ඇස් දෙකත් දුර්වලයි අතීතයෙ හිරවෙලා..- ඉලක්ෂ ජයවර්ධන

0
26

හුරු පුරුදු රසකතා..
එක්ක මුහුවුන මුසා..
ඇහුවෙ නෑ කාලෙකින් අපිට අපි දුර නිසා..

ඩොල්කියට තඩිබබා..
ජෝති , මිල්ටන් මරා..
සින්දුවක් කියන එක ලොකුම හීනය වෙලා..

හැමෝගෙම පෙම්වතා..
වගේ පෙම් කවි ගොතා..
උඹලාට හී විද්ද මම නේද මල්සරා..

ඒ කාලෙ නවතලා..
බෝඩිමට ගොඩවෙලා..
මතකයන් හැමදාම හොයනවා තනිවෙලා..

බඩ ටිකක් වැඩිවෙලා..
කොන්ඩෙනම් ඩයි කලා..
ඇස් දෙකත් දුර්වලයි අතීතයෙ හිරවෙලා..

සිරා නම් නැතිවුණා..
මළගෙදර දුර නිසා..
යන්න බැරිවුනා බන් පොඩි එකා ලෙඩවුනා..

තව ටිකක් විඳවලා..
දරුවො ටික ගොඩදමා..
මාත් නවතිනදාට මීවිතක් බොමු පෙරා..

– ඉලක්ෂ ජයවර්ධන

LEAVE A REPLY