-පිස්සෙක්- ජනිත් විමුක්තික

0
16

-පිස්සෙක්-
.
.
.
කාර්‍යයබහුල උදෑසනක් වූ එහි දුමින් පරිසරය වසාලූ වාහන, කන් බිහිරි කරවන නලා හඬවල් අඩුවක් නම් නොවීය…ලොවෙන් අඩකටත් මදක් වැඩියෙන් සිය කාර්‍යයබහුලත්වය තුල කිමිදෙද්දී ඉතිරියෙන් එකෙක් වූ ඔහු පමණක් සුව නින්දක විය… ලෝකය පෙරලුනත් නෙත් නොහරින තරමේ නින්දක පසුවූ ඔහුට යටින් වූයේ ඝණ රළු පොළව පමණක්ම වුවත් එය කිසිසේත්ම ඔහුගේ නින්දට බාදාවක්නම් වූ බවක් නොපෙනින….
වයස හරි හැටි නිර්ණය කරගත නොහැකි තරමට වැඩුණු රැවුලත් කෙස් රොදත් හේතුවෙන්ම ඔහුට නිරායාසයෙන්ම විසුලු පෙනුමක් ලැබී තිබුණි… එක්කො ඒ තුල අනුකම්පාව දනවන රූපයක්ද තිබුණා විය හැක….හේ ඒ කිසිවක් තැකීමක් කල බවක් පෙන්නට හෝ නොතිබිණි…යටත් පිරිසෙන් හේ ඒ කිසිවක් දැනසිටියාද යන්නවත් සැක සහිතය…
ඔහුට ඔහුගේම පරාමිතීන්වලට යටත් ලෝකයක් තිබුණ බව පෙනෙන්නට තිබිණි.. ලෝකය යනු මනසේ නිර්මාණයක් බව කිසියම් ප්‍රාඥයෙකු කියාතිබූ පරිදිම ඔහු සිය මනස තුල තමන්ගේම ලෝකයක් නිර්මාණය කරගෙන තිබුණි…ඒ මතුද නොව ඒ ලෝකයේ අපට මෙන් තරගයක්ද නොතිබූ බව ඔහුගේ සරල වූත් සැහැල්ලු වූත් ජීවන ප්‍රවෘත්තිය මඟින් විදහා දැක්විණ…
.
හදිසියේම අවදි වූ හේ තිගැස්මෙන් මෙන් වට පිට බැලීය…යලිත් ක්ෂණිකයෙන් සිය උදාසීන වූත් තරඟකාරීත්වයෙන් තොර වූත් සුපුරුදු ජීවන රටාවටම ඇලවී ගියේය…සිය සයනය වූත් නිවහන වූත් ස්ථානය පසු කරමින් යන සිය දහසක් දෙනා දෙස හේ හැඟීම් විරහිත බැල්මෙන් බැලීය…
ඔවුන් කුමක් සඳහා එසේ ඉක්මන් ගමනින් යන්නේද, කුමක් සඳහා දිනපතා විවිධ ඇඳුමින් සැරසෙන්නේද යන්න ඔහුට විසඳා ගත නොහුණු ගැටලුවක්ම විය…බොහෝමයක් දෙනා හඳුනා ගැනීම පවා මේ නිසා ඔහුට අසීරු විය…ඔහු ඊට වෛර කලේය… ඇත්තෙන්ම එය වෛරයක්මද යන්න කිව හැක්කෙක් මිහිපිට නොවීය… හේ වෛරය යන හැඟීම දත්තේද යන්න පවා විවාදිතය…. කෙසේ නමුදු ඔහු එය දැකීම ප්‍රිය නොකල බව සැබෑය…
.
ඒ නමුදු ඔහු ආදරය කල රූපද බොහෝමයක් විය…වඩාත් නිවැරදිව කිවහොත් සතියකට දින පහක්වත් ඔහු ඒ රූපයන්ට ආදරය කලේය… ඒ දින පහම එකම ඇඳුමින් සැරසුනු අනෙක් වෛවාරණ රූපයන්ට වඩා මදක් කුඩා රූප පෙලකට හේ ආදරය කලේය…ඔවුන් හා කාලය ගත කිරීමට නොනිමි ආශාවක් ඔහුගේ හිත තුල පැසවමින් පැවතියේ නමුදු ඒ රූප කිසිවක් හේ අසලට හෝ පැමිණීමට කැමැත්තක් නම් නොදැක්වීය… කොතෙක් ඈත් වුවත් ඔහුට ඒ පිළිබඳ අපුලක් නම් නොවීය… නින්ද හැරුණු කොට ඔහු ආදරය කල එකම දෙය වූ ඒ රූප හමු වන තුරුම හේ හිස් බැල්මෙන් අවට බලා සිටියේය… ඇතැම් විට විශාල කාලයක් එසේ බලා සිටින්නට සිදු වන අවස්ථාද විය… නමුත් එය ඔහුට ප්‍රශ්නයක් නම් නොවීය… අනවරත ප්‍රවාහයක් සේ ගලා යන රෑ දවල් වීම් ගැණ හැඟීමක් හෝ ඔහුට නොවීය… කිසිදා අවසන් නොවන කාලයක් ඇතැයි යන අදස පමණක්ම හේ තුල තැම්පත් වී තිබිණි….මරණය හෝ වෙනත් විරාමයක් ගැන අංශු මාත්‍ර හැඟීමක් වත් නොමැති මේ මිනිසා ඔහුට අනුව සෛද්ධාන්තික වශයෙන් අමරණීය විය….
.
” පිස්සෙක්..”
.
හේ අසලින් යන කිසිවෙකු ඇතැම් විට මිමිණීය… සැබැවින්ම හේ බාහිර ලෝකයට පිස්සෙක් විය…
.
වඩාත් නිවැරදිව කිවහොත් සංකීර්ණවූත් ආටෝපයන්ගෙන් පිරුණාවූත් සමාජයෙන් අපගමනය වූ තවත් එක් මිනිසෙක් විය…
ශිෂ්ඨාචාරය අපට අහිම කල බොහෝ වටිනා කියන දෑ හිමිකරගත් නමුදු කිසිවෙකුත් ඔහුව වාසනාවන්තයෙකු ලෙස නොදිටීය, නොහැන්දින්වීය… අසීමිත නිදහසකිනුත්, සරලකමකින් හෙබියාවූත් හේ විටෙක ඉන් හාත්පසින්ම වෙනස් වූ බාහිර ලෝකයට සිනාසුනේය…කඳුලු පනින තුරු සිනාසුනේය…
” උඹලට පිස්සු..”
හේ ඇතැම්විට ප්‍රසිද්ධියේම කීය….
.
අවාසනාවට එය තේරුම් ගත් හෝ ගන්නට උවමණා වූ කිසිවෙකුත් එහි නොවීය…..
.
.
.
.
-ජනිත්-

LEAVE A REPLY