“මටත් පුළුවනි ජම්බො වගේ කෑ ගහ ගහ රෙද්ද උස්සගෙන යන්න..”- සෙයිලම – තරුෂි නවංජනා ලියනාච්චි

0
426

1996 සරසවි චිත්ර පට උළෙලේදි හොඳම චිත්රපටයට හිමි සම්මානය ඇතුළුව සම්මාන 10ක් ලබා ගත් ‘සෙයිලම’ සිනමා පටය එච්. ඩී. ප්‍රේමරත්නයන් අධ්‍යක්ෂණය කළ රවීන්ද්‍ර රන්දෙණිය, සිරිල් වික්‍රමගේ, අනෝජා වීරසිංහ, දයා තෙන්නකෝන්,ඩබ්. ජයසිරි, ඩිලානි අබේවර්ධන, මැණිකේ අත්තනායක යන ප්‍රවීණ රංගන ශිල්පීන්ගේ රංගන දායකත්වයෙන් පෝෂිත, සයිමන් නවගත්තේගම  සූරීන්ගේ තිර රචනයකි.

බණ්ඩාත් සිරියාත් ඔවුන්ගේ එකම පුතාත් ග්‍රාමීය පරිසරයක සන්තෝසයෙන් දිවි ගෙවයි.. ඒ අතර අඳ කුඹුර අහිමි වීමත්, වැසි නෙලැබීමෙන් හේනක් කෙටීමට පවා නොහැකි වීමත් මත අසරණ වූ පවුලට උදව්වක් ලෙස සිදාදියේ සිට කැලෙන් ලී කපාගැනීමට පැමිණි රතු මහත්තයා මුදලාලි ඔවුන්ට කඩයක් දමා ගැනීමට උදව් කරයි. ඒ අතරතුර රතු මහත්තයා මුදලාලි සමඟ පැමිණි විල්සන් නමැත්තෙකුගෙන් සිරියා දූෂණයට ලක්වෙයි. ඇය බලාගත් අත බලා සිටිනවා මිස කඩයේ වැඩ වලට උදව් නොකරයි.. කඩය බංකොලොත් වේ..ඒ අතර විල්සන්ගේ නොමනා ක්‍රියාව දැනගත් රතු මහත්තයා විල්සන්ව ඝාතනය කරයි. කඩය බංකොලොත්වීමත්, බීමත්කමත් නිසා අසරණ වූ බණ්ඩා කඩය ගිනි තබා තමා සිය දිවි නසා ගනියි. පසුව රතු මහත්තයා සිරියාව සිදාදියට කැටුව ගොස් ඇයව විවාහ කරගනියි. තමා සේවය කරන මුදලාලිගේ අසාධාරණ ක්‍රයාකලාපය නිසා රතු මහත්තයා රැකියාවෙන් ඉවත් වෙයි. නව රැකියාව ලෙස ගණිකාවන් ඇසුරු කරන ධනවතුන්ගෙන් කප්පම් ගනියි. ඔවුන් ඒ සඳහා යොදවා ගන්නේ නාගරික පැල්පත් නිවාස සංකීර්ණයේ වෙසෙන ජම්බෝ නමැති ගණිකාවකි. එයට මහත් සේ විරුද්ධ වන සිරියා තමන්ටත් ජම්බෝ සේ ක්‍රියා කළ හැකි බවත් මින් පසු රැකියාවට තමන් යොදා ගන්නා ලෙසත් තම සැමියාගෙන් ඉල්ලා සිටියි. එය ඇසූ රතු මහත්තයා කෝප වෙයි. පසුව රතු මහත්තයාව පුදුමයටත් වික්ෂෝපයටත් පත් කරමින් සිරියා ගණිකාවක ලෙස කටයුතු කිරිම අරඹයි.

