මහ මෙර නුඹයි මා අම්මා වූ හින්දා- හසිත හේරත්

0
86

“විවාහයෙන් පසුව අම්මාට ලියමි” යැයි කවි පෙළක් දුටිමි.
එය දුටු අම්මාගේ පිළිතුරු කවි මෙසේ ලියමි.

මා පෙර කළෙක බන්දා ආදර කන්දා
වැදුවා කුසෙන් දස මස ලොබ නැති හන්දා
නුඹෙ මුව දුටුව දා පළමුව හිත රන්දා
මහ මෙර නුඹයි මා අම්මා වූ හින්දා

උස් වන තුරුම නුඹ කිරි කැටි මෙලෙක් මලේ
නිවසට මලයි කෑ මොර දුන් විටක අගේ
අත පය පවා සැදුවේ අපි හිමින් පුතේ
ආදර දුවයි පණ මෙන් සිටි හිතේ බලේ

බැඳිලා නුඹත් නිවසින් පිටවූ දවසේ
පැලුනා පපුව හත් කඩකඩ පෙර නැති සේ
ඇදිලා ගිහින් මගේ පණ පිටවී යන සේ
දැනුනා පුතේ දෙපයම වෙවුලා ඇති සේ

නිවසම නුඹ නැතිව පාළුව පුරවාලා
හැඩි වූ මිදුල කොස් කොළ ගුලි අතුරාලා
පෙරදා ආදරෙන් අතගෑ බස් දීලා
“කලුවා” නිදයි “අක්කා” නැති සොව දැනිලා

සවසට වැඩ ඇරී ආ විට පණ දාලා
“අම්මා කොහෙද මම ආවා හති දාලා”
එතෙමෙන් ඇඟේ දාඩිය ගුලි පිසදාලා
ඉම්බේ කවුද නුඹ ගිය දා මා දාලා !!

වැස්සට කලුව වැටෙනා විට ගොරවාලා
දුව විත් ඇඟේ එතුනේ බය ඇති හන්දා
අප්පා සැර කලත් දැන් නුඹ ලොකු හින්දා
තවමත් මට පොඩියි මේ මගේ මල හින්දා

මල්ලී ගෙදර තනිවී ඇත අපි අතරේ
නිතරම අසනවා අක්කා ගැන පෙර සේ
බත් එක හිරවුනා දවසක් පොඩි පුතුගේ
“අක්කා කෑවදෝ දන්නේ නැහැ අම්මේ”

දවසක් තාත්තා හැඬුවා ඉවසාලා
දූ නැති නිසා ඒ පාලුව සිහිවීලා
ඔලුවට අත තබා අතගෑවා රිදිලා
අඩුවක් දැනෙනවා කූඩුව සෙලවීලා

දැනෙමින් තිබේ නුඹ නැති සොව අපි සැමට
එනමුත් කෙළෙස කියමුද මෙහෙි එන ලෙසට
අලුතෙන් හැදූ කූඩුව යස පිරි ලෙසට
අම්මා නුඹයි දැන් ඒ පොඩි කූඩුවට

වැඩිපුර සිතා දුක් සංකා නොගෙන සිතේ
හිඳිමින් යසට රකිමින් පතිවත එලෙසේ
අම්මා සිටිය ලෙස මතකද ඒ දවසේ
කරනුව පුතේ වගකීමක් ඇත අහසේ

දිනයක මතුව පැටවුන් ලබමින් සිතු සේ
වඩිනුව නැවත මහ ගෙදරට හිත ඇති සේ
වයසට ගියත් දැන් දැන් වාරුව නැති සේ
අම්මා මමයි , නුඹ ආදර දෝණි මගේ

©හසිත හේරත්

LEAVE A REPLY