දෙගුණයක වේගයෙන් පැදගෙන ගියා. වටපිට බැලිල්ලකුත් නෑ. වංගුවෙන් දැම්මා. මහල්ලෙක් ඉදිරියට එනවා. එ් පැත්තට කැපුවා. මේ පැත්තට කැපුවා. පාර අයිනේ තිබුණු ගහකට අල්ලා ගත්තා. තිරිංග තද කළා. යාන්තම් බේරුණා.
”ඔහොමත් බයිසිකල් පදින සිරිතක් තියෙනවද? තව පොඞ්ඩෙන් මට මාරයා ළඟට යි යන්න වෙන්නෙ.” මහල්ලා කීවා.
”සීයේ. එ්ක නෙවෙයි. දෙවියන් වහන්සේ යකෙක් එක්ක මිනී බෙදා ගන්නවා. මට සද්දෙ ඇහුණ නෙ කනත්ත ගාවදි.
”බොරු නො කියා ඉඳින්.”
”ඇමතිගෙ අම්මා පල්ලා. මට ඇහුණා.”
”අනේ. මට බලාගන්න විදියක් නෑ නෙ. මට යා ගන්න බැරුවා.” මහල්ලා කෙඳිරි ගෑවා.
මහල්ලාට ඇවිදගන්න බෑ තමයි. අඩියක් තියලා ඊළඟ අඩිය තියන්න සෑහෙන වෙලාවක් ගන්නවා. පයින් ගියොත් කනත්ත ගාවට යද්දි කළුවර වෙලා තියෙයි.
”සීයා. මං බාර් එකේ තියාගෙන එක්ක යන්නම්. ”
මහල්ලා එකඟ වුණා. දෙන්නා කනත්තේ ගේට්ටුව අසලට පැමිණියා.
”උඹට එකයි, මට එකයි. උඹට එකයි, මට එකයි.” ලොකු කොල්ලා ගොනියෙන් බිමට හලපු අන්තිම අඹ දෙකත් බෙදුවා. බෙදන අතරේ කිහිපයක් රෝල් වෙලා ගිහින් ගේට්ටුවේ වැදිලා නතර වෙලා.
”ඉවරයි ද?”
”උඹට තදියම නෙ යකෝ. අතන ගේට්ටුව ගාව තියෙනවා. යමන් එතනට බෙදාගන්න.”
මහල්ලාට දෙවියන් සිහි වුණා. ඔහු වෙව්ලන්නට පටන් ගත්තා. තරුණයාට ඉන්න තැනත් අමතක වුණා.මහල්ලා ගැනවත් කල්පනා වුණේ නෑ. බයිසිකලය හරවා ගත්තා. හයියෙන් පදින්න පටන් ගත්තා. කිලෝ මීටර් එකහමාරක් විතර පැදගෙන ගියා. වංගුව හමු වුණා. වේගය අඩු කළා. මහල්ලා මතක් වුණා.
”හපොයි. අර උන්දැ විනාසයි. ඇවිද ගන්න බැරි අසරණයා. පව්. දැන් එයා කොටු වෙනවා. දැන් මටත් පව් පිරෙනවා.”
තරුණයා බයිසිකලය නැවැත්තුවා. ඔහු ඉදිරියෙන් ඈතින් කෙනෙක් වේගයෙන් දුවගෙන යනවා.
‘කව්ද එ්?’
මහල්ලා.

 

මහින්ද ගුණවර්ධන.
19. 10. 2017.

LEAVE A REPLY