ජීව විද්‍යාත්මකව ස්ත්රීයට හා පුරුෂයාට ලැබී ඇති ලිංගික වෙනස මත සමාජය විසින් දීර්ඝ කාලයක් තිස්සේ වෙනස් වු සමාජ තත්වයන් මෙම දෙපක්ෂය සදහා නිර්මාණය කර දී ඇත. සංස්කෘතිය, ආගම, විශ්වාස, ඇදහිලි හා සිරිත් විරිත් මගින් මෙම සමාජ තත්වය ස්ථාපිත කර තිබේ.පවුලක් ලෙස ගත් විටත් අඩු නිදහසක්, අඩු වරප්රාසාද, අඩු අයිතිවාසිකම්, අඩු දේපළ, අඩු කීර්තිය හෝ අඩු බලය කාන්තාවට හිමිවන බව  විග්‍රහකිරීමට ස්ත්‍රීපුරුෂ සමාජභාවය යන ඡත්‍ර පදය මා මෙතැන් සිට භාවිත කරමු. මෙම සිනමා පටයෙන් ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ අදහස් මා සිතට වඩාත් කා වැදුණු බැවින් මෙම විග්‍රහය ද ඒ ඔස්සේ ගලා යනු ඇති බව සඳහන් කිරනු කැමැත්තෙමි.

කතාවේ මධ්‍යයේ  ප්‍රධාන හැරවුම් ලක්ෂයේ සිට දිවෙන කතාවත් කතාවේ ආරම්භයත් සමානත්රව දිවෙන ආකාරයෙන් චිත්‍රපටයේ ආඛ්‍යානය ගොඩනඟා ඇත.

චිත්‍රපටය පුරාම දිවෙන ගැමි පරිසරය, ගැමි වහර සිත්ගන්නාසුළුය.  දයාර්ද්‍රය.. අවංකය..එය සිනමා කෘතිය තුළ තාත්වික අයුරින් ප්‍රතිනිර්මාණය කර ඇත. .ගහ කොළ දුටුවත් සිත් පිනා යන සෞම්‍ය හැඟුමක් සිතේ පැලපදියංවන්නේය. එනිසා එදාට වඩා අද කොන්ක්‍රීට් ලෝකයක සින්නවුන්ගේ කුතුහලය තීව්‍රරය. එය ප්‍රේක්ෂකයා ඇඳ බැඳ තබා ගනියි.

“මේ කොයි යන්නේ

රයිගම් යන්නේ

කවදද එන්නේ

නැත අප දන්නේ

උඩින් ගියොත් සිරස බිඳෙයි

බිමින් ගියොත් තිඹොල් ඇණෙයි ..//

කුරිරු ගොර සපුන් ගහණයි වනන්තරේ

වල්මත් නොවී යන ගමනක් හෙමින් සැරේ

සතුන් පනී

දෙබරු අණී

සොර මුළු සේසත පැහැර ගනී ..//

බාර හාර වී පුද පෙත් නොකළාට

අටවිසි බුදුන්ගේ සරණයි නුඹලාට

ගමන දුරයි

මඟ කටුකයි

පා යුග පැකිළෙයි බලාගෙනයි …//

ගායනය – එඩ්වඩ් ජයකොඩි සහ ශ්‍රියා කාරියවසම් ඇතුළු පිරිස

පද – මහාචාර්ය සුනිල් ආරියරත්න

තනුව – රෝහණ වීරසිංහ

මඟ කටුක වූ රුදුරු මග ගමන් ගන්නා ඔවුන්ගේ පා යුග පැටලී වැටෙන අවස්ථාවන්ද යළි නැඟිටින අවස්ථාවන්ද පමණක් නොව ඔවුන්ගේ මඟ අවරණය කරන්නවුන්ද අපට සිනමාපටයෙන් මුණ ගැසෙයි. “කුරිරු ගොර සපුන් ගහණයි වනන්තරේ…වල්මත් නොවී යන ගමනක් හෙමින් සැරේ…” වනන්තරේට වඩා ගොර සපුන් සිටින්නේ අප දිවි ගෙවන සමාජ ස්ථරයේ ය.

චිත්‍රපටයේ තිර රචනයේ පවත්නා අපූරු කාව්‍යාත්මකභාවයන් එහි ගුණාත්මක භාවය උද්දීපනය කරන අයුරු පළමු දෙබස් ඛන්ඩයන්ගෙන්ම ප්‍රේක්ෂකයන් ආකර්ෂණය කරගැන්මට සමත් වේ.

