මොකද්ද මේ ලිංගික බෙලහීනතාවය?

0
113

ලිංගික බෙලහීනත්වය හෙවත් න්‍යස්‌ඨකාමය යනු පුරුෂයකු ලිංගික ප්‍රාණවත් භාවයක්‌ ලබා ගැනීමට අපොහොසත්වීම හෝ සංසර්ගය සඳහා ප්‍රමාණවත් ලිංගික ප්‍රාණවත් බවක්‌ ඇති නොවීමය.

මෙය වයස අවුරුදු 40 ට වැඩි පිරිමින්ගෙන් 40% ට වැඩි පිරිසක්‌ මුහුණ දෙන ගැටලුවකි.

ජාත්‍යන්තර විශේෂඥයන්ගේ මතය වනුයේ ලිංගික බෙලහීනතාවයෙන් පෙළෙන සියලුම පුරුෂයින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවිය යුතු බවය. මන්දයත් ලිංගික අප්‍රාණිකත්වය සහිත පිරිමින්ගෙන් සැලකිය යුතු පිරිසක්‌ හෘදයේ කිරීටක ධමනි රෝගවලින් පෙළෙන බව තහවුරුවී ඇති බැවිනි.

එබැවින් මෙම රෝගයට ප්‍රතිකාර නොකළහොත් ලිංගික බෙලහීනතාවයෙන් පෙළෙනා සැලකිය යුතු පිරිසක්‌ හෘදයා බාධවලට ගොදුරුවිය හැකිය.

ලිංගික බෙලහීනතාවයෙන් පෙළෙන ශ්‍රීලාංකික පිරිමින්ගෙන් බහුතරයක්‌ ඒ සඳහා නිසි වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු නොවෙති. ඉන් සිදුවන්නේ ඔවුනගේ ලිංගික ජීවිතය වැඩිදියුණු කර ගැනීමේ අවස්‌ථාව මග හරවා ගැනීම පමණක්‌ නොව හෘදයා බාධවලට ගොදුරුවීමේ අවදානමටද ලක්‌වීමය.

ලිංගික බෙලහීනතාවයට අවධානම් සාධක

දියවැඩියාව, අධි රුධිර පීඩනය, තරබාරුව, උදාසීන ජීවන රටාව, දුම්පානය, අධික ලෙස මත්පැන් භාවිතය, ශරීරයේ හෝමෝනවල අසමතුලිතතා, මොළය හා සුෂුම්නාව ආශ්‍රීත අනතුරු සහ විෂාදය, කාංසාව වැනි මානසික තත්ත්ව වලට ප්‍රතිකාර ලෙස ලබාදෙන ඖෂධ සහ මානසික ගැටලු වැනි සාධක ලිංගික හෙලහීනතාවයට හේතු විය හැකිය.

නමුත් වයස අවුරුදු 40 ට අඩු පිරිමින් මුහුණ දෙන ලිංගික බෙලහීනතාවයට බොහෝවිට හේතුවන්නේ මානසික ගැටලුය.

මෙම ගැටලු ප්‍රතිකාර මගින් සුවකරගත හැකිය. එබැවින් ලිංගික බෙලහීනතාවය මානසික තත්ත්වයක්‌ නිසා ඇති වූවක්‌ නම් එය හෘද රෝගයක රෝග ලක්‍ෂණයක්‌ නොවේ.

නමුත් කුමන හේතුවක්‌ මත හෝ දීර්ඝ කාලීනව පවතින ලිංගික අප්‍රාණිකත්වය නිසා ඇතිවන මානසික අවපීඩනය හෘදයාබාධවලට බලපාන සාධකයක්‌ බව හෙළිවී ඇත.

කිරීටක ධමනි රෝගවලට බලපෑම

ලිංගික බෙලහීනතාවයෙන් පෙළෙන පිරිමින්ගෙන් 3/4 ක්‌ පමණ පිරිසට වසර පහක්‌ ඇතුළත හෘදයාබාධ හෝ ආගාතය යන රෝග ඇතිවිය හැකි බව පර්යේෂණ මගින් හෙළිවී තිබේ.

මේදය (ඇනරෝමා) තැන්පත් වීමෙන් රුධිර නාළ (ධමනි) සිහින් වීම නිසා සිදුවන රුධිර ගමනාගමනය සීමාසහිත වීම හෘදයාබාධවලටත් ලිංගික බෙලහීන තාවයටත් පොදු ලක්‍ෂණයකි.

අධික රුධිර කොලෙස්‌ටරෝaල්, අධි රුධිර පීඩනය, දුම්පානය, තරබාරුව හෝ දියවැඩියාව නිසා ශරීරයේ ඕනෑම ධමනියක්‌ මේදය තැන්පත්වී අවහිරවිය හැකිය. නමුත් මිලි මීටර් 1-2 ක්‌ අතර විෂ්කම්භයක්‌ වන ශිෂ්ණයේ ඇති ධමනි සහ ප්‍රමාණයෙන් මිලි මීටර් 3-4 ක්‌ අතර විෂ්කම්භයක්‌ ඇති කිරිටක ධමනි මේදය තැන්පත්වීම නිසා ඉතා ඉක්‌මනින් අවහිරවිය හැකිය.

එබැවින් ලිංගික බෙලහීනතාවය ඇති පිරිමින් කලාතුරකින් හෘදය ආශ්‍රීත රෝග ලක්‍ෂණ පෙන්නුම් කළද හෘදය ආශ්‍රීත රෝග සහිත පිරිමිනට බොහෝ කලක සිට ලිංගික බෙලහීනතාවය පැවතීම බහුල වීමෙන් මෙය වඩාත් තහවුරුවේ.

ප්‍රතිකාර

ලිංගික බෙලහීනතාවය හා කිරිටක ධමනි රෝග අතර ඇති සම්බන්ධතාවය වටහා ගැනීම ජීවිත රැක ගැනීමට හා මනා යහ පැවැත්මට හේතුවේ.

මෙය කිරිටක ධමනි හා දියවැඩියාව රෝග සඳහා වැඩි අවදානමක්‌ ඇති පිරිමින් විශේෂ අවධානයට ලක්‌ කළ යුතුය.

දුම්පානය හා අධික මත්පැන් පානයෙන් වැළකිය යුතුය. නිතිපතා ව්‍යායාම්වල යෙදිය යුතුය. තෙල් සහ පිෂ්ඨය අධික ආහාර ගැනීම පාලනය කළ යුතුය.

ලිංගික බෙලහීනතාවය සඳහා සාර්ථක ප්‍රතිකාර සහ ඖෂධ ඇත. එබැවින් නිසි වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවීමෙන් ලිංගික බෙලහීනතාවයෙන් පමණක්‌ නොව කිරීටක ධමනි රෝග (හෘදයාබාධ) ඇතිවීමේ අවදානමෙන්ද වැළකීමට පිළිවන.

ලිංගික ගැටලු පිළිබද
විශේෂඥ වෛද්‍ය

ලසන්ත මලවිගේ

LEAVE A REPLY