විජේවීර ඝාතනය කලේ කවුද.?

0
357

පසුගියදා ජනතා විමුක්ති පෙරමුණේ ඉල්මහ විරු සමරු උළෙල කොළඹ විහාරමහාදේවි උදයානයේදී පවත්වන ලදී. මෙවර පැවැත් වුයේ 28 වන ඉල්මහ සමරු උළෙලයි. එහිදී අදහස් දැක්වූ ජවිපෙ ඉදිරිපෙළ නායකයකු වන හිටපු මන්ත්‍රී මෙන්ම ජවිපෙ වෘතිය සමිති ව්‍යාපාරයේ නායක KD ලාල් කාන්ත මහතා සදහන් කලේ විජේවීර ගාතනය කිරීමේ වගකීම කිසිවකු විසින් බාර නොගන්නා බවයි. කැරැල්ලේ වගකීම තම පක්‍ෂය බාර ගන්නා නමුත් තම නායකයා මරා දැමිමේ වගකීම කිසිවකු බාර නොගන්නේ මන්දැයි ප්‍රශ්න කරණ ලදී. ලාල් කාන්ත මහතා සදහන් කරන්නේ මේජර් ජනරාල් ජානක පෙරේරා මහතා දිනක් දුරකථන ඇමතුමක් ලබා දී හමු වූ බවත් එහිදී තමා ජවිපෙ නායක රෝහණ විජේවීර ඝාතනයට කිසිදු සම්බන්දයක් නොමැති බව සදහන් කල බව ප්‍රකාශ කරණ ලදී. ලාල් කාන්ත ඉල්මහ විරු සමරු කතාවේදී අවධාරණය කරනු ලැබුවේ රෝහණ විජේවීර අත්අඩංගුවේ සිටියදී මරා දැමුවේ කවුරුන් විසින්ද යන්න දැනගත යුතු බවයි.

විජේවීර ඝාතකයා සෙවිමට ජවිපෙට ලැබුණු අවස්ථාව..

ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩු බලය දැරූ හවුල් ආණ්ඩුවක් 2004 වසරේ දී ලංකාවේ තිබුණි. එහි ලාල් කාන්ත මහතාද අමාත්‍ය ධුරයක් දරනු ලැබිය. කෙසේ නමුත් ඒ වකවානුව තුල තම පක්‍ෂයේ නිර්මාතෘ රෝහණ විජේවීරගේ ඝාතකයා සෙවීමට එවකට ජවීපෙට හෝ එම පක්‍ෂ නායකත්වයට අවශ්‍යතාවක් නොවිය. කෙසේ නමුත් 2015 ආණ්ඩු වෙනසත් සමග ජවිපෙට තවත් අවස්ථාවක් උදා වන්නේ මෛත්‍රී රජයේ “ජාතික විධායක කවුන්සලයේ” මුලික කොටස් කරුවෙකු වුයේ ජවිපෙ වේ. 2015 දිද තම පක්‍ෂයේ නිර්මාතෘ රෝහණ විජේවීරගේ ඝාතකයා දැන ගැනීමේ කුහුලක් ජවිපෙ නොවිම විමතිය ගෙන දෙන්නක් වේ.

1980 දශකයේ අගභාගය තුල ලංකාව තුළ සිදු වූ ම්ලේච්ච සිදු විම් ජවිපෙ ඉතිහාසයේ ලියවී තිබේ. ජවිපෙ අතින් ඝාතනය වූ පිරිස් අතර සරසවි ආචාර්යවරුන්, සරසවි ශිෂ්‍යන්, භික්ෂුන්,වෘතිය සමිති නායකයින්, දේශපාලනඥයින්, ආරක්ෂක අංශ සාමාජිකයින්ගේ පවුලේ සාමාජිකයන් සහ මැතිවරණවලදී ඡන්දය දුන් අය ඇතුළු ජවිපෙ ඝාතක කල්ලි බොහෝ සිවිල් වැසියන් ඝාතනය කළහ. ලාල් කාන්ත තම පක්‍ෂය වගකීම ගන්නවා යන්න පවසන්නේ මේ ඝාතන ලයිස්තුවටද.?