 “-කොලූ සෙල්ලමේ ගිහිල්ලා තව ආවෙ  නෑ..

-කොලූ එනකල් කොලූගෙ තාත්තට බැරියැයි ටිකක් කන්න..

-අවාරේ පල ගත්ත ගඩා ගෙඩි ගොගුඩක් හම්බ වුණා..කුමී දන්නැද්ද.. ගහට බඩගාලා අත්තක්ම පෑස්සා..

-හ්ම්ම්..ආකාහෙ වලාකුළු බිඳක් නෑ.. වැහි නැති හෙන..”

කැලේට ගොස් දර කැඩීම, කලයට වතුර පුරවා තැබීම, ඉයුම් පිහිම් වැනි කාර්යයන් සිදු කරන්නේ ළමයින්ගේ අම්මාය. ඈ සිරියාය. ළමයින්ගේ තාත්තා වන බණ්ඩේ ඔහුගේ වැඩ කටයුතු සඳහා සිරියාගේ උදව් ලබා ගනියි. නමුත් සිරියා තම වැඩ කටයුතු තනියම කළ යුතු වේ. බණ්ඩේ තම කාර්යන්ට සිරියාගේ උදව් ලබා ගනියි.  කැලයේ දර කැපීමට යන බණ්ඩේ සිරියා ද කැටුව යන්නේ එබැවිනි. කාන්තාවට වෙන්වූ කාර්යන් පවති..ඇය එවන් කාර්යයන් තනිව සිදු කළ යුතුය..එමෙන් තම ස්වාමියාගේ වැඩ කටයුතුවලට ද උදව් කළ යුතුය.

වෙඩික්කරු – උඹලා කොහේද යන්නෙ?

බණ්ඩා- මීයකුත් කඩා ගෙන වහලේ ටිකක් උස්සගන්න ලී ටිකක් කපා ගන්න කැලේට යනවා..

වෙඩික්කරු – මේ නෑම්බි එක්ක යන්නෙ ගෙදර දාලා යන්න බයේද?

බණ්ඩා – එහෙම එකකට නෙවෙයි..මං කවදත් කොහෙ යන්නෙත් ඒකි එක්කම තමයි.

ඔහු කවදත් කොහ යන්නෙත් ඒකි එක්කය. නමුත් ඒකි වතුර අදින විට, දර කැපීමට කැලේ යන විට ඔහු ඈ සමඟින් පැමිණෙන්නේ නැත.

බණ්ඩා – උඹ දන්නවද සිරියා වැඩක්?

උඹ හම්බෙන්න ඉස්සරවෙලා මං දවසක් කැලේ එනකොට දර කඩන ගෑණු වගයක් හම්බවුණා. එක ගෑණියෙක් මාව දුටුවා.. මාත් මොනවා වත් හිතන්නෙ නැතුව අත වැනුවා. මං හීනෙකින් වත් හිතුවෙ නැති විදිහට අනික් ගෑනුන්ට හොරෙන් මේ ගෑනි ආවා නේද? එහෙම තමයි මං ඉස්සර වෙලාම කැලේ මැද්දෙ ගෑණියක් එක්ක හැසිරුනේ..

බණ්ඩා ඔහුගේ අත්දැකීම රස කරමින් ඇයට පවසන්නේ එය ආඩම්බරයට කාරණයක් සේ සළකමින් බව ඔහුගේ කතාවෙන් පෙනෙයි. පිරිමියාට එය ආඩම්බරයට කරුණකි. ගැහැණිය එසේ කළා නම් එවැනි අත්දැකීමක් පිරිමියෙකු සමඟ බෙදා ගන්නේ නැත. එවැන්නක් කළ හොත් ඇයට මුලු ජීවිත කාලයම එයට වන්දි ගෙවීමට සිදු වෙයි. නමුත් ඔහු ඇයට ආශාව ඇති කිරීම පිණිස විවාහයට පෙර ලිංගිකව එකතු වීම පිළිබඳ  අත්දැකීමක් ඇය සමඟ බෙදා ගනියි. ගැමියාගේ අවංක හෘද සාක්ෂිය මෙතුළින් අනාවරණය වීමත් සමඟම ස්ත්‍රීපුරුෂ සමාජභාවය පිළිබඳ අදහසුත් අනාවරණය වෙයි. සමාජය විසින් එකම කාර්යයක් වෙනුවෙන් ස්ත්‍රියට හා පුරුෂයාට දෙආකාරයකින් සංග්‍රහ කරයි.

