කුණු තක්කාලි – ජනක බොරලැස්ස

0
48

.
ප්‍රාථමික පන්තියක පන්තිබාර ගුරුතුමිය පන්තියේ කුඩා ළමුන්ට විෂය බාහිර ක්‍රියාකාරකමක් දුන්නාය.
.
‘අද මම පුතාලට දෙන්නෙ අලුත් දෙයක් කරන්න. ඔයගොල්ලො හෙට එනකොට තක්කාලි ගෙඩි ටිකක් ගේන්න ඕන. ඒ තක්කාලි ගෙඩිවල පෑනෙන් ලියන්න ඔයාල අකමැති අයගෙ නම්.
.
ඒ කියන්නෙ අකමැති අය ගනන අනුව ඔයගොල්ලො ගේන තක්කාලි ගණන වෙනස් වෙනවා. අපි හිතමු ඔයා දෙන්නෙකුට අකමැති නම්, තක්කාලි ගෙඩි දෙකක් ගේන්න. පස්දෙනෙකුට අකමැති නම් තක්කාලි ගෙඩි පහක් ගෙන්න.
.
ඊළඟට නම් ලියපු තක්කාලි ගෙඩි කාඩ් බෝඩ් පෙටිටියක දාල ඩෙස්ක් එකේ කොනකින් තියාගන්න ඕන. මම කියනකන් පෙට්ටිය අරින්නත් එපා, එව අයින් කරන්නත් එපා. තේරුනාද?’
.
ඔව් මිස්..!
.
‘ගුරුවරියගේ උපදෙස් අනුව ළමෝ පසුදින තමන් අකමැති අයගේ නම් ලියූ තක්කාලි රැගෙන විත් තිබුණි.’
.
‘හරි හොඳ පුතාල. දැන් ඔය පෙට්ටිය ඔහොමම තියෙන්න අරින්න. මම ලබන සතියෙ කියන්නම් ඊළඟට කරන්න ඕන දේ.’
.
ළමුන් තුල විශාල කුතුහලයක් ඇතිවුනත් මේ කරන්න යන්නේ කුමක්ද පිළිබඳ අවබෝධයක් ඔවුන්ට නොතිබුනි.
.
ඊළඟ සතිය ආරම්භය වනවිට තක්කාලි ක්‍රමයෙන් කුණුවී දුගඳ හමන්නට විය. වැඩිපුර තක්කාළි රැගෙන ආ ළමුන්ගේ ඩෙස්ක් අසල දුර්ගන්ධය වඩාත් වැඩි විය
.
‘අනේ මිස් මේව ගඳයි නේ..අයින් කරන්නෙ කවදද?’
.
ළමෝ මැසිවිළි නගන්නට විය.
.
‘හරි පුතේ දැන් තමයි අපේ පාඩම පටන්ගන්නෙ.’
.
‘ඔයාල අකමැති අයගෙ නම් ලියපු තක්කාලි දැන් නරක්වෙලා. වැඩිපුර අකමැති අය ඉන්න අයට තමයි ගොඩක්ම අපහසු. නේද?’
.
‘අපේ හිතේ අකමැති අය තියාගෙන ඉන්නව කියන්නෙත්, මේ කුණු තක්කාලි ළඟ තියාගෙන ඉන්නව වගේ. එයාලව හිතෙන් අයින් කරන්න. ඔයාලට සැනසිල්ලක් දැනෙයි.”
.
——————————–
ජනක බොරලැස්ස
23-11-2017

LEAVE A REPLY