අපේ පංති කාමරය! – ධනංජය කරුණාරත්න

0
30

මම අවුරුදු දහතුනක් ඉස්කෝලේ ගියා. මගෙ මුළු ළමා කාලයම. අපි ඉස්කෝලෙ ඉන්නා හැම වෙලාවෙම හිටියේ ගුරුවරයෙක් ලෙඩ වෙලා හරි ( නැත්නම් මැරිලා හරි) ඇමතිවරයකුගේ උත්සවයක් නිසා හරි වැස්ස නිසා හරි මොනාවා හෝ ජංජාලයක් වෙලා උගන්වන් නැති වේලාවක් එනකං බලාගෙන. අපි සති අග එනකං බලා හිටියත් සති අගත් ක්‍රමයෙන් ටියුෂන් වලින් පිරී ගිහිං තවත් පාසල් දවසක් වගේ වුනා. ඊට අමතරව සති අග අපි වැඩියෙන්ම කලේ ටිකක් වැඩිපුර නිදාගෙන අනිත් දවස් පහට ලෑස්ති වෙන එකයි. කොහොමහරි නිවාඩු කාලය තරම් ඉස්කෝලෙ කාලයනම් කවදාවත් අපිට රසවත්වුනේ නෑ. නිවාඩු කාලය ඉවරවෙලා ආයෙත් ඉස්කෝලෙ ගියේ කූඩුවකට ගාල් කරන සතෙක් වගේ. මේ විදියට මේක ඉවරයක් වෙනකම් අවුරුදු දොලහක් බලා ඉඳලා, ඒලෙවල් කරලා ගෙදර ගියේ අහසට ඇරිය කුරුල්ලෙක් වගේ පුදුම සැහැල්ලුවකින්. දැණුන එකම දුක සමහර යාළුවෝ ආයේ හම්බවෙන්නැති එක විතරයි.

කරුමෙට මම ඒලෙවල් කරල ඉවරවුන දවස්වල ජන කෝලාහල, බෝම්බ පිපිරිලි, ඇඳිරි නීති මුකුත් නැතිව රටේ ජන ජීවිතය සාමාන්‍ය විදියට ගියේ. ඒ නිසා වැඩිකල් යන්න කලින් ආයෙත් අවාසනාව මාව හොයාගෙන ආවා, මාව විශ්ව විද්‍යාලයට තේරලා.

මම ආයෙත් සතියට දවස් පහ ගානේ ( සමහරවිට දවස් හයක්) පංති හා දේශන වලට යන්න පටන් ගත්තා. ඉස්කෝලේ යන කාලේ අපි ඉගෙනගත්ත ගුරුවරු ලෙඩ වෙන දින, පංති කඩාකප්පල් වෙන දින, ආයතනය වහන දින ආදියට යට හිතෙන් පෙම් කරන පුරුද්ද ආයෙත් මං තුල වැඩෙන්න ගත්තා.( උඩ හිතෙන් මොනවා කීවත්) අපේ යටිහිත හැමතිස්සෙම කිව්වේ මේ උගන්වන එවුන්ට මොකක් හෝ කරදරයක් බාධාවක් වෙලා, මේවා ඔක්කම කඩාකප්පල් වෙලා පලයං කියලා. අපිට එතනත් කිසිම දෙයක් ආදරය කරන්න ඇලුම් කරන්න තිබිබේ නෑ. එත් වාසනාවට හෝ අවාසනාවට පළවැනි වසර ඉවර වෙනකොට මට රංජනීව හමුවුන අතර ඊට පස්සේ උදේ ඇහැරුණාම විශ්ව විද්‍යාලය පැත්තේ යන්න එයා නිසා මට විශේෂ හේතුවත් ඇතිවුනා. කොටින්ම එයා එයාට පුලුවන් තරමින් විශ්වවිද්‍යාලය මට (ගොඩාක් දුරට ශාරීරික) ‘සුවයක්’ දෙන තැනක් බවට පත්කලා. ඒ තමයි ඒ වෙලාවෙ එතන තිබිබ ලොකුම සුවය. අන්තිමට අවුරුදු හතර අවසානයේ, උපාධිය ගත්ත දවසේ සැහැල්ලුව ඒ ලෙවල් ඉවර කරපු දවසේ සැහැල්ලුවටත් වඩා මට දැණුනා. අන්තිමට ඔන්න හිතේ හැටියට ජීවත් වෙන්න මුදා හැරිය කාලය ආවා! කිසිම මිනිසකුට ලෙඩක් දුකක් කරදරයක් නොවේවා මට මෙන් හැම මිනිසකුටම යහපත්කම වේවා කියා මටත් හොරෙන් මට හිතෙන දවස.