බණ්ඩේ –  මටත් ආසයි උඹත් එක්කත් එහෙම ඉන්න..

සිරියා –  ඔව් ඒකි ගැන හිත හිතා ඒකි මතක් වෙන්න..

පිරිමින්ගේ ගුප්ත හැඟීම් පිළිබඳව සිරියා තුළ පවතින අවබෝධය එයින් පැහැදිළි වෙයි. දර කඩන ගැහැණිය සමඟ කැලේදී එදා එක්වූ ආකාරය මෙනෙහි කරමින් තම බිරිඳ සමඟ එක් වීමට සිතුවා විය හැකියි. එමෙන්ම ඇය නෝක්කාඩුවක් පෙන්වද්දී අකමැත්තක් පෙන්වද්දී ඔහු බලෙන්ම ඇය සමඟ එක් වෙයි. පුරුෂයාගේ ආධිපත්‍ය ලිංගිකත්වය කෙරෙහි පවතින බව නොවේද ඉන් ගම්‍ය වන්නේ..

සිරියා – පිට්ටුවට කූඹි නගියි.

බණ්ඩේ – කමක් නෑ ඔහෙ නැගපු දෙන්..

සම්භෝගයට එක්වන අවස්ථාවේ එයට අකමැත්ත පල කිරීමට සිරියා පිට්ටුව පිළිබඳ මතක් කළද ඔහු එය නොසළකා හැර ඇය සමඟ එක් වෙයි. ඒ ඔහුට අවශ්‍ය වෙලාවේදීය. ඔහුට අවශ්‍ය ස්ථානයේදීය. ඔහුගේ කැමැත්තටය. නමුත් ඇයට අවශ්‍ය මොහොතෙක, ඇයට අවශ්‍ය ස්ථානයක ඇගේ කැමැත්තට එක්වීමක් නැත. ඇය ද එවැන්නක් සිදුකර ගැනීමට නොහිතයි. එවැන්නක් සිදු කීරීම ලැජ්ජාවට කරුණක් ලෙස සමාජය පිළිගනියි.

ආරච්චි – මං තීරණයක් ගත්තා.. කන්න දෙකෙන් දෙකට අඳේ මාරු කරන්න

එකම අඳ ගොවියට දිගින් දිගටම දුන්නොත් මගේ කුඹුර ලබා ගන්න බෑ..

බණ්ඩා – ඒ කියන්නෙ,

ආරච්චි – උඹට අඳේට දීලා තිබෙන කුමුර වෙන කෙනෙකුට දෙනවා..

බණ්ඩා – එතකොට?

ආරච්චි- දක්කපිය කරත්තෙ..දැනට ඔච්චරයි..පස්සෙ වලව්වට වර

හිටපු ගම්මුලාදෑනි හා බණ්ඩා අතර සංවාදයයි ඒ.. ගමේ අහිංසක ගැමි ජීවිත වලට වින කිරීමට යටත්විජිත යුගයේ සුද්දන්ට පන්දම් ඇල්ලූ මුලාදෑනින් කටයුතු කළ අයුරු එසේය. ඔවුන් උස් තැන් දැක හැකිලෙන මිටි තැන් දැක පුප්පන තානාන්තර වලින් පිම්බෙන පුහු මිනිසුන්ය.

බණ්ඩා – ඩැයිවර් උන්නැහේ රුපියල් 200ක්ම දීලා ගියා..මොකද්ද ළමයින්ගෙ අම්මා කියන්නෙ?

ගෙට අල්ලලා කඩ කෑල්ලක් හදන්නලු පුංචියට..පොල් අතු බැඳලා..

