සසඳනවා නම් ඔහු සාන්තුවරයෙක් – මහින්ද ගුණවර්ධන.

0
35

පල්ලියට අලූතින් පත්වෙලා ආපු පාදිලි උන්නාන්සේ කෙළින් වැඩ කරන බව ගමේ මිනිස්සු ඉක්මනින් තේරුම් ගත්තා. එතුමා රස කතා කියන්නට දක්ෂයෙක්. මේ නිසා පල්ලියේ රැස්වීම්වලට සහභාගි වන පිරිස ශීඝ‍්‍රයෙන් ඉහළ ගියා. විශාල රැස්වීම් ශාලාවක් අලූතින් ඉදි කරන්නට එතුමා සැලසුම් කළා. එකතු වන මුදල ඉතා ස්වල්පයක්. එ් නිසා ශාලාව ඉදිකිරීම ලොකු අභියෝගයක්.


දවසක් පල්ලියට ප‍්‍රාඩෝවක් ආවා. ආරක්ෂකයින් පිරිවරාගත් සුදු ඇඳුමින් සැරසුණු ප‍්‍රභූවරයා ආසන මැද්දෙන් ඉදිරියට ඇවිත් පාදිලි උන්නාන්සේට ආචාර කළා. ඔහු පැමිණියේ කුමන හේතුවක් නිසා දැයි පියතුමා දැන සිටියා. එහෙත් ඔහු එ් බව ඇඟෙව්වෙ නෑ.


”අපි තාම අත්තිවාරම දාන්න පටන් ගත්තෙ නෑ. රැස්වීම් ශාලාව හදන්න ලොකු වියදමක් දරන්න වෙනවා. ….”
පියතුමා කිව්වා.


”ෆාදර් … ඉතිරි ඔක්කොම මං බලාගන්නම්.”
”හැබැයි එ් වෙනුවෙන් මගෙන් විශේෂ දේවල් බලාපොරොත්තු වෙනවා නම්, පල්ලියෙන් මොනව හරි බලාපොරොත්තු වෙනවා නම් එ්වා කෙරෙන්නේ නෑ. දැන් කියමුකො බලන්න ආපු කාරණාව.” පියතුමා ඔහුට ඉඩකඩ ලබා දුන්නා.
”ඊයෙ රෑ මගේ අයියා සමාදානයේ සැතපුනා. උත්සවය වෙලාවෙ දි ගුණ කථනයක් කරන්න ආරාධනා කරන්නයි මං ආවේ. මං පල්ලියේ වැඩ ඔක්කොම බලාගන්නම්. ෆාදර් බය වෙන්න එපා.”
”මං දෙවියන් වහන්සේ වෙනුවෙන් කටයුතු කරන කෙනෙක්. මට බය වෙන්න අවශ්‍යතාවක් නෑ. එ්ත් මට ප‍්‍රශ්නයක් තියෙනවා. ඔහේගෙ සහෝදරයා ඉන්නකම් කළේ ජඩ වැඩ. කුඩු ගෙන්නුවා. තරුණ දූවරු දූෂණය කලා. අහිංසක මිනිසුන්ට මැරයන් යොදලා හිංසා කළා. ගුණ කථන කරන්නෙ කොහොමද? එ්කට වෙන සුදුසු කෙනෙක් ගෙන්වා ගන්න. පල්ලියට ආධාර නො කළාට කමක් නෑ.”
”චා.. චා… ෆාදර් එහෙම කියන්න එපා. මං දැන් ම චෙක් එක ලියලා දෙන්නම්. එක වචනයක් විතරක් කියන්න. මගේ අයියා සාන්තුවරයෙක් කිව්වා ම ඇති.”
”හොඳයි. මං එහෙම කියන්නම්.” ෆාදර් එකඟ වුණා.
චෙක්පත එදින ම මුදල් වුණා. ඕනෑවටත් වඩා මුදල් තිබෙනවා දැන්. අවමඟුල් උත්සවයේ පියතුමාගේ කතාවේ වාරය එළැඹුණා. ඔහු ප‍්‍රභූවරයා ඔහු ළඟට කැඳෙව්වා.
”කියන්න කනගාටුයි. නමුත් මට කියන්න සිද්ධ වෙලා තියෙනවා.” පියතුමා කතාව පටන් ගත්තා.
”මිය ගිය තැනැත්තා ජීවත් ව ඉන්න තුරු කටයුතු කළේ සාතන්ගේ පුතෙක් විදියට. අසාධාරණ විදියට සල්ලි පොදි ගැහුවා. භයානක මත් ද්‍රව්‍ය බෙදා හැරලා තරුණයන්ගේ ජීවිත විනාශ කළා. කන්‍යාවියන් දූෂණය කරන්නට ඔහුට තිබුණේ නො සන්සිඳෙන කෑදරකමක්. විවාහක කාන්තාවකට වුණත් බේරිලා ඉන්න පුළුවන් වුණේ බොහොම අමාරුවෙන්. එ්තරම් මැරකම් කරපු මිනිසුන් මගේ සේවා කාලයේ දී වෙන කිසිම තැනක දී මට හමුවෙලා නෑ. එ්ත් මං කැමතියි ඔහු සාන්තුවරයෙක් කියලා කියන්නට.”
පියතුමා ප‍්‍රභූවරයා දෙසට ඇඟිල්ල දිගු කළා.
”ඔව්, ජීවත් ව ඉන්න ඔහුගේ මේ සහෝදරයා හා සසඳනවා නම් ඔහු සාන්තුවරයෙක්.”

මහින්ද ගුණවර්ධන.
26. 10. 2017

LEAVE A REPLY