අඹ කියන්නේ මාරම ගෙඩියක් ඕයි !!! -දේවා-

0
269

අඹ කියන්නේ පලතුරක්. ඉව්වොත් වෑංජනයක්. පොතු රැහැල බ්ලෙන්ඩරේට දාල ගත්තොත් ජූස් එකක්. කෑලි කපලා ලුනු , මිරිස් කුඩු දැම්මොත් කටගැස්මක්. කටට කෙල උනන අච්චාරුවක්. දිවට සැප දෙන චට්නියක්. රස්නෙ දවසට කන්ඩ පුලුහං පට්ට රහ අයිස්ක්‍රීම් එකක්. දෙපැත්ත කපලා පූජා වට්ට්යේ තිබ්බොත් දෙයියන්ගෙ කෑමක්. මේ විදියට කල්පනා කරල බැලුවොත් අඹ කියන්නේ ලපයි සිපයි පලතුරක් එහෙම නෙවෙයි. සුප්පා ෆස්ට් ක්ලාස් “මල්ටි පර්පස්” පලතුරු රජෙක්.

අඹ ගෙඩිය සිම්බල් එකක්. ලෙවල් එකේ ඉන්න ලෝගෝ එකක්. පොලිටිකල් කැරැක්ටර් එකක්. ඉන්දියාවේ ජාතික පලතුර අඹ. ඉන්දියාවත් එක්ක ෆුල් ම ඔරොප්පුවෙන් ඉන්න පකිස්ථානයේත් ජාතික පලතුර අඹ. කොටින්ම අක්කර දාස් ගණනක පඩිපෙල් වගේ හදාපු කුඹුරු යායවල් තියෙන පිලිපීනෙ පවා ජාතික පලතුර අඹ.

ලංකා ඉතිහාසය වෙනස් වෙන්නෙත් අඹ හන්දා. මිහිදු හාමුදුරුවෝ දේවානම්පියතිස්ස රජ්ජුරුවන්ගේ “අයි. කිව්” ලෙවල් එක මනින්නේ අඹ ප්‍රශ්නයක් අහලා. සරලවම කිව්වොත් ගස් ගල් වැද වැද , මුවෙක් දෙන්නෙක් එලාගෙන “තර්ඩ් ක්ලාස්” ටයිප් එකේ හිටිය සිරි ලංකන්ස්ලගෙ අලු දූවිලි ගසල දාලා “සිවිලයිස්” වෙන්ඩ පාර කැපුවේ අඹ ගෙඩියක්.

අඹ ගෙඩිය රවුම් නෑ. කොටුත් නෑ. අඹේට තියෙන්නේ ඒකටම ආවේනික වෙච්ච සුපිරි ” යුනීක් ” ශේප් එකක්. කවියො අඹ ගෙඩිය පාවිච්චි කරන්නේ ජම්බු ගස් වල නැගලා, වැටිලා අත පය හූර ගත්තු ගැටිස්සියොන්ගෙ පීදීගෙන එන පපු කැවුතු ගැන කියන්ඩ. ගායකයෝ “අඹ ගෙඩියක හැඩේ ගත්ත..අරුම පුදුම රටක් තියෙනවා ඕයි ” කියල කියන්නේ සංස්කෘතිකව පිස්සු කෙලින ආතල් කොදෙව්වක පැටිකිරිය දිගාරින්ඩ.

මිනිස්සුන්ට වගේම අඹ අතරත් පන්ති තියෙනවා. පැලැන්ති තියෙනවා. පෙට්ටි අඹ වලට වඩා කර්තකොලම්බන් වල “ක්ලාස්” එක වෙනස්.ඒ හන්දා එකම අඹේ වුනත් දෙකේ ගාන වෙනස්. රහ වෙනස්. පාට වෙනස්. ඩිමාන්ඩ් එක වෙනස්. ලැබෙන රෙස්පෙක්ට් එක වෙනස්.

ලංකාවේ මේ දවස් වල “හොට්ම ටොපික්” එකත් අඹ. වයසක උන්දැ කෙනෙක් අඹ ගෙඩි දෙක තුනක් හොරා ගැනීමයි ; ඒ ගැන නීතිය ඇස් බැදගෙන දුන්නු තීන්දු ගැනයි මිනිස්සු ඉන්නේ “අබ පුපුරන” තරං තරහකින්.

හොරකම කියන්නෙ හොරකමට. හොරකං කරන දේට අනුව වැරැද්දේ පවර් එක ඉහල පහල යන්නේ නෑ. ඒක හරියට ඊනියා සාන්තුවරු ගෙරි මස් නොකා කුකුල් මස් කාපුවාම එච්චර පව් සිද්ද වෙන්නෙ නෑ කියනවා වගේ පහයි පනහේ සීනි බෝල ලොජික් එකක්. ඒ හන්දා අඹ ගෙඩියක් හොරකං කරන එකයි මිනිස්සුන්ට අයිති සල්ලි ; ටයි දාපු මහත්ව(හො)රු යටි මඩි ගහන එකයි දෙකම හොරකං.

හැබැයි ලංකාවේ නීතියයි , පොලෝසියයි මේ සීන් දෙකේදි ඇක්ට් කරේ චරිත දෙකක්. අසරණයාට දාන්ඩ පුලුහං උපරිම නීති දාලා කොටු කරනවා.තලනවා. ගොරවනවා. වද දෙනවා. බංකු උඩ පැය ගනන් තියල තියනවා.ඒත් “ලොවෙත් නැති ගේම් දීපු” ටයිපටි දාපු සෙක්‍රටරිලා , සාටක දාපු මිනිස්ටර්ලා හිනා වෙලා හිරේ ගෙහුං අත වනලා බායි පාර දාලා ගෙදර යනවා. ඒම නැත්තං කවදාවත් තිබ්බෙ නැති ලෙඩක් එක පාරටම හැදිලා ඉස්පිරිතාල ගත වෙනවා. කාර් එකට නගින කොට සැලුට් හතර පහක් සට සට ගාල වදිනවා. මාරයි !

ඒත් දැන් මිනිස්සුන්ගේ නිදි වැදිලා හිටපු තුන් වෙනි ඇහැ, යාන්තමට ඇහැරෙන්ඩ පටන් අරං. “කොලඹට නෙස්ටමෝල්ට් ගමට තේ කහට” නීති පද්ධතිය වෙනස් වෙන්න ඕනි , වෙනස් කරන්න ඕනි කියන ගට් එක , ඇටිටියුඩ් එක මොලගෙඩි වලට හිමි හිමිං කාන්දු වේගෙන යනවා. ඒක වුනෙත් අඹ ගෙඩියක් හන්දා. ආප්ප කාලා රටේ ජනාධිපති වෙනස් වුනා වගේ පුංචි අඹගෙඩි තුනක් හන්දා රටේ ලෝ සිස්ටම් එකම වෙනස් වෙන්නත් බැරි නෑ. ඒ අතින් බැලුවහම අඹ කියන්නේ මාරම ගෙඩියක් ඕයි !!!

-දේවා-

LEAVE A REPLY