සිරියා – මට නම් රුස්සන්නෙ නෑ ඔය බේබදු මිනිස්සු.. අනික කාටද විස්වාස කරන්න පුළුවන්..හමුබුණා විතරයි.

බණ්ඩා – මිනිහා බොරු කාරයෙක් නම් නෙවයි. පළවෙනි දවසෙම කුළුපඟ වුණා

අනේ මං දන්නෑ.. ළමයින්ගේ තාත්තගෙ කැමැත්තක්..

බණ්ඩා ඇගෙන් තම අදහස විමසුවද ඇගේ අදහසට අනුව ක්‍රියා නොකරයි. එය දන්නා සිරියා අවසන පවසන්නෙ ‘අනේ මං දන්නෑ.. ළමයින්ගේ තාත්තගෙ කැමැත්තක්..’ යනුවෙන්ය.හේන් ගොවිතැනට වතුර නොමැති වීමත්, කුඹුරේ අඳය නොලැබී යාමත් නිසා ජීවිත ගැඹරේ ගිලෙන ඔවුන්ට එල්ලීමට පිදුරු ගහක් වුවද කම් නැත.

පිරිමින් ගැහැණිය තනි වූ වේලාවක් බලා ඇයව ගොදුරු කර ගනියි. සිරියා කොළඹ සිට පැමිණි  විල්සන් අතින් දූෂනය විය. සිරියාට ඒ පිළිබඳව බණ්ඩාට පැවසීමට නොහැකි වෙයි. ඇය සිතින් තැවෙයි. දුක් වෙයි. ඇය විල්සන්ගේ යක්ෂ ග්‍රහණයෙන් මිදීමට නොගත් උත්සාහයක් නැත. නමුත් අවසන ඔහුට ගොදුරු විය. බණ්ඩා කැලේ යන ගමනේදී ගැහැණියක හා එක් වීම ඉතා ආඩම්බරයෙන් පැවසීය. නමුත් ගැහැණියට එය ආඩම්බරයෙන් ප්‍රකාශ කළ හැක්කක් නොවෙයි.

රතු මහත්තයා යන චරිතය අසාධාරණයට විරුද්ධව කටයුතු කරනු චිත්‍රපටය තුළ හඳුනාගත හැකිය. නමුත් ඔහු සමාජයේ සාධු සම්මත වැඩ කරන්නෙක් නොවේ. ඔහුගේ රැකියාවන් ද්වයම සමාජ විරෝධීය, නීති විරෝධී ය. නමුත් ඔහු අසාධාරණය නොරුස්සයි.

රතු මහත්තයා සිරියාට සිදුවූ අසාධාරණය දැනගත් පසු එය සිදුකළ විල්සන් නමැත්තා මරා ඔහුලවාම කැප්පවූ වලක දමා වල දමයි. රතු මහත්තයා යනු එවන් චරිතයකි. කැළණි ප්‍රදේශයේ මුඩුක්කු ජනාවාසයක හැදුණු රතු මහත්තයා අසාධාරණය ප්‍රතික්ෂේප කළ පෞර්ෂයෙකින් යුත් තරුණයෙකි. ගන්ජා වෙළඳාම කරන ඔහු ඉන් පසු යෙදුණු රැකියාව වූයේ ගණිකාවන් ඇසුරු කරන පිරිමින්ගෙන් කප්පම් ලබා ගැනීමයි. නමුත් මානුෂිය ගුණාංග අතින් යම් ඉහළ ස්ථානයක රැඳුනු පුද්ගලයෙකි රතු මහත්තයා..

රතු මහත්තයා –  තවත් ප්‍රශ්නයක් තියෙනවා මුදලාලි සයිමා ඇරුණහම හේන වවපු එකාටත් සළකන්න ඕනෙ..

මුදලාලි – කීයක් විතර?

රතු මහත්තයා – හරි ලස්සනට කාටවත් හොයාගන්න බර තැනක අගේට වවලා තියෙනවා..ඉස්සරහටත් වවලා දෙයි..දැන් හොය හොය යන්න ඕන්නෑ..

