ලෝකයේ පවුල්කාමී පාලකයින් සහ ඒඩ්ස් රෝගයට තිබෙන එකම සමානකම දෙකම ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග දෙකක්

0
23

සිම්බාබ්වේ අර්බුදය;පාඨලී චම්පික රණවක

සිම්බාබ්වේ රාජ්‍යයේ ජනාධිපති රොබට් මුගාබේ එරට හමුදාව විසින් නිවාස අඩස්සියට ගත් බව වාර්තා උනා. පසුගියදා රොබට් මුගාබේ සහ හමුදා ප්‍රධානීන් ඔහුගේ නිවසේ සිනහමුසු මුහුණින් සාකච්ඡා කරන ඡයාරූප පෙළක් ද බී.බී.සී. ප්‍රවෘත්ති සේවයට එකතුවී තිබුණා. රොබට් මුගාබේගේ බ්‍රිතාන්‍යට එරෙහි ජාතික විමුක්ති අරගලය පවුල්කාමී මරණයකට යොමු උනාද යන්න ගැන අද බොහෝ දෙනා සාකච්ඡා කරනවා. රොබට් මුගාබේ 1980 දී එවකට රෝඩේෂියාව නමැති රටේ අග්‍රමාත්‍යධූරයට  පත් උනා. පසුව 1987 දී විධායක ජනාධිපතිධූරයට පත් වුණා.  එතැන් සිට අවුරුදු 30 ක් අඛණ්ඩව සිම්බාබ්වේ රට විවිධ මැතිවරණ, චෝදනා, ආර්ථික අර්බුද හරහා මෙහෙයවා තිබෙනවා.

මෑත කාලීන  අර්බුදය හට ගත්තේ 93 හැවිරිදි රොබට් මුගාබේ ඔහුගේ සාපෙක්‍ෂ වශයෙන් තරුණ බිරිඳ වන ග්‍රේස් මුගාබේව එරට ඊ ළඟ ජනාධිපතිවරයා බවට පත් කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීමයි. මේ හා සමගම ඔහුගේ උප ජනාධිපතිවරයා බලයෙන් පහ කෙරුණා. ඔහු දකුණු අප්‍රිකාවට පලා ගියා. ග්‍රේස් මුගාබේත් දකුණු අප්‍රිකානු කාන්තාවක් බව අමතක කළ යුතු නැහැ. කෙසේ වෙතත් මෙයට යුධ හමුදාව ප්‍රතිචාර දැක්වූයේ එරට පාලන බලය තම අතට ගැනීමෙන් හා රොබට් මුගාබේ නිවාස අඩස්සියට පත් කිරීමෙනි.

රොඩේෂියාව නමින් බ්‍රිතාන්‍යයන් විසින් කොල්ලකන ලද රට ඔවුන්ගෙන් මුදා ගැනීම සඳහා රොබට් මුගාබේ විශාල මෙහෙවරක් කළා. ඔහු නායක්තවය දුන් සූනු පක්ෂයත්, ඒ වගේම ගරිල්ලා ව්‍යාපාරයත් විශාල සේවයක් කළා. ඔහු බලයෙන් පහකළ ඔහුගේ උප ජනාධිපතිත් මේ ගරිල්ලා හමුදාවල ප්‍රධාන සාමාජිකයෙක්. මෙහිදී සිම්බාබ්වේ රාජ්‍යයේ පැවැත්මට විශාල වශයෙන් දායක වුණේ  මේ ගරිල්ලා සටනේ දශක ගණනක් නියැලී සිටි සම්ප්‍රදායික යුධ භටයින් පිරිස. වෙටරන්ස්ලා නමින් ප්‍රචලිත මෙම කණ්ඩායම හා ඔවුන් සිම්බාබ්වේ රටේ හමුදාව අතර අචේතනික බැම්මක් ගොඩනැගී තිබෙනවා. විශේෂයෙන්ම දැන් මහළුවියට පා තබා තිබෙන මේ පැරණි ජාතික විමුක්ති කාමීන් එරට පාලනය කිසියම් දුරකට හසුරවන බව ලෝකයම දන්නා රහසක්.