ඒ වෙනකොට මගේ කරුමෙට මම පූර්ණ වැඩිහිටියකු වෙලා, ඉතින් මට මගේ යැපීම හොයාගන්න සිද්ධවෙලා තිබුණා. පුරුදු පරිදි වැඩිකල් යන්න කලින් අවාසානාව මාව හොයාගෙන ආව අතර මේ පාර එය ඇවිත් තිබුණේ රජයේ ගුරුපත්වීමක් විදියට.
මම ආයෙත් ඉස්කෝලෙ යන්න පටන් ගත්තා. (හිනාවෙන්න එපා!) දැන් ඉතින් මේ පාර මේක ඉවර වෙන්නේ මගේ ජීවිතයේ හොඳම හරියත් එක්කයි කියලා මට තේරුම් යනකොට මම ප්‍රමාදයි. මම ඒ වෙනකොට ජීවිතය ගැන දන්න දේත් මට ළමයින්ට උගන්වන්න තිබුණ දේත් එක්ක ගත්තමනම් ඒ අවබෝධය ලබාගන්න පූර්ණකාලීන අවුරුදු දාහතක් ගත කිරීම විනාශයක් බව තේරුම් යනකොටත් මම හොඳටම ප්‍රමාදයි. ඒ වගේම රංජනී අර අවුරුදු හතරක විශ්වවිද්‍යාලය මට ‘සුවයක්’ බවට පත්කලේ නොමිලේම නෙමේ ණයට බව තේරුණේ දැන් තමයි. ඒ ණය දැන් එයා දුන්න දරුවන් දෙන්නාටත් එක්ක එයාවත් හවුල් කරගෙන දිනපතා පාසල් ගොස් මට ගෙවීමට සිද්ධ වෙලා තිබුණා. මට නිදහස් වෙන්න තිබුණ අවසානම අවස්තාවත් අවසන් බව මට තේරුණා. මම අයිති මට නොව වෙනත් කාට හරි බවත් දැන් පැහැදිලියි. වරක් මිනිසෙකු වෛර කළ දේ ඊලඟට එනවුන්ට උගන්වන්න ඒ මිනිහාවම යොදාගන්නා කෲර, නරුම ක්‍රමයක් ලෝකයේ තවත් තියෙන්න පුලුවන්ද?

සමහර වෙලාවට මට පංති කාමර වල නින්දයාමත් ඇහැරුණ ගමන් කේන්ති යාමත් නිසා යක්ෂ පැටවු මට දාපු නම තමයි පිඹුරා. ඉස්සර කාලේ වගේ දැන් උන්ට දෙකක් දෙන්න විදියක් නෑ, මොකද උන්ට පුලුවන් මන්ත්‍රීට කියලා මට කෙලවන්න, එහෙම නැත්නම් උන්ගේ මැර යාලුවන්ට කියලා මට ගස්සන්න. මම ලෙඩ වෙනකම් බලාගෙන ඉන්න, මට සතෙක්ගේ නමක් දමා කතා කරන, මම පංතියට එනවට ශාපකරන කලාකණ්නි, ඇත්තටම ඇයි මම මුන්ව ගොඩදාන්න යන්නෙ? මුන්ට කරන්න ඕනේ හොඳම වැඩේ තමයි කොහොමහරි ඒලෙවල් පාස් කරවලා කැම්පස් යවලා ආපහු මේ විදියටම ඉස්කෝලවලටම යවන එක, නැත්නම මොකක්හරි උන්ට ඉහලයි කියලා හිතෙන ඔෆීස් එකක් ඇතුලට හිරකරන එක. එකෙකුට ෆේල්වෙලා යන්න දෙන්න හොඳ නෑ. කවදාවත් මුන්ට ඇත්තට මුහුණ දෙන හැටි උගන්වන්න හොඳ නෑ. කිසිම දවසක මුන්ට භාහිර පොත් කියවන්න පුරුදු කරන්න හොඳ නෑ. මුන්ට පුරුදු කරන්න ඕනේ පන්සිල්, භාවනා, ගාතා වගෙ ඒවමයි. මුන්ව තමන්ට උනේ මොකක්ද කියලවත් තේරුම් ගන්න බැරි, අනාතවීම ආඩම්භරයක් විදියට සලක බූරුවන් ටිකක්ම කරන්න ඕනේ. මේ වගේ ඉගෙන ගත්ත එකෙක් මේ රටේ පොලිස්පති හරි ජනාධිපති හරි වුනොත් මට ඒ ඇති , ඉතුරුටික උන් කරාවි! ‘රංජනී ව්‍යාපෘතිය’ ‘ආදරය’ නමින් හිතන්න පුරුදවුන මට කවුරුවත් ඇහුවොත් මුන් ‘මගේ පැටවු’ කියලා කියන්න පුරුදු වෙන්නත් මට ඒ තරම් අමාරු නෑ.

දැන් ඉතින් මට තවදුරටත් ගුරුවරුන්ට ලෙඩ හැදෙන දවස්, වැසි වහින දවස්, මන්ත්‍රීගේ උත්සව දවස් ප්‍රමාණවත් නෑ. මම හැමදාම උදේට පත්තරය බලන කොට දැන් මගේ යටිහිත මටත් හොරෙන් හොයන්නේ රිච්ටර් මාපකයේ අංශක7. 5 ට වැඩි භූමි කම්පායි, විශාල සුනාමි, මහා ගුංවතුර, ජාතිවාදී කෝලාහල , මහා භීශණ. මේ ඔක්කම කුඩුපට්ටම කර මාව නිදහස් කරන මට මගේ ජීවිතය, මිනිසුන් හා හිරු එළිය ලබාදෙන මහා විනාශයන් මට අවශ්‍යයි!

LEAVE A REPLY