මුදලාලි – දැන් ඉතින් උඹ පොට අල්ලගත්තනෙ..දැන් අපේ මිනිස්සු දාලා ගන්ජා හේන වවන්න පුලුවන්නෙ..

රතු මහත්තයා – ෂෑ ෂෑ ඒක හරි නෑ මුදලාලි..

මුදලාලි – ඔන්න ඉතින් උඹ බෝධි සත්වයෙක් වෙන්න හදනවා..ඔයා ගමේ බයියන්ට රු.2500ක් විතර දුන්නහම ඇතිනෙ..

රතු මහත්තයා – හරි නෑ මුදලාලි වැඩේ.. ඌ අහිංසකයා..

මුදලාලි – රුපියල් 3000ක්?

රතු මහත්තයා – ම්හ්හ්හ..

රතු මහත්තයා – මං නම් හිතන්නෙ රුපියල් 10 000 ක් වත් දෙන්න වෙයි..

මුදලාලි – යකෝ 10 000ක් ..එතකොට අපිට කීයද ඉතුරු වෙන්නෙ..?අපිත් බෙල්ල කඩුවට තියලා නේද මේ වැඩ කරන්නෙ..ඔන්න මොරටුවටම ගෙනැල්ල දුන්න නම් සාධාරණයි කියලා කියන්න පුළුවන්..3000 ට වඩා සතයක්වත් දෙන්න එපා

එහෙනම් මගේ කොටසත් මුදලාලිම තියාගන්න..මගේ ණය රු. 15 000 මං වෙන විදිහකට ගෙවලා දාන්නම්..ඉතුරු බඩු ටිකත් මුදලාලිම තියා ගන්න. හැබැයි යන මිනිහෙක් අතේ හරි අර මිනිහගේ රුපියල් 10,000 අරින්න.

මුදලාලි – මේ රතු මහත්තයා මේ බලපන්.. ඔය ගමේ බයියෙකුට රුපියල් 3000 ක් කිව්වහම කොච්චර ලොකු මුදලක්ද?

ගමටත් නගරයටත් මුදලේ වටිනාකම එකක් ලෙස නොව දෙකක් ලෙස කලුකඩ මුදලාලි විසින් හඳුන්වනු ලබයි. නමුත් ,මුදලාලි හිතන්නෙ එහෙමද ? යනුවෙන් රතු මහත්තයා විමසා සිටින්නේ තව දුරටත් ගමත් නඟරයත් අතර වෙනස නොපවතින බව ඔහු දන්නා බැවිණි. ඒ වන විට නගරය ගම ආක්‍රමණය කොට හමාරය. මුදලාලි ගැමියන් රවටා තම මඩිය තර කර ගන්නා සෙයිලමේ ධනපතියෙකි.

ගැමියන් අතර පැවති සමීප පවුල් සබඳතා නාගරීකරණයේ යම් යම් අංගයන් ගම ආක්‍රමණය කිරීමෙන් පසු දුරස් වී ගියේය. සිරියා හා බණ්ඩා අතර පැවති ප්‍රේමය, එකමුතුව, සංහිඳියාව බිඳ වැටුණි. සීල් අරක්කු බෝතල් බණ්ඩාගේ ජීවිතය තව තවත් නන්නත්තාර කළේය. බණ්ඩා සිය දිවි නසා ගන්නා තත්වය දක්වාම දරා ගැනීමට නොහැකි විපර්යාසයක් ඔහුගේ ජීවිතයට සිදු විය. කඩේ බංකොලොත් වීම, ගොවි අඳය අහිමි වීම, හේනක් හෝ කෙටීමට ජලය හිඟ කම, බීමත්කම, පවුල් සංස්ථාවේ සම්බන්ධතා ලිහිල් වීම ඔහුගේ සිය දිවි නසා ගැනීමට හේතූ විය.