විශේෂයෙන්ම පහුගිය කාලයේ සිම්බාබ්වේ රට බ්‍රිතාන්‍යයන්ගෙන් මුදා ගත්තාට පසු කරපු ආර්ථික ප්‍රතිසංස්කරණ සාර්ථක උනේ නැහැ. මොකද සිම්බාබ්වේ රටට ශක්තිමත් රාජ්‍ය නිලධාරී පන්තියක් හෝ පාලක පන්තියක් හිටියේ නැහැ බ්‍රිතාන්‍යයින් පලවා හැරියාට පසුව ඒ තැනට පත්වන්න. ඒ නිසා එරට ආර්ථික අතින් කඩා වැටුනා. එහි උද්ධමනය 1000% ඉක්මවා ගියා. නමුත් පසුගිය කාලයේ චීනය මැදිහත්වීමත් සමග සිම්බාබ්වේ පමණක් නෙමෙයි අප්‍රිකානු කලාපයේම ආර්ථිකය සාර්ථක වෙන්න පටන් ගත්තා.  සිම්බාබ්වේ රට 6% ක වේගයෙන් ආර්ථික වර්ධනය ලඟා කර ගැනීමටත් සමත් උනා. ඒ නිසා සිම්බාබ්වේ රටට දැන් පරම්පරා වෙනසක් අවශ්‍යව තිබෙනවා. නමුත් පවුල් කාමයෙන් මත් වූ, විශේෂයෙන්ම තමන්ගේ වියහියදම් පිළිබඳව විශාල දෙනෙක්ගේ පිළිකුළට පත් වී සිටින ග්‍රේස් මුගාබේව ජනාධිපතිධූරයට පත් කරලීමට රොබට් මුගාබේ දැරූ උත්සාහය හමුදාව සහ ඔවුන්ගේ පැරණි ජාතික විමුක්තිවාදීන් එකතු වී වැලැක්වූ බව තමයි පෙනී යන්නේ. මෙය ඇත්තටම දැන් සිම්බාබ්වේට අත්‍යාව්‍යයි.

රොබට් මුගාබේගේ ඓතිහාසික කාර්යය භාරය කුමක් වුවත්, 93 හැවිරිදි ඔහු නව පරම්පරාවකට සිම්බාබ්වේ ඉදිරියට ගෙන යෑමට ඉඩදිය යුතුයි. දැන උගත් නව පරම්පරාවක් සිම්බාබ්වේ බිහි වී තිබෙනවා පමණක් නෙමෙයි නව ආර්ථිකයක් ගොඩනගා ගැනීමේ හැකියාවත් සිම්බාබ්වේ පෙන්වා දී තිබෙනවා. ඒ නිසා එහි පැරණි බ්‍රිතාන්‍ය සම්ප්‍රදායත් සමග එකට එකතු වී සිම්බාබ්වේ රට නව යුගයකට ගෙනයාමට හමුදාව ක්‍රියා කළ යුතුයි. එසේ නොවනහොත් දැනට ප්‍රජාතන්ත්‍ර මාවතේ පවතින රටවල්වලට ලබාදුන් වැරදි පූර්වාදර්ශයක් බවට එය පත්වනවාට සැකයක් නැහැ. දැනටමත් අප්‍රිකානු සංගමය මේ පිළිබඳව සිම්බාබ්වේ හමුදාවන්ට යම්කිසි අනතුරු හැඟවීමක් කර තිබෙනවා. මේ අනුව ඉදිරි කාලයේදී කිසියම් ආකාරයක සාමකාමී පරිවර්ථනයක් සිම්බාබ්වේ රටේ සිදුවනු ඇති බවට ඒ වගේම එම රටේ නව මැතිවරණ වලින් අලූත් පාලක පන්තියක් බිහිවීමට ඉඩ ඇති බවත් වාර්තා වෙනවා. එසේ සිදුවුවහොත් රොබට් මුගාබේ මුදාහල ජාති විමුක්ති අරගලය විශිෂ්ඨ ජයග්‍රහණයකින් කෙලවර වීමට ඉඩ තිබෙනවා. එසේ නොවුනහොත් සිම්බාබ්වේ රට නැවතත් මරණයේ ඛේදවාචකයකට ගමන් කිරීමට ඉඩ තිබෙනවා. අරාබියේ පමණක් නෙමෙයි අප්‍රිකාවෙත්, ආසියාවේත් බොහෝ නායකයින්ට සිදුවන පවුල්කාමයෙන් මත්වීමේ රෝගයට මේ නායකයත් පත්වීම සිම්බාබ්වේ රටේ ඛේදවාචකයට හේතු උනා. එය මේ මුළු රටමත්, ලෝකයමත් දැනගත යුතු පාඩමක්.

මේ නිසා තමයි ප්‍රකට අරාබි කියමනක් මා පසුගියදා පාර්ලිමේන්තුවේදී පෙන්වා දුන්නේ, ඒ තමයි ලෝකයේ පවුල්කාමී පාලකයින් සහ ඒඩ්ස් රෝගයට තිබෙන එකම සමාන කම දෙකම ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග දෙකක් නිසා. ඒ රෝගයෙන් ලංකාවත් පෙළෙනවා. ඒ වගේම වෙනත් රටවලූත් පෙළෙනවා. ඒ නිසා අපට අවශ්‍යයි දැන් ඉක්මන් පරම්පරා වෙනසක් සමග ඉක්මන් තාක්ෂණික සමාජයෙන් වෙනස්වන ලෝකයට නව පරපුරකට සිම්බාබ්වේ බාරදීම සිදුවනවා නම් මේ හමුදා මැදිහත්වීමේ වැදගත් ප්‍රථිපළය ඒ රටට ලැබෙනවා ඇති. එය අවිහිසාවාදීව සිදු කිරීමට ශ්‍රී  ලංකාවත් 2015 දී සමත් වූ බව මෙහිදී ප්‍රකාශ කළ යුතුය.

පාඨලී චම්පික රණවක, මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යවරයා ලෙස කටයුතු කරණු ලබයි

LEAVE A REPLY