LTTEය සහ එහි නායකයා විනාශ කිරිම ගැන ඇතැම් පිරිස් පුරසාරම් දොඩන නමුත් ජවිපෙ නායක රෝහණ විජේවීර සහ තම පක්‍ෂයේ සාමාජිකයන් ඝාතනය කිරිම පිළිබද වගකීම කිසිවකු බාර නොගන්නා බව ලාල්කාන්ත පෙන්වා දේ. 88/89 යුගයේ ජවිපෙ කැරැල්ල මර්දනය කිරීම සහ කැරැල්ල මර්දනය කිරිම සදහා යොදාගත් ම්ලේච්ච ක්‍රියාවලියට සම්බන්ද රණසිංහ ප්‍රේමදාස ආණ්ඩුවේ ඇතැම් ප්‍රධානින් තවමත් දේශපාලනය තුල සිටි.දේශපාලන අරුමය වන්නේ 2015 රාජපක්‍ෂ රෙජීමය පලවා හැරීම ජවිපෙ තම නායකයා ඝාතනය කළ ප්‍රධානින් සමග එක්ව සැලසුම් කිරීමයි. 80 දශකයේ තරුණ ජිවිත 60000ක් පමණ අහිමි වූ අතර LTTE ත්‍රස්තවාදය නිසා රටට අහිමි වූ ජිවිත ගණනද 60000ක් පමණ වේ. ඒ බව හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ මහතාද විදෙස් මාධ්‍යවේදියකු නැගු ප්‍රශ්නයක් හමුවේ සදහන් කර තිබේ.

විජේවීර යනු පශ්චාත් නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රචණ්ඩත්වය සහ ලේ වැගිරීම් ලංකා ඉතිහාසයට හදුන්වා දුන් නායකයා වේ. විජේවීරගේ සිහිනය වුයේ යුටෝපියානු සමාජවාදයක් ලංකාව තුල ඇති කිරීමයි. ධනේශ්වර එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුවට විරුද්දව රෝහණ විජේවීර තම සිහිනය ජයග්‍රහණය කරීම වුදෙසා ප්‍රබල අරගලයක් ගෙන යන ලදී.විජේවීරගේ සිහිනය මෙරට ජනතාවට සරණක් නැති විඩාබර අත්දැකීමක් පමණක් එක් කරන ලදී. එදා පළාත් සභා වෙනුවෙන් මහජනතාව පාරට ඇද දැමු ජවිපෙ අද පළාත් සහා නියෝජනය කරණු ලබයි. තමන් වරින් වර ඝාතනය කලේ යැයි නම් දොඩවන එක්සත් ජාතික පක්‍ෂය සමග වත්මන් ජවිපෙ නායකයන් සැහැල්ලුපන්දු ක්‍රීඩා කරමින් සිටි.

නිවුටන්ගේ තෙවෙනි නියමය භෞතික විද්‍යාවෙන් පිටත බාහිර සංසිද්දී වලටද අදාළ වේ. සෑම ක්‍රියාවකටම සමාන වුද ප්‍රති විරුද්ද වුද ප්‍රතික්ක්‍රියාවක් පවතින බව නිවුටන් සදහන් කරයි. විජේවීරගේ සන්නද්ද ගැටුම් ප්‍රපංච කොට මෙම කරුණ විමසිය හැක. එනම් 80 දශකය අග බාගයේ සිදු කරණ ලද ප්‍රචන්ඩත්වයට මුහුණදීමේ අරගලවලදී සැබෑ තර්ජනය අසමනුපතික වී තිබේ. බොහෝ විට අරගලය අවශ්‍යව නොතිබූ භූමියකට අරගයක නාමයෙන් දරා ගත නොහැකි ප්‍රචණ්ඩත්වයක් මේ පොලවේ රෝපණය කිරිමට යත්න දැරීමක් හදුනා ගත හැකි දෙයකි. උදාහරණ ලෙස ජවිපෙ සුළග වපුරා සුළි සුළගකින් තමාගේ විනාශය ගෙන්වා ගන්නා ලදී. විජේවීර තමන් විසින්ම මේ පොළොවේ අස්වද්දනු ලැබූ  දේශපාලන ප්‍රචණ්ඩත්වය නමැති ටොනේඩෝවේ ගොදුරක් (සාක්ෂි කරුවකු) බවට පත් විය.

S සඳරුවන් ( අදහස් “ද අයිලන්ඩ්” කතුවැකියෙන්)

LEAVE A REPLY