මනමේ කුමරිය වැද්දා හා ගියා මෙන්ම ගැමියන්ගේ අපවාද හමුයේ තම ආරක්ෂණය උදෙසා අවමඟුල හමාර වී කලක් ගතවන්නටත් පෙරාතුව රතු මහත්තයා හා විවාපත් වීමට සිරියාට සිදු වෙයි. ඒ ඇගේ සැමියා වූ බන්ඩාට සෙනෙහස නොමැති කමක් නිසා නෙවෙයි. සමාජය නොයෙක් කතා කීවට ඇය ආරක්ෂා කිරීමට ඉදිරිපත් වන්නෙක් නොමැති බව සිරියා හොඳින් දනියි.

රතු මහත්තයා හා සිරියා අතර මධුසමය සිරියා පුදුමයෙන් පුදුමයට පත් කරයි. නාගරික මුඩුක්කු පරිසරය තුළ ගැහැනුන්ට පිරිමින්ට නිදහසේ සම්බෝග සුව විඳීමට ද හැකියාවක් නොමැති බව සිරියාට ප්‍රථම වරට වටහා ගනියි.

“රතු මහත්තයා – අද හරි තැනක තමා අපේ හොනිමෝං එක?

සිරියා- මොකද්ද හොනිමෝං එක කියන්නෙ?

ලෝගුස්ගේ බිරිඳ- -කියලා දෙන්න වෙලාද රතු මහත්තයා අයියෙ ඒකත්?කියන්න මේ හොඳැයි කියලා..මං ලෝගුස් එක්ක හනිමූන් ගියේ එයාගෙ ටැක්සියේ පිටිපස්සෙ සීට් එකෙ..”

ඔවුන් තම ලිංගික කටයුතු සිදු කරන්නේ ද ‘ටර්න්’ එකටයි. “එහෙයි මෙහෙයි කියලා වෙනසක් නෑ.. එහේ හැංගිලා කරන දේවල් මෙහේ එළිපිට කරනො” පුදුමයට පත් ඇයට තත්වය පැහැදිළි කරමින් රතු මහත්තයා එසේ පවසයි. නාගරික මුඩුක්කු නිවාස සංකීර්ණයේ සතුන්ට සේම මිනිසුන්ද එළිපිට සංසර්ගය කිරීමට සිදුව ඇත.

ජම්බෝ යන චරිතය නාගරික පැල්පත් නිවාස සංකීර්ණයේ ගණිගාවකගේ භුමිකාව නිරූපණය කරයි. ඇයට රතු මහත්තයාගෙන් සිදු වූ අසාධාරණයක් ඇය ඔහුගේ මඟුල් පෙරහැර අවස්ථාවේ හෙළිදරව් කරයි.

“රතු මහත්තයා අපිව කොටු කර ගන්න කාලේ කියපුවා..ඒවා මතක නැතුව ඇති නේද? උදේ පාන්දර 5ට වතුර ටැංකිය ගාව මට ඉන්න දුන්නද?

බලන්නකො අයියෙ මට මේකෙ ඉන්න එවුන් එක එක කතා කියලා පාච්චල් කරනවා.. කවුරු හින්දද..රතු මහත්තයා හින්දනෙ..”

ජම්බෝ වැනි කාන්තාවන් නිරන්තරයෙන් පිරිමින්ගේ අසාධාරණයට ලක් වෙයි. අවසන සමාජ දෝෂාරෝපණයට ලක් වන්නෙත් ඇයයි. ‘රස්සාවට මිනිස්සුත් එක්ක යනවා තමයි ඒ අපේ රස්සාව,’ යැයි ඇය වරෙක සඳහන් කරන්නේ මෙය ඇගේ රස්සාව මිස ඇගේ අවශ්‍යතාවට, කැමැත්තෙන් සිදු කරන්නක් නොවන බව අඟවමිනි. ජම්බෝ ද සාරියකින් සැරසී ඔෆීස්යකට ගොස් කරන ආඩම්බරකාර රැකියාවකට කැමති ඇති . නමුත් ඈ වැනි නාගරික පැල්පතක් වාසී තරුණියකට එවන් රැකියාවක් ලබා ගැනීමට හැකියාවක් නැත. ඒ නිසා ඈ තමාට ලැබුණු සුරූපී රුව උපයෝගිත්වයෙන් මෙම රැකියාවට යොමු වන්නට ඇති.

“ඇත්තම කියනවා නම් ඔය වගේ වල් ගෑණියෙකුට මගේ කොල්ලා අහු වෙයි කියලා තමයි මම උඹට දරුවෙක් ඉඳලත්, උඹව නොදැකත් ඕකට කැමති වුණේ..”

 සිරියාගේ නැන්දම්මා  සිරියාට සිදු කළ ඉහත ප්‍රකාශයෙන් ගම්‍ය වන්නේ ගැහැණිය පවා ගැහැණිය වෙත හෙළන දෘෂ්ටිය ඉතාමත් අසාධාරන බව නොවේද.. ජම්බෝ වල් ගැහැණියකි. ඇය සමඟ එකතු වූ ඇගේ පුතා වල් මිනිහෙක් නොවේ.. අනෙක් කාරණාව නම් දරුවෙක් සිටින අසරණ ගැමි ගැහැණියක් තම පුතා හා අතිනත් ගැනීම හුදෙක් ඇගේ අසරණභාවය හෝ කැමැත්ත මත ඉවසුවා නොව ජම්බෝට හසුවේ යැයි ඇති බිය නිසා සිදුකළ බව ප්‍රකාශ කිරීමයි.  සමාජය විසින් නිර්මාණය කළ නිර්ණායකයන්ට කළ හැකි බලපෑම එනම් වේ.

“ සිරියා- රතු මහත්තයට රස්සාවත් ඕන..

රතු මහත්තයා – ඔව්

සිරියා-  රතු මහත්තයට මාවත් ඕන..

රතු මහත්තයා – ඔව්

සිරියා- එහෙනම් මීට පස්සෙ මාව එක්ක යන්න ඔය රස්සාවට..ඒකි නැතුව..

රතු මහත්තයා- මොකද්ද කිව්වෙ?

සිරියා – ඇයි මගේ අඩුවක් තියෙනවැයි..ජම්බෝ වගේ ඇඳ ගත්තොත් මටත් පුලුවනි නට නටා යන්න..

රතු මහත්තයා – ආය කියහන් බලන්න..කට කැඩෙන්න ගහන්නෙ පට්ට බැල්ලි..තෝ හිතුවද පරට්ටියෙ ගව් ගානක් දුර ඉඳලා මං උඹව කැන්දගෙන ආවෙ ජම්බොල වගේ වේස කමේ යවන්න කියලා..

සිරියා – මං එහෙම එකක් නෙවෙයි කීවේ. රතු මහත්තයට ඔය රස්සාවම කරන්න ඕන්නම් ඔය වැඩේ මගෙත් එක්ක කරමු කියලා..

“මටත් පුළුවනි ජම්බො වගේ කෑ ගහ ගහ රෙද්ද උස්සගෙන යන්න..”

කැමරාවට පිටුපා රතු මහත්තයා දෙස බලා කතා කරමින් සිටින ඇය අවසාන වාක්‍ය කැමරාව දෙසට හැරී පවසයි..එය සමාජය වෙත කරනු ලැබූ ප්‍රකාශයකි. සිනමා පටය තුළ පවතින වඩාත්ම ආවේගශීලි ප්‍රකාශය එයයි.. ජම්බෝටත් වඩා විශිෂ්ට ලෙස තමාට එය සිදු කළ හැකි බව කතාව අවසානයේ සිරියා ඔප්පු කර පෙන්වයි.. සකල සුන්දර සදාචාරසම්පන්න යුවතියක් වීමත්,  ගණිකාවක් බවට පත් වීමටත් යන ද්වයම ගැහැණියකට සිදු කළ හැකිය.  ඇතැම් විට එම ප්‍රපංචයන් අතර වෙනස  කෙස් ගහක් වත් නැතිය. නමුත් සමාජය හමුයේ මහමෙරක වෙනසකි. ඔවුන්ට අවස්ථාව හෝ ඒ කරා බලපෑ හේතු නොඅදාළය.

සටහන- තරුෂි නවංජනා ලියනාච්චි

.

 

LEAVE A REPLY